[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 වෙස්වළාගෙන ආ ආශිර්වාදය

වෙස්වළාගෙන ආ ආශිර්වාදය

ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්භල යැ, භද්ධ සාලයැ යන ස්ථවිර හිමිවරුනුත්, සුමන සාමණේර හිමියනුත්, භණ්ඩුක උපාසක තැනත් යන සහාය පිරිස සමඟ භාරත දේශයෙන් පිටත්වැ. ධර්ම දූත මෙහවරැ පිණිස සිංහලයට පත් අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ සිංහලයේ දී හා හා පුරා කළැ මහ මෙහෙවර ය.

තම අත දිගු නියපොත්ත කුදු නැතිවැ, ඉන් පෙරැ කවර කවමැ දාකවත් දැක හුරු බුහුටි කම් නොතිබූ, දඩකෙළි මතින් සන්නාහ සන්නද්ධ වැ ඇවිද, බලාපොරොත්තු සුන්වැ හා ඒ නිසා ම සරතසට පත්වැ සිටි රාෂ්ට පාලකයකු පාලනය කැරැ, ඔහුඅතැ තුබූ අවි බිම හෙළීමයි. එහෙත් මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවුණු එබඳු ශ්‍රේෂ්ඨ ක්‍රියාවෙක් පිළිබැඳිවැ වාර්තාවෙක් අද දු නැත. එදා ඒ දූත පිරිස සිංහලයට පත් වූයේ තුන් ලොවෙහි මැ අසම, අසමසම, අනභිභවනීය තථාගත දර්ශනයේ සිසිල ලබා දෙනු පිණිස, මුළු මහත් භාරත දේශාධිපති ධර්මාශෝකයන්ගේ අයැදීමෙන් හා අනුග්‍රහයෙන් යැ.

එබඳු භාරදූර කටයුත්තකට පර දේශකයක පා තැබූ මොහොතෙහි මැ සිදුකළ ඒ ප්‍රාතිහාර්යය වර්ණා විෂයානික්‍රාන්තයැ පැමිණියේ යම් අභිමතාර්ථයෙකි ද, ඒ අභිමතාර්ථය ඉතා මැ ඉහළින් මුදුන්පත් කැරැගත් අවස්ථාවෙක් බවට ඒ සිද්ධිය පිළිබඳව සැලැකීම යුක්ති යුක්ත ය.

කෞටිල්‍යය හෙවත් චාණක්‍යයයන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් කණක නන්ද හෙවත් ධන නන්දයන් වෙතින් මගධ රාජ්‍යය අත්පත් කැරැගත් පළමුවැනි චන්ද්‍රගුප්තයන් ඒ තවත් ශක්තිමත් කරනු ලැබිණි. අනුතුරුවැ රජපත් ඔහු පුත් බින්දුසාරයන් වෙතින් ඒ ශක්තිය තහවුරු කැරිණි. චන්ද්‍ර ගුප්තයන් වෙතින් ශක්තිමත් වැ, බින්දුසාරයන් වෙතින් තහවුරු වැ තැබූ මගධ රාජ්‍යය ව්‍යාප්තිය සිදුකැරුණේ අසෝකයන් වෙතිනි. එම ව්‍යාප්තවාදය මුළු මහත් භාරත දේශය මැ වාගේ සියතටැ ගන්නා තරම් මැ ඕජෝ ගුණයයෙන් යුක්ත වූ බව ඉතිහාසය කියයි.

ඒ සා මහත් ව්‍යාප්තවාදයෙන් මුළු මහත් විශ්වයේ මැ මනාවූ විරූ යැ. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ, ඒ සංග්‍රාමශීලී අසෝකයන් මහා කලකිරීමෙකැ රැඳවීමයි. විශේෂයෙන් ඉතා ශක්ති සම්පන්න කාශ්මීරයේ දරුණු යුද්ධයක් සිදුවිණි. එහිදී වූ බරපතළ මිනිස් ඝාතන රජතුමා මහා විපය¸ාසයෙකැ රැඳවීයැ. ඒ මානසික විපයර්යාසයේ ස්වරූපය කෙසේද යත්, සංග්‍රාමශීලී ජීවිතයක් ගත කළැ අසෝකයනට දිග්විජය ප්‍රතිපත්තිය ආ... පෝ කරවනැ තරම් විය. ඒ වෙනුවට ධර්ම විජය මත පිහිටා රටවල් දිනීමට සේන්දු වියැ. එමැ පරිවර්තික මානසික තත්ත්වයෙන් අසෝකයන් වෙතින් සිදු කැරුණු කාර්යය පද්ධතියේ, අනු පද්ධතියෙක ලෙසිනි මහින්ද මහරහත් හිමියන් ඇතුළු ධර්මදූත ස්වාමීන් වහන්සේ සිංහලයට වැඩම කළේ.

