[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා ආජීව: මිච්ඡා ආජීවයෙන් දුරුවන ත්‍රිවිධ විරති

මිච්ඡා ආජීවයෙන් දුරුවන ත්‍රිවිධ විරති

තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි. එහි දැක්වෙන ආකාරයට උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ කාමසුඛල්ලිඛානුයෝගය සහ අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකට නො වැටී මධ්‍යම ප්‍රතිපදාව වැඩීමෙනි.

මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. චතුරාර්ය සත්‍යයේ අවසාන අංගය වන දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදාව යනු ද එය ම ය. දුක නැති කිරීමට, ජරාමරණ නැති කිරීමට, සංස්කාර නැති කිරීමට මෙන් ම නිවන ලැබීමට උපකාරී වන්නේ මෙම අරිඅටඟි මග යි.

මෙම අංග අට දම්වැලක පුරුක් සේ එකිනෙකට බැඳී පවතී. එම අංග අටෙහි පස්වැනි අංගය වන සම්මා ආජීවය ද එසේ ම යි. “සම්මා කම්මන්තය ඇති තැනැත්තාට සම්මා ආජීවය වෙයි. සම්මා ආජීවය ඇත්තාට සම්මා වායාමය වෙයි” යනුවෙන් සංයුත්ත නිකායේ අවිජ්ජා සූත්‍රයෙහි දැක්වෙන්නේ එහෙයිනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල-සමාධි-පඤ්ඤා යන කොටස් තුනට බෙදා දැක්වීමේ දී සම්මා ආජීවය සීල යන කොටසට අයත් බව දැක්වේ.

දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සම්මා ආජීවය යනු කුමක් දැයි පැහැදිලි කොට තිබේ. එනම්, “මහණෙනි, සම්මාආජීව යනු කුමක් ද? මහණෙනි, මෙහි ආර්ය ශ්‍රාවකයා මිච්ඡාආජීවය හැරදමා සම්මා ආජීවයෙන් ජීවත් වෙයි. මහණෙනි, මෙය සම්මා ආජීවය යැයි කියනු ලැබේ.” යනුවෙනි. මේ අනුව සම්මා ආජීවයට විරුද්ධ වූ මිච්ඡා ආජීවයක් ද තිබෙන බව හඳුනාගත හැකි ය.

මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රයේ මිච්ඡා ආජීවය යනු කුමක් දැයි පැහැදිලි කොට තිබේ. එනම්, “මහණෙනි, මිථ්‍යා ආජීවය කුමක් ද: ත්‍රිවිධ කුහනවස්තුවෙන් නැති ගුණ පෙන්වීම, ලාභ සත්කාර ආශාවෙන් කථා කිරීම, නිමිති දැක්වීම, ගුණමකුබව, ලාභයෙන් ලාභ සොයන බව යන මේවා මිථ්‍යා ආජීවය නම් වේ.” මෙම කරුණු භික්‍ෂූන් වහන්සේගේ මිච්ඡා ආජීවය සම්බන්ධයෙනි.

ජීවිකාව පැවැත්වීම සඳහා කාය-වාග් දුශ්චරිතවලින් යුක්තවීම සහ නො කළයුතු වෙළඳාම්වල නියුතු වීම ගිහියන්ගේ මිච්ඡාආජීවය යි.

නැති ගුණ පෙන්වීම (කුහනා)

ත්‍රිවිධ කුහන වස්තුව යනු යම්කිසි භික්‍ෂුවකට දායකයන් විසින් සිව්පසය දීමට උත්සාහ දැරීමේ දි ඒවා බොරුවට ප්‍රතික්‍ෂේප කොට තමන් ලෝභයෙන් තොර බව හැඟෙන පරිද්දෙන් කටයුතු කොට වැඩි වැඩියෙන් සිව්පසය ලැබීමට උත්සාහ දැරීම,

යම්කිසි භික්‍ෂුවක් දායකයන්ට අන්‍ය භික්‍ෂූන්ගේ ගුණයන් මහත් කොට දක්වා තමන් ද එබඳු තැනැත්තෙකැයි හැඟෙන පරිදි කටයුතු කොට සිව්පසය ලැබීමට උත්සාහ දැරීම,

යම්කිසි භික්‍ෂුවක් ගමන් කිරීම්, බැලීම් ආදි ඉරියව් වංචනික ව සංවර කොට පැවැත්වීම මගින් තමන් තුළ විශේෂිත වූ ගුණයක් ඇතැයි දායකයන්ට හැඟෙන පරිදි කටයුතු කොට සිව්පසය ලැබීමට උත්සාහ දැරීම යි.

ලාභසත්කාර ආශාවෙන් කථා කිරීම (ලපනා)

යම් භික්‍ෂුවක් දායකයන්ට යමක් දෙන්නට සිතෙන ආකාරයෙන් සහ නො දී සිටිය නො හැකි ආකාරයෙන් කථා කිරීම මඟින් සිව්පසය ලැබීම මෙයින් අදහස් කෙරේ.

නිමිති දැක්වීම (නෙමිත්තිකතා)

යම් භික්‍ෂුවක් කථාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ දායකයන් කෙරෙහි සිව්පසය දීමේ අදහස ඇති කරවා ප්‍රත්‍ය ලබා ගැනීම මෙයින් අදහස් කෙරේ. මේ සම්බන්ධයෙන් කථාපුවතක් සම්මෝහවිනෝදනී අටුවාවෙහි දැක්වේ. ඒ අනුව නිමිති දැක්වීම යනු කෙබඳු දැයි හඳුනාගත හැකි ය.

