දෙවියන්ගෙන් උපකාර ලද ශ්‍රද්ධා සුමනාගේ කතාව
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ අනුරාධපුර රාජධානියේ තිබුණා ‘මහාවැලිවීථිය‘ කියලා ගවු තුනක් දිග විශාල වෙළෙඳ
වීදියක්. මේ වීදියේ සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා සුමනා කියලා තරුණියක්. ඇය
දෙමාපියන්ට තරමක් අකීකරු යි. විනෝදසීලි යි. එහෙම වුණාට හරිම ශ්‍රද්ධා සම්පන්න යි.
තමන් හරි හම්බ කරන ධනයෙන් නිතර ම දන් දෙන්න පුරුදුවෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි.
නගරය අවට වගේ ම තමන්ට පහසුවෙන් යන්න පුළුවන් මහාවිහාරය, මිරිසවැටිය, දක්ඛිණගිරි
විහාරය, බගිරිනකය, දෙනානකය ආදී පංචමහා විහාරවලින් වැඩම කරන භික්ෂූන් වහන්සේටත් දන්
පැන් පිළිගන්වමින් කටයුතු කළා. බණත් ඇහුවා. මල්පහන් පූජා පවත්වන්නත් පුරුදුවෙලා
හිටියා.
මෙහෙම කාලයක් කටයුතු කරමින් ඉන්න කොට මේ මහාවීදියේ අනෙක් වෙළෙන්දෝ මෙයාට නමක්
දැම්මා ‘ශ්‍රද්ධාසුමනා’ කියලා. ඒ තරම් ම මේ තරුණිය ශ්‍රද්ධා සම්පන්න යි. තුනුරුවන්
කෙරෙහි මහත් භක්තියකින් තමයි කටයුතු කළේ.
මේ විදිහට වෙළෙඳාම් කර ගෙන, පින්දහම් කර ගෙන ඉන්නකොට මේ නගරයේ මේ කියන වෙළෙඳ වීදියේ
වෙළෙඳාමට ආවා තරුණයෙක්. එයාගේ ගම්පළාත නම් රුහුණ මාගම ප්‍රදේශය. මේ තරුණයා හරිම
ලස්සන යි. පිරුණු පුරුෂ ලක්ෂණවලින් යුක්ත වෙලා හිටියා. හොඳට උස මහත වගේම රැවුල හා
කොණ්ඩය එහෙම හොඳට වැඩුණු තරුණයෙක්. මෙයාව දකින තරුණියෝ ඔහුට ආශා කළා. නගරයේ අනෙක්
තරුණියන් වගේම මේ ශ්‍රද්ධා සුමනාවන්ට ද ඒ තරුණයාට ප්‍රේම කරන්න කැමැත්තක් ඇති වුණා.
ඒ නිසා ටිකෙන් ටික නොයෙකුත් ක්‍රම යොදාගෙන තරුණයා සමඟ හාද වුණා. ටික දවසකින් ඔහු
සමඟ සහවාසයේත් යෙදුණා. ඉතිං ඊට පස්සේ තරුණිය ඔහුත් එක්ක තීරණය කළා මාගමට යන්න.
තරුණියත් බොහෝ ම ලස්සන යි. හරිම ප්‍රියමනාප යි. තරුණයා ඇයට දැඩි ව බැඳී ගියා. ඒ
නිසා දවසක් දෙමාපියන්ටත් නො කියා රහසේ ම මේ ශ්‍රද්ධා සුමනා තරුණයා සමඟ මාගමට
පිටත්වෙලා යන්න ගියා. මාගමට ගිහින් කාලයක් ජීවත් වෙනකොට ආයෙත් පෙර පුරුදු විදිහට ම
නිවස කිට්ටුව වගේම ප්‍රදේශයේ තියෙන අනිකුත් වෙහෙර විහාරවලට ගිහින් මල්පහන් පූජා
කරනවා. නිතර නිතර බණ අහන්න යනවා. ඒ වගේම දන් දෙන්නත් පුරුදු වුණා. සංඝයා වහන්සේට නො
දී කිසිම දෙයක් නො කන පුරුද්දක් මේ ශ්‍රද්ධා සුමනාට තිබුණා. ඒ නිසා ම හැමදාම සංඝයා
වහන්සේ අටනමකට ගෙදර දානය දෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි සවස විහාරයට ගිහින්
භික්ෂූන් වහන්සේට අවශ්‍ය දැහැටිදඬු, පැන් ආදිය සකසලා තබනවා. ආසන ශාලාව පිරිසුදු
කරනවා. හැමදාම මෙහෙම කරන්න පටන් ගත්තා. දහවල් ගිහින් නැවත ගෙදර එන්නේ හවස් වෙලා. මේ
දින චර්යාව දිහා කාලයක් බලා ගෙන හිටිය තරුණයට දවසක් කේන්ති ගියා. කේන්ති ගිහින්
කියනවා
‘තී, හැමදාම ගෙදර වැඩ අතපහු කරනවා. පින්කම්, පින්කම් හැමදාම පින්කම්. අපි උන්නා ද
මලා ද කියලා බලන්න වෙලාවක් නෑ. ඇවිද ඇවිද ඉන්න එක විතරයි කරන්නේ‘යි කියලා
කේන්තියෙන් බැණවැදිලා ‘මට මේ වගේ ගෑනියකගෙන් වැඩක් නෑ‘යි ගෙදරින් එළවලා දැම්මා.