මහින්ද මහ රහතන් වහන්සේගේ සිංහලයට ආගමනය පිළිබැඳිවැ කතා කරද්දී දේශපාලන තත්ත්වයනට මුල් තැනැ දී කතා නො කරන්නවැ අයෙක් කැමති වෙති. එදා ‘තිස්ස’ යනු රටේ මහ රජතුමා නොව ‘ගාමිණි’ කෙනෙකි. ඔහුගේ අභිප්‍රායය වූයේ, විශාල අධිරාජ්‍යයයෙකැ නායක අසෝකයන්ගේ ආධාරයෙන් මහරජ වීමට යැ. එනිසා ම මහින්දාගමනයට පෙරාතුව නොයෙකුත් තෑගි භෝගයන් පිටත් කැරැ යැවීමට තිස්සයන් කැමති විය. ඒ තෑගි භෝග අතරත සුවිශේෂී යෂ්ටි තුනෙකි. ඒ ලතා යෂ්ටිය, පුෂ්ප යෂ්ටිය, සකුණ යස්ටිය යි. මේ යෂ්ටි තුන යැවීමෙන් සිංහලයේ, රුහුණු, මහයා, පිහිටි යන තුන් සිංහලය පිළිබැඳි ආධිපත්‍යයය අසෝකයනට පැවැරූ බව අයෙකු ගේ අදහසයි. ‘දණ්ඩය’ හෙවත් ‘යෂ්ටිය’ පාලනයේ අධිකරණයේ සංකේතය නිසා ඒ ඉතාම සාධාරණ ය. (අප සෙංකෝලය ගැන ද සිතන්නැ) එය එසේ වූ වත් ඒ යුගයේ දී සිංහලය තුන් සිංහලයකට බෙදා නොතැබුණොන් ඒ යෂ්ටි තැනැ ‘තුන් සිංහලය’ සංකේතවත් නො කරනැ බව, මහාචාර්යය සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙතත්, ඒ ඒ හැටියෙන් මැ පිළිගැනීම අපහසු යැ. මක් නිසාද යත්, මේ ආසන්න කාලයේ දී මැ තිස්ස සොයුරු රුහුණූ රටමැ පැනගිය පුවතෙන් ඉතිහාසයෙහි එනුයෙනි. තව ද එකී යෂ්ටි තුන සහිත පඬුරු පාක්කුඩම් භාර ගත් අසෝක මහ රජතුමා, සිංහලයේ තිස්සයන්ගෙන් යළි ආචාර්යභිෂේකයෙන් අභිෂේක ලබනැ ලෙස ඉල්ලා සිටියි. ඒ සඳහා අවශ්‍යය කරන අඩුම කුඩුම ද එවයි. ඒ සඳහා පූර්ව විමැසීමෙන් පවා නො කරයි. මෙහිදී සිංහලයේ විධියට තිස්ස අභිෂේකවැ මහරජු වශයෙන් සිටියේ නම් අසෝක මහරජතුමාගේ උක්ත ඉල්ලීම ඔහුට මොන තරම් අභියෝගයෙක් ද? එහෙත් ඒ පිළිබඳ ව තිස්සයන්ගේ සුළු හෝ අවධානයෙක් නො යෙදී, එකී අන්දමට ක්‍රියා කිරීමෙන් පෙනී යන්නේ, අසෝකයන්ගේ ආධිපත්‍යයට තිස්සයන් අවනත වූ බව හා උක්ත ඉල්ලීම යාඥාවක් නොව ආඥාවෙක් මැ වූ බවයි.

