[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා වායාම: කෙලෙස් සතුරන් මඟ හරින්නට සිත සිහිය පිහිටුවමු

 

 කෙලෙස් සතුරන් මඟ හරින්නට සිත සිහිය පිහිටුවමු

‘කතක් භික්ඛවේ සම්මා වායාමො’ ඉධ භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පදාය ඡන්දං ජනේති, වායමති, විරියං අරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නනං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනේති වායමති විරියං අරභති චිත්තං පග්ගණ්හාති පදහති.

අනුප්පන්නානං කුසලානං ධම්මමානං උප්පාදාය ඡන්දං ජනේති වායමත්, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධර්මානං ඨිතිය, අසම්මෝසාය භීවෝභාවාය වේපුල්ලාය, භාවනාය පරිපුරියා ඡන්දං ජනේති වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවේ සම්මා වායාමො” (මග්ගවිභංග සුත්ත)

“මහණෙනි, සම්මා වායාමය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි, මහණකම තම සිතෙහි නූපන්නා වූ ළාමක අකුසල ධර්මයන් මතු සිතෙහි ඇති නොවීම පිණිස කැමැත්තක් ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද, කායික මානසික වීර්ය කෙරේ ද, වීර්යයෙන් සිත ඔසවා තැබේ ද එයයි. උපන්නා වූ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස කැමැත්තක් ඇතිකර ගනී ද, උත්සාහ කෙරේ ද කායික මානසික වීර්යයන් යොදවා ද, සිත ඔසවා තබා ද එයයි.

නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීමට කැමැත්තක් ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද එයයි.

උපන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොනැසීම පිණිස, නැවත නැවත ඇතිවීම පිණිස, මහත්වනු පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණ වීම පිණිස, කැමැත්තක් ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද, කායික මානසික වීර්යයන් කෙරේ ද, වීර්යයෙන් සිත ඔසවා තබා ද මෙයම සම්මා වායාමය යි.

මාර්ගාංග නිවන් මගෙහි සම්මා වායාම යනුවෙන් ඉදිරිපත් වන්නේ සතර සම්මප්පධානි, විරිය ඉද්ධිපාදය, විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය සම්බොජ්ඣංගය නම් වූ නම්වලින් හැඳින්වෙන වීර්ය චෛතසිකය ම ය.

මේ උතුම් බුද්ධ ශාසනයෙහි නිවන නම් වූ සිත්හි පවත්නා වූ, අනුඝය නම් වූ සසරෙහි පටන් අවිච්ඡින්න ව ගමන් කරන්නා වූ කාමරාගාදී බලවත් වූ කෙලෙස් මුළුමනින් ම ප්‍රහානය කිරීමට ත්‍රිවිධ ශාසනය ම මනා සේ ප්‍රතිපදාවට එක්කර ගැනීම අවශ්‍යය.

එනම්, පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේධ ශාසනයයි. පර්යාප්ති ශාසනය නම් නිවන, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පළමු කොට කරුණූු වශයෙන් මනාකොට දැනුම්වත් වීමයි. එය විස්තර කෙරෙන්නේ “අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය ලෙසිනි. දැනගැනීම, මනාකොට හෙවත් පිරිසිඳ දැන ගැනීම වශයෙනි.

මීළඟට ප්‍රතිපත්ති ශාසනය ලෙස දැක්වූයේ මාර්ගයට බැස ගැනීමයි. එනම් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් (අස්සාද, ආදීනව සමුදය, නිරෝධය, නිරෝධ ගාමිණි මඟ) කායික, වාචසික සංවරයෙන් යුතු ව සීලයෙහි පිහිටා සෑම අරමුණක රාග, දෝස, මෝහ ආදී කෙලෙස් බැහැර කිරීමට ප්‍රධන් වීර්ය වැඩීමයි. එනම් සම්මා වායාමයෙන් යුතුවීමයි. මෙහිදී තදංග වශයෙන් හෝ කෙලෙස් යටපත් වන සිතෙහි කුසලාරම්මණයෙහි සිත, සිතුවිලි එකඟ කර ගැනීම නම් වූ සම්මා සමාධිය භාවිත බහුලීකත හෙවත් මනාකොට පුරුදු පුහුණු කිරීමයි.