තරුණිය ගෙදරින් එළියට බැහැලා ආයෙත් අම්මා, තාත්තා හොයාගෙන අනුරාධපුරයට එන්න පිටත්
වුණා. ඒ වුණත් අඳුර වැටිලා තිබුණ නිසා රෑ මැද ගමන පිටත් වුණේ නෑ. කොහොම හරි
රාත්‍රිය ගත කරන්න තැනක් හොයා ගන්න ඕන කියලා කල්පනා කළා. එතකොට මතක් වුණා මිනිසුන්
නැති පාළු ගෙයක් ගැන. ඉතිං එතැනට ගිහින් නිදා ගත්තා. පහුවදා සැමියා තමන් හොයාගෙන
එයි කියලා පාර දිහා බලන් හිටියත් ආවේ නෑ. දෙවන දවසත් බලන් හිටියා ඒත් ආවේ නෑ. මේ
විදිහට දින හයක් ම බලන් හිටියා ආවේ නෑ.
ඉතින් තීරණය කළා තමන්ට බොහෝම ආදරය කරපු සැමියා සැබෑවට ම තරහ වෙලා කියලා. ඒ නිසා
අනුරාධපුරයට යන්න තීරණයක් ගත්තා. මගතොටේ විහාර, දාගැබ් වන්දනා කරගෙන මුණගැහෙන
අයගෙන් කෑමට යමක් ඉල්ලා ගෙන කෑම බීම සපයා ගැනීමේ ක්‍රමවේදයත් හදා ගත්තා. මේ විදිහට
තීරණය කරලා උදේම කුස ගින්නේ ම ගමන පිටත් වුණා. මේ ශ්‍රද්ධා සම්පන්න උතුම් කාන්තාවට
වුණු විපත දිහා බලා ගෙන හිටියා ශක්‍රදෙවියෝ. ඉතින් මහල්ලකුගේ වේශයක් මවාගෙන
බත්මුලකුත් අරගෙන ඇවිත් මඟ දී මැයව මුණගැහිලා ‘නැඟණිය, තනිව ම කුසගින්නෙන් කොහේද මේ
යන්නේ? කියලා ඇහුවා. ඇයත් ගමනේ විස්තරේ කිව්වා.
ඊට පස්සේ අර මහල්ලා ‘පුතේ, එහෙනම් මේ බත් මුලත් ගෙන කුසගින්න නිවාගෙන ගමට යන්න‘යි
කිව්වා. මැයගේ කුසගින්න බොහෝම අධික යි. වටපිට බැලුවා වතුර පොදක් ගන්න තැනක් නැහැ.
