 සතුට සැනසුම උරුම සැහැල්ලු පැවතුම්
ඇති අයටයි
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
පෙර තේමිය නම් කුමාරයෙක් වනයේ පැවිදි ව, ගුණ දහම් වඩමින් විසීය. ඔහුගේ පියරජතුමා
එක් දිනක් ඔහු බැලීමට කැලයට පැමිණි විට ලුණුවත් නොයොදා පිසූ පලා වර්ගයක් පමණක් ආහාර
සඳහා පිළිගැන්වීය. ,රාජ භෝජන ගන්නා මට මේවා කන්න බෑ. . . මෙවැනි කටුක ආහාර අනුභව
කොට ජීවත් වෙන ඔබේ ශරීරය නම් රත්රන් රූපයක් වගෙයි.
ඉන්ද්‍රියනුත් හරිම ප්‍රසන්න යි. දකින විටත් හරි ප්‍රියමනාප ගතියක් තියෙනවා. කැලෑ
කොළ කන ඔබට එවැනි පුදුම සම්පත් ලැබුණේ කොහොම ද ?, කියා රජතුමා විමසීය.
පියරජතුමාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් තේමිය කුමාරයා තමා ලස්සන වීමේ රහස පැහැදිලි
කරමින් අතීත දේ පිළිබඳ ව කල්පනා නොකොට සෝක නො කරමි. අනාගතයෙහි මෙවැනි සම්පත්තියක්
ලබමි'යි ප්‍රාර්ථනය නො කරමි. වර්තමානයේ ලැබෙන්නේ කුමක් ද ඒ ලැබෙන දෙයින් මම යැපෙමි.
මේ කරුණු නිසා මගේ ශරීරයෙහි වර්ණය බොහෝ ප්‍රසන්න යි, යනුවෙන් ප්‍රකාශ කළේ ය.
සමහර අය තුළ තමන්ට ම විපත් සිදුකරන ඉච්ඡා හෙවත් ආශාවන් කිහිපයක් ම ඇති බව බුද්ධ
දේශනාව අනුව පැහැදිලි වේ. ඒවායින් අත්‍රිච්ඡතා හා මහිච්ඡතා ප්‍රධාන වේ. තමන්ට ඇති
සම්පත්වලින් සතුටට පත් නොවන සමහර අය අනුන් වෙත ඇති සැප සම්පත් තමන්ට ඇති ඒවාට වඩා
උසස් යැයි සලකා ඒවාට ඇලුම් කරති.
ඇවිලෙන ගින්නකට දර දමන විට තව තවත් ඇවිලී යයි. මහ සයුරට කොපමණ ජලය ගලා ආවත් සෑහීමකට
පත්ව එක් අඟලක්වත් උස්ව පිරුණු බවක් නො දක්වයි. එමෙන් ම මහිච්ඡතාවෙන් යුත්
පුද්ගලයාට ද කොපමණ වස්තුව තිබුණත් සෑහීමකට පත් කළ නොහැකි ය.
කුරු රට පාලනය කළ අසූ වියැති වයෝවෘද්ධ කෝරව්‍ය රජතුමා දිනක් තම උයනේ දී රට්ඨපාල
රහතන් වහන්සේ හමුවිය. දෙදෙනා සුහද ව සාකච්ඡා කරමින් සිටිය දී , රජතුමනි ඔබේ ගත බොහෝ
දුර්වල යි. මේ අවස්ථාවේ වුවත් සමෘද්ධිමත් වෙනත් රාජ්‍ය ගැන තොරතුරු අසන්නට ලැබුණ
හොත් ඔබට ඇතිවන හැඟීම කුමක් ද?, යි රට්ඨපාල හිමියෝ ප්‍රශ්න කළහ. , අනේ ස්වාමිනි
ඒවාත් මට අල්ල ගන්න ඇත්නම් හොඳයි , යනු රජතුමා දුන් පිළිතුරයි.
කොපමණ වයසට ගියත්, කොපමණ උසස් රාජ සම්පත් තිබුණත්. තව තව යන මේ ආශාව හෙවත්
මහිච්ඡතාව තමාට ම පුදුම විපත්තියක් සිදුකරන බව පෙන්වා දුන්හ.
පාපිච්ඡතා ආදී අයහපත සලසන වෙනත් ඉච්ඡා පිළිබඳව ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.
අපමණ පින්කම් කළ කෝසල මල්ලිකාව රජතුමා රැවටීමට බොරුවක් කීම පිළිබඳ ව නිතර සිහි
කරමින් තැවුණි. මරණාසන්න වේලාවේ දී ඇයගේ චුති චිත්තයට එය අරමුණු වීම නිසා දුගතිගාමී
වීමේ සිදුවීම සිහියට ගත් විට අතීතයේ සිදු වූ අයහපත් දේ අනුව තැවීමේ බලවත් විපත වටහා
ගැනීම පහසු ය.
