[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා: කුසල් සිත්හි සිත එකඟ කර ගැනීමට ...

කුසල් සිත්හි සිත එකඟ කර ගැනීමට ...

‘සම්මා’ යන පාලි වචනයෙහි (නිපාතයේ) අරුත වන්නේ යහපත් යන්න යි. එකතු කිරීම වැනි අර්ථ ඇති ‘සං’ යන උපසර්ගයට සහ සීමාව වැනි අර්ථ ඇති ‘ආ’ යන උපසර්ගයට දැරීම යන අර්ථ ඇති ‘ධා’ ධාතුව එකතු වී සෑදුණු පදයකි, සමාධි යන්න.

එවිට සම්මා සමාධි යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ මනා සේ එකතු කරගත් සීමා සහිත සිතක් දැරීම යන්න යි. එනම් සිතේ එකඟ බව යි.

විභංගප්පකරණයේ මග්ගවිභංගයේ දී සමාධිය යනු කුමක් ද යන්න පෙන්වා දෙයි.

‘කතමා ච භික්ඛවෙ, සම්මා සමාධි? ඉධ භික්ඛවෙ, භික්ඛු විවච්චෙහි කාමෙහි විවච්ච-අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති...’ මෙම දේශනාවට අනුව සමාධිය යනු කාමයන්ගෙන් සහ අකුසලයන්ගේ වෙන් ව පළමු, දෙවන, තෙවන සහ සිවුවන ධ්‍යානයන්ට පත්වීම යි. ධ්‍යාන ධර්මය සමාධිය මිස ධ්‍යානයට පත් වන පුද්ගලයා සමාධිය නො වන බව සිහි කළ යුතු ය. මෙවැනි දේශනා ‘පුග්ගලාධිට්ඨාන-දේසනා’ වශයෙන් ධර්මයේ විස්තර කරයි.

විසුද්ධිමග්ගයේ ද සම්මා සමාධි යන්න දීර්ඝ ලෙස විවරණය කරයි.

‘කුසලචිත්තෙකග්ගතා සමාධි’ කුසල් සිත්හි සිත එකඟ කර ගැනීම සමාධිය යැයි මෙහි දී පෙන්වා දෙයි. එනම් චිත්ත සහ චෛතසිත ඔබ මොබ විසිර යන්නට නො දී යම් කුසල ධර්මයක පමණක් සිත පවත්වා ගෙන සිටීම යි.

සමාධිය යනු කුමක් ද යන්න කියවීමෙන් පසු සමාධියේ විවිධ ප්‍රභේද පිළිබඳ දැනගත යුතු ය. විවිධ සමාධි වර්ග රාශියක් ඇත. ඒ සියල්ල මෙහි දැක්වීම අපහසු ය. එනිසා කිහිපයක් පමණක් සංඛ්‍යාත්මක ව වැඩි වෙන ආකාරයට පෙන්වා දිය හැකි ය.

එක්වැදෑරුම් වශයෙන් - සිත නො විසුරුවා තබා ගැනීම වශයෙන් සමාධිය එක් වැදෑරුම් ය.

දෙවැදෑරුම් වශයෙන් - උපචාර සහ අර්පණා වශයෙන් ද ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් ද

දෙවදෑරුම් ය. බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදි වශයෙන් දශකර්මස්ථාන පුරුදු කිරීමෙන් පසු සමාධියට ආසන්න ව, අර්පණා සමාධියට පෙර ඇති වන්නා වු සමාධිය උපචාර සමාධිය යි.

අර්පණා සමාධිය යනු රූපාවචරාදි චිත්ත ඒකාග්‍රතාව යි. උපචාරය පැමිණීමෙන් පසු ව අර්පණාවට පැමිණිය හැකි ය. කාම, රූප හා අරූප යන තුන්ලෝකයෙහි සිට ඇති කර ගන්නා වු කුසල් සිත්හි එකඟ බව ලෞකික සමාධිය යි. සෝවාන් ආදි ආර්ය මාර්ගය තුළ සිට ඇති කර ගන්නා වු සිත්හි එකඟ බව ලෝකෝත්තර සමාධිය යි.

තුන්වැදෑරුම් වශයෙන් - හීන, මධ්‍යම සහ ප්‍රණීත වශයෙන් සමාධිය තුන්වැදෑරුම් ය. අල්ප වශයෙන් නිතර නො වඩන සමාධිය හීන සමාධිය යි. අතිශයින් ප්‍රගුණ නො කරන ලද සමාධිය

මධ්‍යම සමාධිය යි. අතිශය ප්‍රගුණ කරන ලද සමාධිය ප්‍රණීත සමාධිය යි. මෙනිසා ආරම්භයේ දී හීන වශයෙන් පවත්නා සමාධිය නිතර වැඩීමෙන් ප්‍රණීත භාවයට පත් කර ගැනීමට අප වෑයම් කළ යුතු ය.

සිවුවැදෑරුම් වශයෙන් - අතිශයින් අපහසුවෙන් උත්සාහ කිරීමෙන් දීර්ඝ කාලයක් ගත වීමෙන් ලැබෙන සමාධිය ද අතිශයින් අපහසුවෙන් උත්සාහ කිරීමෙන් දීර්ඝ කාලයක් ගත නො වීමෙන් ලැබෙන සමාධිය ද, අතිශයින් පහසුවෙන් උත්සාහ කිරීමෙන් දීර්ඝ කාලයක් ගත වීමෙන් ලැබෙන සමාධිය ද, අතිශයින් අපහසුවෙන් උත්සාහ කිරීමෙන් දීර්ඝ කාලයක් ගත නො වීමෙන් ලැබෙන සමාධිය ද යනුවෙන් සමාධිය සිවුවැදෑරුම් ය. මේ ආදි වශයෙන් සමාධියේ විවිධ ප්‍රභේද රාශියක් ඇත.

