[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුනේ උසස් ම කුසල මාර්ගය

සම්බුදු සසුනේ උසස් ම කුසල මාර්ගය

මනුෂ්‍යයකුට ආගමක් අවශ්‍ය වන්නේ තම තමාගේ විමුක්තිය සඳහා පින් රැස් කර ගැනීමට යි. පින් අවශ්‍ය වන්නේ ඒ ඒ මිනිස් ජීවිතය සඵලවත් කර ගැනීමටත්, සසර දුකින් නිදහස් වීමටත් ය.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි පුඤ්ඤාභිසන්ද සූත්‍රයෙහි පින් රැස්කර ගන්නා ආකාරය පැහැදිලි කළහ.

ස්වර්ග මෝක්ෂ සියලු සැප සම්පත් ගෙන දෙන්නා වූ කුසලෝත්පත්ති තුනක් ප්‍රධාන වශයෙන් එහි දැක්වෙයි. බුදුන් සරණ යාම, ධර්මය සරණ යාම, සංඝයා සරණ යාම යන තෙරුවන් සරණ යාම බුදු සසුනෙහි උසස් ම කුසල මාර්ගයන් ලෙසයි එහි ප්‍රකාශ කොට ඇත්තේ.

එම තෙරුවන් ගුණ දැනහැඳින සසරින් මිදීම සඳහා ඒ තෙරුවන සරණ කර ගත්, පිහිට කර ගත් තැනැත්තා බෞද්ධයා යැයි අපි සලකමු. බුදුරජාණන් වහන්සේ

“තුම්මේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරො තථාගතෝ”

යන දේශනාවෙන් තමාගේ දියුණුූව තමා විසින් ම සලසා ගත යුතු බව පෙන්වා වදාළහ. බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ නිවැරැදි මාර්ගය ලෝකයාට පෙන්වා දීම පමණයි. කෙනකුගේ ජීවිතය තවත් කෙනකුට සකස් කර දිය නො හැකි ය.

“අත්තාහි අත්තනො නාථෝ”

තම තමන්ගේ ජීවිතවලට වග කිවයුතු එම තැනැත්තා ම ය.

“සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤ මඥේඤා විසොධයෙ”

තමා හොඳ කෙනකු කරන්නේත්, නරක කෙනකු කරන්නේත් තමා විසින් ම ය.

බෞද්ධකම හෙවත් බුද්ධ ශ්‍රාවක බව ලබා ගැනීම ද පරම දුර්ලභ කාරණයකි. ඒ සඳහා මිනිසත් බවත්, සම්බුදු සසුනත් විශේෂයෙන් අවශ්‍ය වේ. එබැවින් කරන ලද බොහෝ කුසල් ඇති කෙනකුට විනා අනෙකකුට නියම බෞද්ධයෙක් විය නොහැකි ය. සතර මහා දිවයිනට අධිපති සක්විති රජ පදවියක් ලබනවාට වඩා මම හොඳ බෞද්ධයෙක්මි’යි යමෙකුට අවංක ව ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් ඇතොත් මනුලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඔහු ලෙස සැලකිය හැකි ය.

“බෞද්ධ ජීවිතයක් සකස් කර ගත යුත්තේ කෙසේ ද යන්න,

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං”

යන මේ බුද්ධානුශාසනාවෙන් ම අපට වටහා ගත හැකි ය. සියලු පව්වලින් වැළකී දස කුසල ධර්මයන් රැස් කරමින් සිත පිරිසුදු කර ගත්තේ නම් එය බුදු කෙනකුගේ පරම අනුශාසනය බව ප්‍රකාශ වෙයි. යමෙක් නියම බෞද්ධයෙක් නම් ඔහු මෙහි උගන්වන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය තුළින් තම ජීවිතය සකස් කර ගැනීමට වෑයම් කළ යුතු වෙයි. ඒ සඳහා තම ජීවිතය සිල්වත් කර ගත යුතු ය.

මෙහිදී අඩුම වශයෙන් පන්සිල්වත් ආරක්ෂා කර ගත යුතු ය. කයින්, වචනයෙන් සිදුවන වැරැදිවලින් වැළකී සංවර වනවිට භාවනා මඟින් සිත පිරිසුදු කරගෙන සිතේ දියුණුවක් ලබා ගත හැකි වෙයි. හිත හදාගත් බෞද්ධයාට තමාගේ පරමාර්ථය වූ නිවන කරා යොමු විය හැකි ය.

ඇත්තෙන් ම අප බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉගෙන ගෙන, ඒ තුළින් කෙසේ ජීවිතය සකස් කර ගත යුතු ද යන්න නුවණින් අවබෝධ කර ගත යුතු ය.