ඒ, මේ කෙසේ වෙතත් මහින්ද මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස මෙහි සම්ප්‍රාප්ත වූයේ උක්ත මූලික වාතාවරණයෙන් පසුව යැ. උන්වහන්සේ හැබෑ වශයෙන් මැ අසෝකයන් වෙනුවෙන් පත් ධර්මදූත පිරිසකි. ඒ අනුව අසෝකයන්ගේ ධර්ම විජය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම උන්වහන්සේගේ වගවීම හා වගකීම වියැ. ඒ වන විට අසෝකයන් දිග්විජය ප්‍රතිපත්තියෙන් රටවල් දිනීම හැරපියා ධර්ම විජය ප්‍රතිපත්තියෙන් රටවල් දිනීමේ ක්‍රමයට සේන්දුව සිටියේ ය. රුහුණේ කාවන්තිස්සයන් ද සේරූ රාජ්‍යය නතුකැරැ ගැනීම සඳහා එබඳු ප්‍රතිපත්තියෙක් අනුගමනය කළ බව ඉතිහාසය කියයි.

“සමනා මයං මහා රාජ,

ධම්ම රාජස්ස සාවකා

තමේ ව අනුකම්පාය

ජම්බුදීපා ඉදා ගතා යනු යි ඒ,

මෙහි සාමාන්‍යය අදහස මහරජතුමනි, අපි ධර්ම රාජයාණන්ගේ බස ඇසූ, ශ්‍රමණයෝ (ආත්ම විමුක්තිය පිණිස, යෙදෙන්නෝ වෙමු. තොපට මැ අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පත්විණි” යන්නයි. මෙහි දී තිස්සයන් ඇමතී ඇත්තේ ‘මහාරාජ’ යන ප්‍රයෝගයෙනි. එසේ ඇමතීම ඒ වෙද්දී යුක්ති සහගතයැ. ඒ වනැවිටැ හෝ ආර්යයෙහි ෂේකයෙන් අභිෂේකවැ සිටියායිනි. එසේ රජු ඇමතූ මහින්ද මහ රහතන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දීමට යෙදූ “ධම්ම රාජස්ස” යන පදය ශෙල්සාර්ථවත්යැ. ධර්මරාජ යන පදය තථාගතයන් වහන්සේ විෂයයෙහි ද භාවිතයැ. “අභිධානප්ඨිපදීපිකා නම් පාලි, නිඝණ්ඩුවේ ද සඳහන් එසේ මැ. අසෝකයන්ට ද “ධර්මරාජ”යන නම භාවිතා විය. එනිසා මෙ තැනැ “ධම්මරාජ” යන පදය ශ්ලේශාර්තථවත් යැ. අසෝකයනගේ නාම විකාශනය, අසෝක, චණ්ඩාසෝක, ධර්මාසෝක විධියටැ වූ බව ඉතිහාසය කියයි. මහින්ද මහරහතන් වහන්සේ වෙතින් “ධම්ම රාජ” යන පදයෙන් හැඳින්වුණේ කවුද? තථාගතයන් වහන්සේ ද? ධර්මාසෝක මහ රජතුමා ද? තිස්සයන් එ වකැ දේවානම්පිය වැ සිටිය ද තථාගතයන් වහන්සේ පිළිබැඳිවැ කිසි දැන හැඳිනීමෙක් තුබූ බවට ආරංචියෙක් නැත. හේ දේවානම්පිය වූයේ ද අසෝකයන් ආශ්‍රයයෙනි. එහෙව් තත්ත්වයෙකැ දී තමා තථාගත බසටැ කන් දුන්, කන් දෙන අයෙකු වඟට හඳුන්වා දීම ඵල රහිතයැ. මිහිඳු මාහිමිපාණන් තථාගත බසවැකන් යෙදූ ආර්යය පුත්‍රයෙකු බව හැබෑ යැ. එහෙත්, ඒ ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වයේ කිසියම් අගයෙක්, වටිනාකමෙකි. ඒ වනැ විට තිස්ස රජතුමාට නොවීය.