සමාධියට පත් වූ අයෙක් කාම සහගත සඤ්ඤා මෙනෙහි කරයි ද, තමන්ගේ සමාධිය කිලිටි කර ගනියි. සමාධිගත ව අහසින් වැඩම කළ ඍෂිවරුන් කාන්තා ස්වරූප පුෂ්ප දැක අහසින් ඇද වැටුණු පුවත් මෙහි දී මෙනෙහි කර ගත යුතු ය. ගෞතම බුදුරදුන් පළමු දහම් දෙසුම කළ මිගදායට ඉසිපතන යැයි නමක් වූයේ එවන් ඍෂිවරුන් එම ස්ථානයේ සමාධිය කෙලෙසා ගෙන ඇද වැටුණු නිසා ය. යම් කෙනෙක් නිතර සමාධිය වඩයි නම් එය ම ඔහුගේ සමාධියේ පිරිසිදු බවට හේතු වේ. ඕනෑ ම දෙයක් සතතාභ්‍යාස කිරීමෙන් එහි දක්‍ෂයෙන් විය හැකි ය.

සමාධිය කෙසේ වැඩිය යුතු ද යන්න විසුද්ධිමග්ගට අනුව සරල ව පෙන්වා දිය හැකි ය. එහි දී ලෞකික සමාධිය වැඩීමේ දී පළමු ව සිල් සමාදන් ව දස පළිබෝධවලින් එකක්වත් නැති ව කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වෙත ගොස් සතළිස් කර්මස්ථානයන්ගෙන් තමන්ගේ චරිතයට සුදුසු කර්මස්ථානයක් ලබා ගෙන සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථානවලින් ඉවත් ව භාවනාවට නියම විධි එකකුදු නො පිරිහෙලා භාවනාව වැඩිය යුතු බව පෙන්වා දෙයි.

සමාධිය වැඩීමට බාධා පමුණුවන පළිබෝධ දහයක් වේ. ආවාස, කුල, ලාභ, ගණ, නවකර්ම, අද්ධාන, ඥාති, ආබාධ, ගන්ථ, ඉද්ධි වශයෙනි. ඉන් එකක් පමණක් මෙහි දී විස්තර කෙරේ. ආවාස යනු වාසය කරන ස්ථානය යි. වාසය කරන ස්ථානයේ ඉදිකිරීම් සිදු කරන්නට යාම ද, බඩු ගබඩා ගත කොට තබා ගැනීම ද, මිහිරි ආහාරාදි ඇතැයි අපේක්‍ෂා සහගත ව විසීම ද ආදි වශයෙන් සිතා කටයුතු කිරීම ආවාස පළිබෝධ යි. මෙහි දී එක ම ආවාසය කෙනෙක්ට පළිබෝධයක් ද, කෙනෙක්ට යෝග්‍ය ස්ථානයක් ද විය හැකි ය. එය තීරණය වන්නේ එම පුද්ගලයින් එම ආවාසය පිළිබඳ සිතන, ඇල්ම දක්වන ආකාරය අනුව ය.

කල්‍යාණ මිත්‍රයකු සොයා ගැනීම ද මෙහි දී අත්‍යවශ්‍ය ය. කල්‍යාණ මිත්‍රයා ප්‍රිය විය යුතු ය. ගරු කළ හැකි කෙනෙක් විය යුතු ය. සම්භාවනාවට සුදුසු විය යුතු ය. අවවාද ගත හැකි අයෙක් විය යුතු ය. ප්‍රශ්න විමසූ විට ඉවසා පිළිතුරු ලබා දෙන අයෙක් විය යුතු ය. ගැඹුරු ධර්ම කියා දෙන අයෙක් විය යුතු ය. ඔහු ඇසුරු කරන අය නරක ස්ථානයන්හි නො යොදා සුදුසු යහපත් ස්ථානයන්ට ම පමණුවන අයෙක් විය යුතු ය. මෙවන් ලක්‍ෂණ ඇත්තා කල්‍යාණ මිත්‍රයෙකැයි විසුද්ධි මග්ගයේ පෙන්වා දී ඇත. සමාධිය වැඩීමට නම් කල්‍යාණ මිත්‍රයෙක් සොයා ගැනීම අත්‍යවශ්‍ය ම වූ කාරණයකි.

එවිට එම කල්‍යාණ මිත්‍ර කර්මස්ථාන දායකයන් වහන්සේ සුදුසු කර්මස්ථානයක් අපහට ලබා දෙති.

චරිත වර්ග හයකි. රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක වශයෙනි, සම සතළිස් කර්මස්ථානයන් සෑම අයෙක්ට ම නො සුදුසු ය. තමන්ට නො සුදුසු කර්ම ස්ථානයක් ගෙන සමාධිය උපදවා ගැනීමට යාමෙන් ඇතැම්විට මනස ද ව්‍යාකූල විය හැකි ය. මෙනිසා කල්‍යාණ මිත්‍රයකුගේ ඇසුර අත්‍යවශ්‍ය ම වේ.

මේ ආදි වශයෙන් සමාධිය යනු කුමක් ද? එහි ප්‍රභේද කවරේ ද? සමාධිය කෙලෙසෙන්නේ කෙසේ ද? සමාධිය වර්ධනය වන්නේ කෙසේ ද? වැඩිය යුත්තේ කෙසේ ද? දස පළිබෝධ කවරේ ද? කල්‍යාණ මිත්‍රයා යනු කවුරුන් ද? යන්න පෙන්වා දිය හැකි ය.

සමාධියට පත් ව චතුසච්චාවබෝධයට පත් වීමට අප සියලු දෙනා උත්සහවත් විය යුතු ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]