“බුද්ධොහං බොධයිස්සාමි - මුත්තො හං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොගා මහබ්භයා”

මම පළමු කොට සසර සයුරෙන් එතෙර වෙමි. දෙවනුව සසර දුක් විඳින ජනතාව එතෙර කරන්නෙමි. මේ බෞද්ධ සිද්ධාන්තය සෑම බෞද්ධයකුට ම පරමාදර්ශයකි. අපේ සමාජයෙහි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ අනුන්ට උපදෙස් දීමට මිස තමන් හැදෙන්නට නොවෙයි. විශේෂයෙන් ම මේ සිරිත් බහුල ව දක්නට ලැබෙන්නේ අපේ සිංහල බෞද්ධයන් තුළයි. තමන්ට පන්සිල් ආරක්ෂා කර ගත නොහැකි ව, විවිධ දුසිරිත්වල යෙදී බැඳී ක්‍රියා කරමින්, භික්ෂූන් වහන්සේත්, බුද්ධ ශාසනයත් උපහාසයටත්, අපහාසයටත් ලක් කරති.

“නපරෙසං විලොමානි - නපරෙසං කතාකතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානිච”

යන දේශනා අනුව බලන විට බෞද්ධකම නම් අනුන් කරන හොඳ, නරක විවේචනය කරමින් සිටින එක නොවෙයි. කළ යුත්තේ තමන්ගේ ළඟ ඇති අඩුපාඩු මොනවා දැයි නුවණින් සොයා බලා ජීවිතය සකස් කර ගැනීමයි. එසේම බුද්ධ චරිතයේ හා බෝසතාණන් වහන්සේගේ චරිතවල ඉතා හොඳින් පෙන්වා දී තිබෙන කරුණාව, දයාව, ඉවසීම, අල්පේච්ඡතාව ආදී ගුණධර්ම තුළින් තම ජීවිතය සකස් කර ගැනීමයි.

බෞද්ධයකු තුළ තිබිය යුතු අවිහිංසාව, දයාව, ගුණගරුක බව, නිහතමානී බව, අවංකකම, ලද දෙයින් සතුටුවීම වැනි සාරධර්ම අද නැත්තටම නැති වී ගෙන යන්නා සේ ය. ඒ වෙනුවට ඊර්ෂ්‍යාව, පුහුමානය, වංකකම, ගුණමකුකම යන අසාර ධර්ම දියුණුූ වී ගෙන එන බවයි. මේ බෞද්ධ රට තුළින් පෙනෙන්නට තිබෙන්නේ.

පරිත්‍යාගයේ ගුණ වනන බොහෝ දෙනෙක් අල්ලස් ගනිමින් දූෂණයේ යෙදෙති. අමද්‍යප සේවයේ ගුණ වනන ඇතැමෙක් ස්කාගාර පිහිටුවා රට මත්පැනින් නැහැවීමට වෙර දරති. අවිහිංසාවේ ගුණ වනන තවෙකෙක් එළු, කුකුළු පට්ටි ඇති කරමින් මිරිදිය, කරදිය මසුන් බෝකරමින් (මත්ස්‍ය, ගොවිපොළ) මාංශ ආහාරය සුලබ කිරීමට වෙර දරති. මෛත්‍රියේ ගුණ වනන ඇතැමෙක් තමන් පක්ෂ වශයෙන් කුලමල වශයෙන් බෙදී එකිනෙකාට බැණ ගනිති. මෙවැනි පුද්ගලයන් තුළ ඇති බෞද්ධකම කුමක්දැ’යි සිතා බැලීම අප කාගේත් යුතුකමකි.

එසේ ම බෞද්ධ ජීවිතයක තිබිය යුතු අල්පේච්ඡකම හා ලද දෙයින් සතුටුවීමේ ගුණය අප ජනතාව අතරින් කෙතරම්දුරට ඈත් වී ගොස් තිබේ ද කිවහොත් මුදල් හරිහම්බ කිරීම ම අද ජීවිතවල පරමාර්ථයක් බවට පත් වී ඇත. සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ, පරාභව වැනි සූත්‍ර දේශනා තුළින් ආර්ථිකය දියුණුූ වන අයුරු හා පිරිහෙන අයුරු මොනවට පැහැදිලි කර දී ඇත.

කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන පරිදි අවංක, නිහතමානී, සන්සුන් ඉඳුරන් ඇති පුද්ගලයන් වීමට සිතට ගන්න. හික්මීමෙන්, සදාචාරයෙන් පිරිහි ගොස් උගත්කමින්, ධනවත්කමින් දියුණුූ වූ පමණින් ම යහපත් සමාජයක් ගොඩ නොනැඟෙන බව නුවණින් කල්පනා කරන්න.

එසේ කල්පනා කොට නා නා අදහස්, නා නා සටහන්, නා නා ක්‍රියා ඇති විශාල සමාජයක ජීවත් වන අප හැම විටක ම සෑම දෙයක දී ම මුළා නොවී, ධර්මයත්, සත්‍යයත් දකින නුවණැස දියුණුූ කරමින් ජීවිතය තුළ තිබෙන යහපත් ජීවිතයකට අයිති නොවන අගුණ ක්‍රමයෙන් දුර ලා, යහපත් ගුණ වඩමින්, බෞද්ධ ජීවිතය අති පාරිශුද්ධතාවට පත් කරගෙන, දුක් අඳුර දුර ලා ලබන විමුක්ති සැපත ලබා ගැනීමට මේ වෙසක් සමයෙහි විශේෂයෙන් උත්සාහ ගනු මැනවි.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]