බෞද්ධ ආධ්‍යාත්මික ලෝකය බෙදෙන්නේ පෘථග්ජන (ශේකි) ශ්‍රාවක (අශේඛ) විධියට යැ ඒ මිසැ ගිහි - පැවිදි විධියමැ නොවේ. ගිහි පැවිදි භේදය සාමාජික තත්ත්වයෙක් මිසැ ආධ්‍යාත්මික බෙදීමෙක් නොවේ. ඒ ආර්ථයෙන් ගත් විටැ, මහින්ද, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල යන තෙරවරුන් පමණෙක් නොව, සුමන තෙරණුන් භණ්ඩුක උපාසක තැනක් ශ්‍රාවකයැ. එහිලා කිසි ගැටලුවෙක් නැති එහෙත්, තථාගතයන් වහන්සේ ගැනත්, උන්වහන්සේගේ නෛර්යාණික සද්ධර්මය ගැනත්, භික්ෂු හා ශ්‍රාවක සංඝයා ගැනත් අබමල් රේණුවෙකැ දැනුමෙක්, තේරුමෙක්, නැති, දේවානම්පියතිස්ස රජුට ‘අපි තථාගත ශ්‍රාවකයෝ වෙමු යයි කීම ඵල රහිතයැ.

ඒ නිසා ධම්ම රාජස්ස සාවකා යන්නෙන් මහින්ද මාහිමි ස්වයං හැඳින්වීමෙකැයි යෙදුණේ, තමන් වහන්සේ ධර්මාශෝකයන්ගේ බස ඇසූවන් බවට ඇඟවීමට බව ගැනීම ඉතා මැ යුක්ති යන්නයැ.

“ඒහි පස්සික” ගුණය හෙවත් බලන්නාණෙනි, එන්නැ” ගුණයෙන් යුක්ත තථාගත ධර්මය යථාස්ථායී කරනුවට පාලනැ බලය යොදා ගැනීම යුක්ති යුක්ත නොවේ. එහෙත් එදා පැවැති තත්ත්වයේ දී ධර්මා ශෝකයන් රාජ්‍යය පාලනැ බලය යොදා නො ගන්නැ ශාසනය පවිත්‍ර කැරැගනු උගහට යැ. ලාභ සත්කාරයනට ගිජු වූවන් තථාගත ශාසනයට ඇතුළත් වූයේ ථෙයියසංවාසකයන්” විධියට යැ (ශාසනික නෛකික තත්ත්වයෙන් බැහැරවැ, ස්චේඡායෙන් සිවුරු ධරා ගැනීම ථෙයියසංවාසකත්ත්වයයි. ඒ විධියට සාසනයට ඇතුළත් වැ. සාසන භාරධාරයේ නිර්ණායක වූ, ධර්ම, විනය දෙකට මැ විරුද්ධ වැ රිසි රිසි සේ සාස නැ විලෝපනයෙන් ක්‍රියා කරමින් කාලය ගත කරද්දී, ඔවුන් සමඟ පොහොය සම්මා දී විනයකර්ම කිරීම, සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වෙතින් ප්‍රතික්ෂේප විණි.

ශාසනික පරිසරය ගැන කිසි අවබෝධයක් නැති, එහෙත් පදවි ලාභයෙන් හිස උදුම්මවාගත් විෂය භාර ඇමැති තනතුරු දැරුවත් (ධර්ම මහා චාත්‍ර) කැරූයේ ලජ්ජාශීලී, බිය ශීලී භික්ෂූන් ථෙයියසංවාසකයන් හා පොහොය කැරැවීමට පෙළඹවීමයි. බලහත්කාරයෙන් යෙදෙවීමයි. හැබෑ භික්ෂූන් ඒ ප්‍රතික්ෂේප කළැ විටැ, ඒ ධර්ම මහා මාත්‍රවරු ඒ සික්ෂාකාමී, ලජ්ජාශීලී, භික්ෂූන් ඝාතනය කැරැවූහ. මේ අවාසනාවන්ත තත්ත්වය මඟ හරවා ගැනීමට මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේත්, ධර්මාසෝක මහ රජතුමාත් සමවායමේ දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයෙක් ලෙස සාසනය පිරිසුදු කැරැ ගැනීමටැ කටයුතු යෙදිණි. එහිදී ථෙයියසංවාසක බලය ද ඉහළ මට්ටමෙකැ වියැ. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳා ගැනීමෙහි ලා ධර්මාසෝකයනටැ රාජ්‍යය බලය යොදා ගැනීමටැ සිදුවිය. ඒ සඳහා යෙදූ උපත්‍රමය නම් එක් එක් අයෙකු බැගින් කූටියෙකටැ කැඳවා, “තථාගතයන් වහන්සේ කුමන වාදියෙක් ද” යන පොදු ප්‍රශ්නය නැඟීමයි. එහිදී තථාගතයන් වහන්සේ විභජ්ජ වාදී යැ” යන පිළිතුර පමණක් පිළිගැනිණ. අනෙක් උත්තරයන් සැපයූවන්ට ගිහිවීම සඳහා ඕනෑ ආම්පන්නත්, ජීවනෝපායයනුත් සලසා දුනි. ඒ ක්‍රම විධියයෙන් සාසනයටැ වැද්දගත් ථෙයියසංවාසකයන් පිටු දකින, තථාගත සම්මා සම්බුද්ධ සාසනය පිරිසුදු විණ.