එක්තරා ජාතකභාණක භික්‍ෂුවක් වළඳනු කැමැත්තේ උපස්ථායක ගෙයකට පිවිස හුන්නේ ය. එහි සිටි කාන්තාව කිසිවක් නො දෙනු කැමැත්තේ ‘සහල් නැත’ කියා සහල් ගෙන එන්නට යන සේ අසල ගෙදරකට ගියා ය. භික්‍ෂුව එවේලෙහි එම ගෙහි ඇතුළට ගොස් බැලී ය. එහි එක් තැනක උක්දණ්ඩක් ද, එක් බඳුනක සකුරු ද, කූඩයක ලුණුමාලු ද, සැළියක සහල් ද, කළයක ගිතෙල් ද තිබෙනු දැක එළියට පැමිණ කිසිත් නො දන්නා සේ වාඩි වී හුන්නේ ය. ටික වේලාවකට පසු සහල් සොයාගෙන ගිය කාන්තාව නිවසට පැමිණ සහල් සොයා ගැනීමට නො හැකි වූ බව භික්‍ෂුවට කීවා ය. එහි දී භික්‍ෂුව පැවසූයේ ‘උපාසිකාවනි, අද දානය නො ලැබෙන බවට නිමිත්තක් මග දී දුටුවෙමි’ යනුවෙනි. එවිට උපාසිකාව ඒ කුමක් දැයි විමසුවා ය. එහි දී භික්‍ෂුව පැවසුවේ ‘මම මග දී අර කවුළුවෙහි තිබෙන උක්දඬුව වැනි නපුරු සර්පයකු දුටුවෙමි. ඌට ගැසීමට යමක් සෙවීමේ දී සැළියේ තිබෙන සකුරු කැට වැනි ගල් කැට ටිකක් දුටිමි. ඒවායින් ගැසූ පසු කූඩයෙහි තිබෙන ලුණුමාලු පෙති සේ සර්පයා පෙණය කළේ ය. උගේ දත් අර සැළියේ ඇති සහල් වැනි ය. නයා කිපුණු පසු අර කළයේ තිබෙන ගිතෙල් වැනි පෙණ වැගුරුණේ ය’ යනුවෙනි. එහි දී උපාසිකාව ‘මේ මහණ රැවටිය නො හැකි ය’ යනුවෙන් සිතා උක්දඬු කලින් ම දී, බත් පිස ගිතෙල් ලුණුමාලු සකුරු සමග භික්‍ෂුවට දුන්නා ය.

ගුණමකු බව (නිප්පෙසිකතා)

යම්කිසි භික්‍ෂුවක් ප්‍රත්‍ය ලබා ගැනීමේ කැමැත්තෙන් මිනිසුන්ට ගර්හා කිරීම් ආදිය කොට පෙළයි. දන් දීමට අකැමැති පුද්ගලයා පවා එවිට ගර්හාදියට බියෙන් අකැමැත්තෙන් ම දන් දෙයි. එලෙස ජීවිකාව පැවැත්වීම ද මිච්ඡා ආජීවයකි.

ලාභයෙන් ලාභය සොයන බව (ලාභෙන ලාභං නිජිගිංසනතා)

යම්කිසි භික්‍ෂුවකට යම් පුද්ගලයකුගෙන් ලැබුණු දෙයක් වෙනත් කෙනකුට දීමෙන් ද, එය ලබාගත් තැනැත්තා විසින් දෙන ලද දෙය තවත් කෙනකුට දීමෙන් ද වඩා හොඳ දේ ලැබීමට කටයුතු කිරීම මෙයින් අදහස් වේ.

ඉහතින් දක්වන ලද්දේ භික්‍ෂූන්ගේ මිච්ඡා ආජීවය සම්බන්ධයෙනි. ගිහියන්ගේ මිච්ඡා ආජීවය ලෙසින් සැලකෙන්නේ කාය-වාග් දුශ්චරිතවලින් යුක්තවීම සහ අධාර්මික වෙළෙඳාම්වල නියුතු වීම මඟින් ජීවිකාව පවත්වා ගැනීම යි.

කාය-වාග් දුශ්චරිත

කයින් සිදුවන වැරැදි සහ වචනයෙන් සිදුවන වැරැදි මෙයින් අදහස් කෙරේ. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ගිහියනට මිච්ඡා ආජීව වේ. තව ද බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාචසික වැරැදි ද මීට අයත් ය.

නො කළ යුතු වෙළෙඳාම්

උපාසකයකු විසින් නො කළ යුතු වෙළඳාම් පහකි. එනම්, සත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, මස් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, වස-විෂ වෙළෙඳාම යනුවෙනි. මෙම වෙළෙඳාම් මඟින් ජීවිකාව පවත්වා ගැනීමට කටයුතු කරයි නම් ඔහු මිච්ඡා ආජීවයෙන් යුක්ත වූවෙකි.

ඉහත සඳහන් කළ ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අයත් මිච්ඡා ආජීවයෙන් වැළකී සිටීම සම්මා ආජීවය නම් වේ. බුදුදහමේ ඉගැන්වෙන සම්පත්ත විරති (තමන්ගේ කුලය, වයස, දැනුමැතිකම සලකා මිච්ඡා ආජීවයෙන් වෙන් වීම), සමාදාන විරති (ශික්‍ෂාපද සමාදන් වීමෙන් මිච්ඡා ආජීවයෙන් වෙන් වීම), සමුච්ඡේද විරති (ආර්ය මාර්ගවලට පැමිණීමෙන් මිච්ඡා ආජීවයෙන් ස්ථිරව ම වෙන්වීම) යන විරති තුන මඟින් මිච්ඡා ආජීවයෙන් දුරු විය හැකි ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]