

ඇලීම් ගැටීම් දුරු කරන්නට යහපත් සිහිය
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි
සම්මා යනු යහපත් යන්නයි. සතිය යනු සිහිය යි. සතිය නොහොත් සිහිය මිච්ඡා සතිය හා
සම්මා සතිය යනුවෙන් දෙයාකාර වේ.
යුද සෙබලෙක්, දඩයක්කරුවෙක් වැනි අය මනා සිහියෙන් යුතු ව කටයුතු කරමින් ප්‍රාණඝාතාදි
අකුසල කර්ම සිදුකරයි. ඒ මිච්ඡා සතිය යි. සම්මා සතිය එයට ඉඳුරා ම වෙනස් වූවකි. සම්මා
සතිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ කළ දේශනා අපට බොහෝ තැන්වල හමුවේ. මග්ගවිභංග සුත්‍රයේ
දී සම්මා සතිය විස්තර කර ඇත්තේ මෙසේ ය.
“කතමා ච භික්ඛවෙ, සම්මා සති? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි
සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, වෙදනාසු වෙදනාසුපස්සී විහරති ආතාපි
සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපි
සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි
සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දෝමනස්සං, අයං වුච්චති භික්ඛවෙ! සම්මා සති.”
යනුවෙන් “මහණෙනි, සම්මා සතිය කවරේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කෙලෙස් තවන
වීර්‍යයෙන් යුක්ත වූයේ, කාය කොට්ඨාසයන් මනා කොට දක්නා නුවණින් යුක්ත වූයේ, කාය
කොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, දෙතිස් කොටසක් ඇති මේ කයෙහි කේශාදි කාය
කොට්ඨාසයන් නැවත නැවත සිතින් බලමින් කය කෙරෙහි ඇලීම් ගැටීම් දෙක දුරු කොට වාසය කෙරේ
ද, මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍යයෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන් මැනවින් දක්නා
නුවණින් යුක්ත වූයේ, වේදනාවන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ, ත්‍රිවිධ වේදනාවන්හි ඒ
ඒ වේදනාව නැවත නැවත සිතින් බලන්නේ, වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම්-ගැටීම් දෙක දුරු
කොට වෙසේ ද, මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍යයෙන් යුක්ත වූයේ, සරාගාදි චිත්තයන් මැනවින්
දක්නා නුවණින් යුක්ත වූයේ, චිත්ත කොට්ඨාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ,
චිත්තයන්හි ඒ ඒ චිත්තය නැවත නැවත සිතින් බලමින් චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි
ඇලීම්-ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍යයෙන් යුක්ත වූයේ,
නීවරණාදි ධර්ම මැනවින් දක්නා නුවණින් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි පිහිටි
සිහියෙන් යුක්ත වූයේ, නීවරණාදි ධර්මයන්හි ඒ ඒ ධර්මය නැවත නැවත සිතින් බලමින් ධර්ම
සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම් - ගැටීම් දෙක දුරු කොට වෙසේ ද, මහණෙනි, මෙය සම්මා සතිය ය යි
කියනු ලැබේ.” ය යනුයි.
සතිපට්ඨාන සූත්‍රය, සම්මා සති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය වැනි රාශියක ම සම්මා
සතිය පිළිබඳ විස්තර වේ. එහි දී ආනාපාන සතිය වඩන කෙනා ආරණ්‍යයකට හෝ, රුක් මුලකට හෝ,
හිස් ගෙයකට හෝ ගොස් පලක් බැඳ, කය ඍජු කොට, සිහිය උපදවා ගෙන හුස්ම ඉහළ පහළ දැමිය
යුතු ය. එසේ ඉහළ පහළ දමන හුස්ම දීර්ඝ ව ගන්නා බව, භ්‍රස්ව ගන්නා බව ආදි වශයෙන්
විවිධාකාරයෙන් හුස්ම ඉහළ පහළ දමන බව දනිමින් සිහියෙන් යුක්තව කළ යුතු බව පෙන්වා දී
තිබේ.
යම් කාර්යයක් කරනවිට දී මනා සිහි නුවණින් යුක්තව එය සිදු කළ යුතු ය. ගතෙ-යන විට,
ඨීතෙ-සිටින විට, නිසින්නෙ-හිඳීන විට, සුත්තෙ-අසන විට, ජාගරිතෙ-නිදාගන්නා විට,
සම්පජානකාරි හොති -සිහි නුවණින් යුතු ව කටයුතු කළ යුතු වේ.