තථාගතයන් වහන්සේගේ අනුගමනය කළැ එකමැ ප්‍රශ්න විසැඳීමේ ක්‍රමය ‘විභජ්ජ’ ය මැ නොවේ. එය ප්‍රශ්න විසඳු ක්‍රමයයන් හි එකක් මැ පමණි. තව ඒකස්ස, පටිපුච්ඡා, ඨපනිය යයි භූ අහස ඒ අනුව තථාගතයන් වහන්සේ ගේ සමස්ත ප්‍රශ්න විසඳුම් ක්‍රම විධි සතරෙකි. මේ ඒකාංගික පටිසුච්ඡා, විභංග, ඨපනිය යන ප්‍රශ්න ව්‍යාහරණ ක්‍රමයයන්හි, එකක් උසස් එකක් පහත් බවෙකින් විස්තර කළා නො හැක. එහෙත්, මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ, තථාගතයන් වහන්සේ විභජ්ජ වාදියකු ලෙසැ පෙන්වා දුන්නේ ඇයි.

ඒ කලැ පැවැති බෞද්ධ වාදයයන් බොහෝසයැ. දෙවැනි, තෙවැනි ධර්ම සංගායනා අතර කාලය අභිධර්මය සකස් වූ කාලය යයි. මූලික වශයෙන් අභිධර්මය සුප්‍රකට න්‍යාම ධර්ම දෙකක් හඳුන්වා දී තිබිණි. ඉන් එකක් ධර්ම වාදයයි. අනෙක් ක්ෂණවාදය යි. ධර්මවාදයෙන් කියා සිටියේ සත්වයෙක් නැති බවත්, පරමාර්ථ ධර්ම පමණක් පවතිනැ බවත් යැ. එද වර්තමානයෙන් පමණි. මේ විධියට පුද්ගල පැවැත්ම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා, කර්මය, පුනර්භවය, සදාචාරය සම්බන්ධයෙන් නොයෙක් අපහසුතා පැන නඟින බව කල්පනා කළ ඇතැම් ධර්මධර කෙනෙකුන් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේක් ආත්මය මිසැ පුද්ගලයා නොවනැ බව පැහැදිලි කැරැ දුන්නෝ ය. මේ අදහසට නායකත්වය දුන් වත්ස පුත්‍ර ‘නම් ආචාර්යවරයකු නිසා, උන්වහන්සේගේ නායකත්වය යටතේ බිහි වූ නිකායය. ‘වත්ස පුත්‍රී පුද්ගලවාද නම් වියැ. පුද්ගලවාදය බුද්ධ මාර්ගයෙහි මහත් පෙරළියෙක් ඇති කළ අදහසෙකි. මේ අදහස තදින් මැ ප්‍රතික්ෂේප කෙළෝ සම්ප්‍රදායික බෞද්ධ ආචාර්යවරු ය. එහෙත් පුග්ගලවාදය මඟින් මතු කළැ ප්‍රශ්නවල වැදගත්කම පිළිගත් ඇතැම් අය, පුද්ගලයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කැරූ කර්මය පුනර්භවය, සදාචාරය වැනි කරුණු තහවුරු කළ හැකි, වෙනත් මඟෙක් කල්පනා කළහ. එහි දී ‘පරමාර්ත්ථ ධර්ම තුන් කල්හි මැ පවතී යන අදහස ගැනීමෙන් ඒ ගැටලුවට විසඳුම් ලැබේයැයි ඔවුහු නිගමනය කළහ. ඔවුහු සර්වාස්ථිවාදී හු වූහ.

