වෙසක් පුර පසළොස්වක පෝ දා
2025-05-12
ප්‍රතිපත්තියෙහි අප්‍රමාදී වෙමු
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පෝ
දිනය අදයි. තුන්ලෝකාග්‍ර වූ ශාස්තෘන් වහන්සේ උදෙසා ආමිෂ පූජාවෙන්, ප්‍රතිපත්ති
පූජාවෙන් පූජෝපහාර දැක්වීමට ලෝ වැසි බොදු දන සුපහන් සිතින් පෙළගැසීම අපමණ සැදැහැ
දනවන්නේ ය. මිනිස් සිත් සතන් තුළ ආධ්‍යාත්මික ගුණධර්ම පෝෂණයෙහි ලා, ලොවට මෙත් ගුණ
පැතිරවීමෙහිලා ඒ පෙළගැසීම ඉමහත් භාග්‍යයෙකි.
බෞද්ධයාගේ සිතිවිලි, හැසිරීම, ක්‍රියාකාරකම්, ජීවන පැවැත්ම බුද්ධිමත් ය. එහි
සද්ධර්මයට පටහැනි දේ සිදු නොවේ. එහෙත් ඇතැම් බෞද්ධ නාමික පුද්ගලයන් සිත කය වචනය
හසුරුවන්නේ ම අධර්මානුකූලව ය. එය තමන්ට පමණක් නොව අනුන්ට ද කරන අනර්ථයෙකි. දෙලොව ම
අගතියට යන මාවතකි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගෙන් සිදු වූ වැරැදි
හඳුනාගෙන, එයින් නිවැරැදි වූ පුද්ගලයා වළාකුලෙන් මිදුණු සඳ සේ බබළන බව ය.
ජීවිතයේ වැඩ අවැඩ තෝරා බේරා ගන්නට ඉතා සුවිශේෂී ධර්මාවවාදයක් මහා ධම්මසමාදාන
සූත්‍රයේ එයි. එයට අනුව බුද්ධාදී ආර්යයන් වහන්සේ නොදක්නා වූ, උන්වහන්සේ දෙසූ
ධර්මයෙහි අදක්ෂ වූ, ධර්මය නූගත් පෘථග්ජන පුද්ගලයා ඇසුරු කළ යුතු, නොකළ යුතු අය
නොදනී. පිළිපැදිය යුතු, නොපිළිපැදිය යුතු ධර්මයන් නොදනී. ඒ නොදන්නාකම නිසා ඔහු
ඇසුරු නොකළ යුතු අය ඇසුරු කරයි. නොපිළිපැදිය යුතු ධර්ම පිළිපදියි. මේ නිසා ම ඔහු
තුළ අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්ම දියුණු වේ. ඉෂ්ට, කාන්ත, මනාප ධර්ම පිරිහේ. ධර්මය
නිවැරැදිව නොදැනීම, අනවබෝධය, නොවැටහීම ඊට හේතුවයි.
කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලෙස පෙනී සිටිමින් ලාබ ප්‍රයෝජන අරමුණෙන් විකෘති කළ ධර්මය
සමාජගත කරන ඇතැම් පුද්ගලයන් ද අද සමාජයේ වෙති. බුද්ධ කාලයේ ද වූහ. එහෙයින් සැබෑ
කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමටත්, නිවැරැදි ධර්මාවබෝධයටත් පැමිණීමට විමර්ශනශීලී වීම
ඉතා වැදගත් වේ. නැතහොත් සිදු වන්නේ අනවබෝධය නිසා ධර්ම මඟ යැයි අදැහැමි මාවත තෝරා
ගෙන පාප කර්ම රැස් කර ගන්නට ය.
මහා ධම්මසමාදාන සූත්‍රයේ දී මෙලොවත් පරලොවත් දුක් සැප විපාක, ගෙන දෙන කරුණු සතරක්
ගැන අවධානය යොමු කරයි. මෙලොවත් පරලොවත් දුක් විපාක ලැබෙන පරපණ නැසීම, සොරකම, කාමය
වරදවා හැසිරීම, බොරු, කේළාම්, හිස් වචන, රළු වචන කීම, දැඩි ලෝභය, මිසදිටු බව යනු
පළමු ධර්මසමාදානයයි.
මෙලොව සැප ගෙන දෙන, පරලොව දුක්ගෙන දෙන ධර්ම සමාදානය දෙවැන්නයි. එයින් විස්තර කර
දුන්නේ යම් පුද්ගලයෙක් වැරැදි අවබෝධයෙන් සැප යැයි සිතා ප්‍රාණඝාතාදී දස අකුසල්
කරන්නේ ද හේ මෙලොව පමණක් මානසික සුව ලබයි. එහෙත් ඔහු පරලොව දුගතිගාමී වේ.
මෙලොව දුක් ගෙන දී, පරලොව සැප ලැබෙන ධර්ම සමාදානයක් ද වේ. යම් කෙනෙක් ඉතා
අකැමැත්තෙන් හෝ ප්‍රාණඝාතාදී දස අකුසලයෙන් දුරුවී කුසල් වඩයි. එය මෙලොව දුකක් යැයි
සිතන්නට හැකි ය. එහෙත් පරලොව සුගතිගාමී සැපයට හේතුවකි.
සිව්වැන්න මෙලොව, පරලොව සැප ලබා දෙන ධර්ම සමාදානයයි. මානසික සැප සතුට රිසියෙන්,
පරලොව සුවය රිසියෙන් යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතාදී අකුසලයෙන් වෙන්වී, සිත කය වචනය
මෙහෙයවා කුසලයෙහි යෙදීමයි. ඒ නිසා හේ අප්‍රමාණ සතුටක් ලබන අතර පරලොව ද සැප ලබයි.
මේ උතුම් පෝ දා ආරම්භයක් කර ගනිමින් බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට පිවිසීමට අධිටන් කර
ගනිමින් මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් අර්ථවත් කර ගන්නට කෙනෙක් අප්‍රමාදී වන්නේ
නම්, ඒ සම්බුදු වදන අනුව යාමකි. |