යම් කෙනෙක් මල්, පහන්, පිදීමේ පටන් දාන, ශීල, භාවනා ලෙසින් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ ය යනුවෙන් සිතා සිටියත්, පැවසුණේ පරමාර්ථ ධර්මය ස්පර්ශ වන සීලයෙන් මූලික පසුබිම සකස් නොවීම නිසා සැබෑ ප්‍රතිපත්තියක් එහි නොමැත්තේ ය. ප්‍රතිපත්තියට දන් පූජා කළත්, ප්‍රතිපත්තියට සිල් රැක්කත් ප්‍රතිපත්තියට භාවනා කළත්, නිවන එක එල්ලේ ම අරමුණු වන ලෞකික ලෝකෝත්තර සම්මා සමාධිය පවතින්නේ දැයි සිහිය පිහිටුවා ගත යුත්තේ ය. දානාදී පින්කම් සිදුකරන යම් අයෙක් අස්මි මානයෙන් (මම වෙමි) යුතු ව තෘෂ්ණාවෙන් ඇලෙන සහ පනවාගත් අරමුණු තමා කැමැති පරිදි සිදු නොවන විට අමනාපයෙන්, ව්‍යාපාදයෙන් ගැටෙන ආකාරය ප්‍රකට ය. සණ්ඩුදබර, සිත් අමනාපවීම්, ඔවුනොවුන් පරදා යන්නට දරන උත්සාහය ආදී නිවන්මගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් බොහෝ ය. මේ නිසා ප්‍රතිපත්ති මගෙහි අනුගත සෑම අයෙක් ම ඒ ඒ අරමුණෙහි සම්මුතිය සහ පරමාර්ථය අවබෝධ කර ගනිමින් කෙලෙස් සන්සිදුවීමට අනුක්‍රමයෙන් වීර්ය කළ යුතු වන්නේ ය. (අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරිය. අනුපුබ්බ පටිපදා) අරමුණූ ලෙස දැක්වූයේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආඝ්‍රාණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි ආදී වශයෙනි.

ප්‍රඥප්තිය හෙවත් ලෞකික පැවැත්ම පිණිස පනවා ගැනීමේ දී අරමුණු පරිහරණය කළ යුතු වන්නේ උස් අස්සාද, ආදීනව, නිස්සරණයට යටත් ව ය. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතු ව සීලය හෙවත් විනයෙන්, තමන් හැදුණු බවින් යුතු ව සොම්නසින් රූපාදී අරමුණු පරිහරණය කරන්න. එනමුත් පරමාර්ථ ධර්මයට අනුව ඇති කර ගත් භාවිත බවින් යුතු ව, අරමුණුවල ඇති අනිච්ච, දුක්ඛ, අනන්ත ලක්ෂණය වැටහීම ඇතිවිය යුත්තේ ය. සතිපට්ඨානයේ දී පෙන්නුම් කළේ

' අනිස්සිතෝච විහරති නඛ කිඤ්චිලෝකේ උපාදියති ', යනුවෙනි. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ කිසිවෙක් හෝ කිසිවක් මම ය, මගේ ය, නම් වූ දෘෂ්ටියෙන් සිතින් දැඩි ව නොගත යුතු බව ය. එනම් උපාදානය නොකරගත යුතු බව ය. හේතුව නම් ස්කන්ධ පඤ්චකය මුල්කොට ගත් සහ එය ඇසුරු කර ගනු ලබන බාහිර සියල්ල ම හඳුන්වන්නේ සංඛත ලෙසිනි. එනම් හේතූන් ප්‍රත්‍ය කර ගෙන සකස් වන සවිඤ්ඤාණක අවිඤ්ඤාණ සියල්ල ම එම හේතුන්ගේ ම විසිරීයාමෙන් නැති ව යන්නේ ය. එනම් භංගයට පත්වන්නේ ය. එබැවින් සම්මුති පැවතීම පිණිස “මම ය, මගේ ය” යනුවෙන් සිතා පවසා ක්‍රියා කළත් පරමාර්ථ ධර්ම වශයෙන්. මගේ නොවේ, මම නොවෙමි. මගේ ආත්මය (කැමැති පරිදි පවත්වාගත හැකි) නොවේ යැයි සිත අවබෝධයට පත්වීමයි.

මෙම ආදීනව නම් වූ අවබෝධය, නිස්සරණය නම් වූ රාගාදී කෙලෙස් නොඋපදින ආකාරයට සිත සිහිය, සති සම්පජඤ්ඤය පිහිටුවා ගත යුත්තේ ය.

පටිසන්ධි විඤ්ඤාණය සමඟින් පැමිණ සිතෙහි බවාංගය ද ඇසුරු කරමින් පවත්වන කාමරාගාදී අනුසය ධර්මයෝ ද සංසිඳිී යාමට මේ හේතුවන්නේ ය. මෙය ප්‍රහාණය වන අතර මුළුමනින් ම කාමරාගානුසය පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය නම් සත් අනුසය ධර්ම ප්‍රහාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය නම් වූ “නිබ්බාණ” පිණිස හේතුª වන්නේ ය. තවත් ආකාරයකින් පවසන්නේ නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රතිවේදයෙන් සම්පූර්ණ වන්නේ ය. මෙය සච්ඡිකාතබ්බ සහ භවේතබ්බ නම් වෙයි. ප්‍රතිවේධ ශාසනය සම්පූර්ණ කළේ වෙයි. ඤාණ පරිඤ්ඤ, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා සම්පූර්ණ වෙයි. ස්කන්ධ පඤ්චකය මුල්කොට අරමුණුවල නිමිති නොගැනීමෙන් (කෙලෙස් සකස්වන ආකාරයෙන්) අනිමිත්ත නම් වෙයි. රාගාදි කෙලෙස් නොබැඳීමෙන් “අප්පණිහිත” නම් වෙයි.

මේ නිසා ම කෙලෙස් නොඉපදීම නම් වූ ආශ්‍රව, කර්ම ක්ෂයවීම සුඤ්ඤා නම් වෙයි. ඒ සිත කෙලෙස්වලින් මුළුමනින් ම මිදුණේ වෙයි.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]