සර්වස්ථිවාදීන් ඉදිරිපත් කළැ පරමාර්ථ ධර්ම තුන් කල්හි මැ පවතී යන අදහසට මූලික අභිධර්මය පරස්පර වියැ. අභිධර්මයෙන් කියැවෙනුයේ පරමාර්ත්ථ ධර්ම වර්තමානයේ පවත්නා බවයි. ඒ අනුවැ පරමාර්ත්ථ ධර්ම සමහරක් පවතින බවත්, සමහරක් නො පවතින බවත් ප්‍රකාශ විණි. ඒ කණ්ඩායමට නායකත්වය දුන් ආචාර්යවරයා කාශ්‍යප යතිවරයාණන් නිසා, ඒ නිකායය “කාශ්‍යපීය, නිකායය නම් වියැ. කාෂ්‍යයපීය නිකායය ප්‍රකාශ කැරැ සිටියේ, විපාක නොදී ශේෂ වූ අතීත ධර්ම හා වර්තමාන ධර්ම පවත්නා බවක්, විපාක දී ඇති අතීත ධර්ම හා අනාගත ධර්ම නො පවත්නා බවත් යැ. ඔවුන් කියා සිටියේ, පරමාර්ත්ථ ධර්ම තුන් කල්හිම පවතී’ යන අදහස එක එල්ලේ පිළිගැනීම වැරැදි බවත්, ඒ සම්බන්ධයෙන් විග්‍රහයෙකැ යෙදීම වුවමනා බවත් යැ. එමැ විග්‍රහයේ දී විපාක දුන් අතීත ධර්ම හා අනාගත ධර්ම නො පවත්නා බව පැහැදිලි වෙන්නේ යැයි ඔවුහු පැවැසූ පුග්ගල පැවැත්ම පිළිබඳ කාශ්‍යයපීය නිකායය දැරූ අදහස ‘විභජ්ජවාදය’ යන පාරිභාෂිත පදයෙන් හැඳින්වේ.

තෙවැනි ධර්ම සංගායනාව සිදුවන විට මේ ගැටලුව කෙතරම් උත්සන්නවැ තුබුණේ ද යත් සාම්ප්‍රදායික ථේරවාදීන්ට ඒ සම්බන්ධවැ තමැ ස්ථාවරය පැහැදිලි නො කොටැ නිශ්ශබ්ද වීමටැ ඉඩකඩක් නො තිබිණි. ‘මොග්ගලී පුත්ත තිස්ස’ මහ තෙරුන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කොට ‘කථාවත්ථු’ නම් ග්‍රන්ථය පිළියෙල කරන ලද්දේ එම ප්‍රශ්නයට පිළිතුරු දීමට ය. එහි ආගත කරුණුවලට සර්වාස්ථි වාදීන් පිළිතුරු දී ඇත. පුග්ගලසඤ්ඤත්ති වාදීන් සර්වස්ථ වාදීන්, කාශ්‍යයපීය වාදීන් ඉදිරිපත් කළ අදහස් ගැන ගැඹුරු ලෙස විශ්ලේෂණය කිරීමට කතා වස්තුවේ දී දරා ඇති උත්සාහය ද විභජ්ජ වාදයෙක් ලෙස සැලැකින. තථාගතයන් වහන්සේ කිනම්වාදියෙක් ද? ඇසූ පැනයට පිළිතුර විභජ්ජවාදියෙකැ යි පිළිගැනීමෙන් වූයේ ඉහත කී ඓතිහාසික සංදර්භය යටතේ යැ. ඒ හැරුණු විටැ තථාගතයන් වහන්සේගේ සමස්ත ස්වභාවය හෝ තථාගත දහමේ යථා ස්වභාවය පැවැසීමට. ‘විභජ්ජවාදය’ යන ප්‍රයෝගය කොහෙත් මැ නොගැළපෙන බව උක්ත කරුණුවලින් මොනවට පැහැදිලි වේ.