අනාගතයේ මෙවැනි සම්පත් ලබමි'යි තවත් සමහර අය මනෝ ලෝකයක ජීවත් වෙති. තම ගුරු
හිමියන්ට තල් අත්තෙන් පවන් සලමින් සිටි භාගිනෙය්‍ය සංඝරක්ඛිත හිමියන් අනාගතය පිළිබඳ
විවිධ සිතිවිලි ධාරාවක පැටලී සිට නොදැනුවත්ව තම ගුරු හිමියන්ගේ හිසට පහරදීමේ
සිනාමුසු පුවතක් අපේ ධර්ම ග්‍රන්ථයන්හි දැක්වේ.
මනුෂ්‍යයකුගේ ජීවිතය සාර්ථක ව පවත්වා ගෙන යාමට සතුටින් යුත්, පහසුවෙන් පෝෂණය කළ
හැකි වැඩි වැඩ නැති සැහැල්ලු පැවතුම් ඇති කෙනකු විය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයෙන්
බුදු පියාණෝ පෙන්වා දුන් සේක. මංගල සූත්‍රයේ දී ද සන්තුට්ඨි යනුවෙන් ලද දෙයින්
සතුටුවීමේ අගය පෙන්වා දුන්හ. මේවා බාල, තරුණ, මහලු යන සෑම කෙනකුගේ ම සාර්ථක
ජීවිතයකට යහපත් උපදේශයන් ය.
ලොවෙහි උසස් තැන් ලබා ගත් බොහෝ දෙනා ඒ තැන ලබා ගන්නා ලද්දේ ධනය තිබීමෙන් නොව
උත්සාහයෙන් ක්‍රියා කිරීමෙන් බව පැහැදිලි ය. ලෝක ප්‍රකට විද්‍යාඥයකු වූ අයිසෙක්
නිවුටන්ගේ ජීවිතය දෙස බලන්න. මොහු දුප්පත් ගොවි පවුලකට අයත් ය. බරින් ද අඩුව මෙලොව
එළිය දුටුවේ ය. පාසලේ ඉගෙනීමේ දී තිබූ විවිධ දුර්වලකම් නිසා අන් ළමයින්ගේ විහිලුවට
ද ලක්විය. මේ කිසිවකින් උදාසීන නොවූ ඔහු ඉතා මහන්සියෙන් සියලු කටයුතු සිදුකර
ගුරුත්වාකර්ශනය වැනි නවීන දේ සොයා ගත් ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් බවට පත් විය.
ඉංග්‍රීසි ජාතික ලේඛක චාල්ස් ඩිකන්ස් ඉතා දුප්පත් පවුලක උපන් කෙනෙකි. වරක් ඔහුගේ
පියා විසින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි ව හිරයට නියම විය. ඒ වන විට දොළොස් වන වියේ
පසු වූ චාල්ස් ඩිකන්ස් පාසලින් අස්වී කම්කරුවන් සමඟ එක් වී වැඩ කිරීමෙන් පවුල රැක
ගැනීමට සමත් විය. ඒ අතර සෑම විවේකයක ම පොත්පත් කියවමින් ඉගෙනීමට මහත් සේ වෙහෙසක්
දැරීය. විවිධ දේ ලියන්නට පුරුදු වූ චාල්ස් ලෝක ප්‍රකට ලේඛයකු බවට පත්විය.
වර්තමානයේ හැදෙන වැඩෙන දරුවන් මෙවැනි අයගේ චරිත තමන්ගේ ජීවිතවලට ආදර්ශ වශයෙන් ගත
යුතු ය.
ගුණ දහමින් සපිරුණු සැහැල්ලු දිවියක් පවත්වා ගෙන යාමට හැකි නම් බරින් තොරව අහස් කුස
පියාඹා යන කුරුල්ලකු සේ ජීවත් විය හැකි ය. බුදුරජාණන් වහන්සේ එවැනි දිවියක් ගෙවීමට
දී ඇති එක් උපදේශයක් මෙසේ ය.
තම පාදයන්හි පාවහන් පැළඳ ගත් විට මුළු ලොවම සම් ඇතුරුවා සේ ගමන් කළ හැකි වන්නාක්
මෙන් ලැබෙන ස්වල්ප දෙයින් සතුටු සිතින් ජීවත්වන්නාට සියලු සම්පත් ලැබුණා හා සමාන
වෙයි. |