මේක දැකපු ශක්‍රදෙවි අසලට පෙනෙන දුරින් පොකුණකුත් මවලා යන්න ගියා. සුමනාවෝ පොකුණට
බැහැලා නාගෙන ගොඩට ඇවිත් බත් මුල දිග ඇරලා කන්න හදනකොට
සුපුරුදු විදිහට දන් දෙන්න සංඝයා වහන්සේ මතක් වුණා. ඉතින් කාලඝෝෂා කළා භික්ෂූන්
වහන්සේලාට. ඒ මොහොතේ තලගුරුවාසී ධම්මරක්ඛිත මහතෙරුන් දිව කනින් මේ ඝෝෂාව අහලා එතැනට
ඍද්ධියෙන් වැඩම කළා. සුමනාවෝ බත් මුලෙන් කොටසක් දන් දීලා, වන්දනා කරලා කිව්වා
‘ස්වාමිනි, ටිකක් ඔහොම වැඩ ඉන්න තවත් යමක් පූජා කරන්න තියනවා‘යි කියලා පොකුණ ළඟට
ගිහින් ඇඳි වස්ත්‍රය ගලවලා සෝදලා, කොළ අතු ඇඳගෙන ඇවිත් ඒ වස්ත්‍රයත් තෙරුන් වහන්සේට
පූජා කළා. ඊට පස්සේ අනෙක් බත් ටික අනුභව කළා. ඊට පස්සේ තවත් ටික වේලාවක් එතැන නැවතී
සිට ආයෙත් ගමන පටන් ගත්තා. මෙහෙම යනකොට අශ්වයන් බැඳගත්ත අස්ස කරත්තයක් ඈතින් තමන්
දිහාවට එන බව දැක්කා. ඒ කරත්තය ළඟට ම ආවා. මේ කරත්තය වටිනා පිළීවලින් වගේම කැවුම්
ආදී රසකැවිලින් පුරවලයි තිබුණේ.
කරත්තකරුවා ඇහුවා කොහේටද යන්නේ කියලා. ඇය විස්තරේ කියා හිටියා. ඊට පස්සේ ඔහු කියනවා
‘එහෙනම් කරත්තයට නඟින්න මගෙත් එක්කම අනුරාධපුරයට යන්න පුළුවන්‘ කියලා. සුමනාවෝ
උත්තර දෙනවා. ‘මට මේ කොළ වස්ත්‍ර ඇඳගෙන කරත්තයට නඟින්න බෑ. ඔබතුමා යන්න‘ කියලා.
ගැල්කරුවා කරත්තයෙන් පිටපිළි අරගෙන ඇයට දෙනවා ඇඳගන්න. සුමනාවෝ ඒවා ඇඳගෙන කරත්තයට
නැග්ගාට පස්සේ මොහොතින් අනුරාධපුරයේ සෑගිරියට පැමිනුණා. ඇය දන්නේ නෑ. මේ කරත්තකරු
දිව්‍ය පුත්‍රයෙක් කියලා. ඇය කරත්තකරුගේ ගමන ගැන බොහොම ප්‍රීතියට පත් වෙලා ස්තූති
කළා. එයට තෑගි ලෙස පටපිළී අටක් සහිත පෙට්ටියත්, රසකැවිලි පෙට්ටියත් දීලා එතැනින් ඒ
දෙවියා නොපෙනී යන්න ගියා. සුමනාවෝ ඒවා අරගෙන මහාපාලි දානශාලාවට ගිහින් වැඩම කරන
භික්ෂූන් වහන්සේට දන් දෙන්න පටන් ගත්තා.
භික්ෂූන් දහස් ගණනක් වැඩම කළා. ඒත් වස්ත්‍රවත්, රසකැවිලිවත් ඉවර වුණේ නෑ. තිබුණ
විදිහට ම ඒවා පිරී තිබුණා. මේ විස්මිත කටයුත්ත දැකපු රජතුමා එතැනට ඇවිත් විස්තර
ඇහුවා. සියලු පුවත් කියා සිටියා. රජතුමා පැහැදුණා දෙවියන් මැයට උපකාර කරලා තියෙන බව
දැකලා. ඉතින් මේ ගුණයහපත් තරුණිය ව අගබිසව බවට පත් කර ගෙන රජතුමාත් පින්කම්වල
යෙදුණා. ඒවගේ ම සුමනාවෝත් දන්පැන් පිළිගන්වමින් මිනිසුන්ට උපකාර කරමින් ජීවත් වෙලා
මිය ගිහින් දෙව්ලොව දිව්‍යාංගනාවක් ලෙස උපත ලැබුවා‘යි කතා පුවතක් සද්ධර්මාලංකාරයේ
සඳහන් වෙනවා.
‘පින්වතුනි, දන් දීමෙන් ලැබෙන දිට්ඨදම්මවේදනීය විපාකවල මහත. තමන් කොපමණ දුක්ට පත්
වුණත් ඒ දුකින් අතමුදවා ගන්නවා. සාපිපාසාවලින් මුදවා ගන්නවා. මෙලොව වගේ ම පරලොවත්
සැප සම්පත් ලබා දෙනවා. |