භාරතයේ ධර්මාසෝකයන් “ධර්ම විජය” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙහි ලා රාජ්‍ය වාදය උපයෝගී කැරැගත් බව උක්ත කරුණුවලින් නොවැ පැහැදිලි නිසා, දේවානම්පියතිස්ස රජතුමාගේ වුවමනාවත් සපුරාලමින් මැ දේශ ව්‍යාප්තිය පිණිස ධර්මාශෝක මහරජතුමා ධර්මදූත මෙහෙවර ක්‍රියාත්මක කළ බව කීම ප්‍රකාශයෙක් නම් නොවේ.

ක්‍රි.ව. 1565 දී කුළු බඩු හා ක්‍රිස්තියානිය සොයාගෙන මෙහි ආ ලොරෙන්සෝ ද අල්මේදා පුවත ද පැරැණි ව්‍යාප්ති වාදයෙහි ආගම වැදගත් සාධකයෙක් වැ පැවැති බව පෙන්නුම් කරයි. එසේ වුව ද මිහිඳු මාහිමිපාණන්ගේ සම්ප්‍රාප්තිය මේ රටේ සුභවාදී මාර්ගෝපදේශයෙකැ මුලාරම්භය වූ බව පැහැදිලියැ. එයින් මෙහි සිදු වූ විපර්යාසයෙන් සිංහලය ලෝකයේ වැදගත් ස්ථානයෙකැ රැන්ද වූයෙන් අද දූ අපි මහින්දාගමනය අමන්දානන්දයෙන් සමරමු.

අප ජාතික සම්පත් ලෙසින් තේ, පොල්, රබර් පිළිබඳ ව කතා කෙරෙති. එහෙත් ඒ මේ දේශයට පත් වූ දිනය, පොත පතෙකැ ආශ්‍රයෙන් තොර වැ කීමට දන්නේ කීයෙන් කී දෙනෙක් ද? එහෙත් තථාගත දර්ශනය සිංහලයට පත් දිනය. ඒ ගෙනා තැනැ, ඒ ගෙනා උතුමන් පිළිබඳවැ බොහෝ දරු - දැරියනට පවා පොතෙකැ පතෙකැ උදව්වෙන් නැති වැ ප්‍රකාශ කළ හැක. එයින් ප්‍රකාශ වෙන්නේ අපේ හැබෑ ජාතික සම්පත හදවතටැ සමීප වූ ජාතික සම්පත බුදුදහම වෙයි. ඒ අපටැ හිමි කැරැ දුන්මෝ, මිහිඳු මාහිමිපාණන්ගේ ප්‍රධාන ධර්ම දූත පිරිසයි. එයින් අප මානසික සාමාජික සමාජ පරිසරය මිහිරි දායක වියැ. සෝභමාන වියැ. එහි ප්‍රාථමික ක්‍රියාකාරීත්වය දේශයේ මැ පාලකයා අතැ වූ අවි, අතැ දිගු නිය පොත්තෙකු දු නැතිවැ බිම හෙළැවීමයි. ඒ ධර්ම බලයටත්, රාජ බලයටත් අනුව වූවකි. එයින් වූයේ මැ වැඩෙත් මිසැ අවැඩෙක් නම් නොවේ.

උසස් ශිෂ්ටාචාරයෙකැ රැඳී සිටි සිංහලයාට බුදු දහමේ ආභාසය ලැබීම, රත්තරනවැ, රසදිය එකතු වීමෙන් මැ වියැ. පණඩුකාභය රජු දවසැ ඇරැඹි වැව් සංස්කෘතිය, මහින්දාගමනයෙන් පසු, වැව දා ගැබ මුල් කැරැගත් මහත් උසස් සංස්කෘතියක් බවටැ පරිවර්තනය වියැ. එ නයෙන් භාෂා සාහිත්‍යය, වාග් විද්‍යාව, චිත්‍ර, මූර්ති, වාස්තු විද්‍යාව මතූ නොව යහපත් ගුණ ධර්ම ව්‍යාප්ත වියැ. මේ තත්ත්වයන් යටතේ ක්‍රි.පු. 227දී මහින්ද මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසේ සපැමිණීම වෙස් වළාගෙනැ ආ ආශීර්වාදයෙක් බව න්‍යායාත්මතාවයෙනුත්, භාවිතාවයෙනුත් ඔප්පු වී ඇති බව ඉතාමත් මැ පැහැදිලි සත්‍යයෙකි.

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]