සිතට පැමිණෙන සිතිවිලි පිළිබඳ ව ද සිහි නුවණින් යුක්ත ව කටයුතු කිරීමෙන් නරක
සිතිවිලි පාලනය කර ගත හැකි ය. සිත පිරිසුදු කර ගත හැකි ය. ඒ සඳහා සිහිය උපදවා ගැනීම
අනිවාර්ය වේ. අපගේ සිතෙහි නොයෙක් ආශා කරන සිතිවිලි නැතහොත් අරමුණු ඇතිවිය හැකි ය.
විශේෂයෙන් ම පඤ්චේන්ද්‍රියන් තුළට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස හා ඵොට්ඨබ්බ යන
ඒවා ය. මෙසේ ඇති වන අරමුණු යටපත් කර ගැනීම සඳහා පුද්ගලයා විසින් කළ යුත්තේ යෝනිසෝ
මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීම ය. එසේ කටයුතු සිදු කිරීම තුළින් එකී අරමුණුවල
ආදීනව දකින්න මහන්සි ගත යුතු ය. එහි ආදීනව වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්
දකිමින් ඒ ආශා කරන අරමුණු සිතින් අයින් කිරීම සඳහා මනා සිහිය උපදවා ගත යුතු ය.
එසේම තරහක්, ක්‍රෝධයක්, වෛරයක් වැනි අකුසල ධර්මයක් ඇතිවිය හැකි ය. එවිටත් යෝනිසෝ
මනසිකාරයෙන් යුක්තව සිත පිරිසුදු කර ගැනීම සඳහා සිහිය උපදවා ගත යුතු ය. සියලු
සත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කර ගැනීම තුළින් එකී තරහ සිතිවිලි නැති කර ගත
හැකි ය.
චිත්තානුපස්සනාව තුළින් සිතේ ස්වභාවය හඳුනාගත හැකි ය. පහළවන සිතිවිලි ස්වභාවය
මනාකොට දැන ගැනීමෙන් පසු “සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජානාති. වීතරාගං වා
චිත්ත වීතරාගං චිත්තාති පජානාති”යන ආකාරයට සිත රාගයෙන් යුක්ත වූ පසු ඒ බව දැන ගනී.
රාගයෙන් තොර වූ පසු ඒ බව ද දැන ගනී. උපදින උපදින චිත්ත ස්වභාවයන් නැති ව යන ආකාරය ද
මනා සිහිනුවණින් දකියි. එසේ දක්නා විට මෙලොව ඇති සියල්ල පිළිබඳ මනා වැටහීමක් ඇති කර
ගනී. එවිට ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව ද වැටහීමක් ලබා ගත හැකි ය.
සිහිනුවණින් කල්පනා කරමින් යහපත් සිතක් ඇති කර ගැනීම සඳහා ඉවහල් වන්නේ
ධම්මානුපස්සනාව යි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා
යන පංචනීවරණ,
රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ පඤ්ච උපාදානස්ඛන්ධ, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය,
මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම යන ආධ්‍යාත්මික හා බාහිර ආයතන,
සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සත්ත බොජ්ඣංග,
දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය යන මේ ධර්ම අතරින් කවර හෝ ධර්මයක්
පිළිබඳ ව සිහි කරමින් එහි සිත රඳවා තබා ගනිමින් බාහිර අරමුණුවලින් සිත ඉවත් කිරීම
සඳහා කටයුතු සිදු කළ යුතු ය.
“ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා” සත්වයන්ගේ පිරිසුදු බව පිණිස, දුක්
දොම්නස් දුරුවීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස, නිවන් සාක්ෂාත් කර
ගැනීම පිණිස ඒකායන මාර්ගයක් වේ එය සතර සතිපට්ඨානය බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා
කොට ඇත. අභිධර්මයේ දී දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ ‘සති’ නම් වූ චෛතසිකය කුසල
චෛතසිකයක් ලෙස දක්වා ඇත. මේ සියලු කරුණු පිළිබඳ සැලකීමේ දී සම්මා සතිය ප්‍රගුණ
කිරීම යනු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමක් වේ. |