[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා කම්මන්ත: මිනිසියාවෙන් පිරුණු දිවියක ගුණ සුවඳ

මිනිසියාවෙන් පිරුණු දිවියක ගුණ සුවඳ

බෞද්ධ ඉගැන්වීම් අතර දක්නට ලැබෙන චතුරාර්ය සත්‍ය විවරණය ධම්ම, විනය වශයෙන් දෙකොටසකට බෙදා දැක්විය හැකි ය. අවබෝධය මුල් කර ගත් ‘ධර්මය’ ඉන් පළමුවැන්න යි. එකී අවබෝධය සඳහා වූ ප්‍රතිපදාව ‘විනය’ දෙවැන්න යි.

මම ප්‍රතිපදාවේ සුවිශේෂත්වය නම් එක් එක් අංගයක් ඉදිරියෙන් ඇති අනෙක් අංගයට රුකුල් සැපයීම යි. එය ධර්මතාවකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදාර ඵලය, මාර්ගය විසින් මෙහෙයැවෙන අවසන් අරමුණ වන්නේ දුකින් මිදී විමුක්තිය සලසා ගැනීම යි.

ඒ අනුව නිවැරැදි දැක්මක් ඇති ව ආරම්භ වන මෙම පිළිවෙතෙහි සිවුවැන්න නම් සම්මා කම්මන්ත හෙවත් නිවැරැදි කායික හැසිරීම යි. කයින් සිදුවන වැරැදි ක්‍රියාවලින් වැළකීමයි. මෙම මාර්ගාංගයෙහි ප්‍රධාන සාධකය වනුයේ චෛතසික අංගයක් වන වැළකීම වුව ද, එම වැළකීම කයින් සිදු කරන නිසා එයට නිවැරැදි ක්‍රියාව යැයි කියනු ලැබේ. මෙම හැසිරීම් දුසිරිත වළකා සුසිරිතට පෙළඹවීමක් ලෙස දැකිය හැකි වුව ද, ඒවායේ අවසාන අරමුණ ආචාරශීලී භාවයට වඩා ඉහත කී ආධ්‍යාත්මික නිෂ්ටාව යි. මෙහිදී කායික ක්‍රියාවන් තුනක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

කතමෝචාවුසෝ සම්මාකම්මන්තෝ පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසුමිච්ඡාචාරා වේරමණී. අයං වුච්චතාවුසෝ සම්මා කම්මන්තෝ. (ම. නි - උපරි පණ්ණාසකය - සච්චවිභංග සූත්‍රය)

කය මුල් කරගෙන තුන් ආකාරයකින් ධර්මයේ හැසිරීමෙහි පළමු වැන්නෙහි, අනෙක් මිනිසුන් මැරීමෙන් වැළකීම යන සරල අදහසට වඩා පුළුල් අරුතක් ඇත. සියලු සතුන් තුළ පවත්නා පණට ඇති ආදරයත්, මරණයට ඇති බයත්, සතුටු වීමට ඇති කැමැත්තත්, වේදනාවට ඇති අකැමැත්තත් සලකා බැලීමේ පිළිවෙත මත මෙම සිකපදය තුළින් සවිඤ්ඤාණක ඕනෑම සත්ත්වයකු ගේ ප්‍රාණය සිතාමතා අභිප්‍රායානුකූල ව නිරුද්ධ කිරීමෙන් වැළකීම අවධාරණය කරයි.

සතකුට වඩා මිනිසකු තුළ ඇති ගුණගරුක බවත්, ආධ්‍යාත්මික වර්ධනය සඳහා ඇති ප්‍රවණතාවත් නිසා සතකු මැරීමට වඩා, මිනී මැරීම බරපතළ අකුසලයක් වේ. මිනිසකු මැරීමේ දී, ඒ මිනිසාගේ ගුණයහපත්කම සහ මිනීමරුවා හට ඔහු සමග ඇති සම්බන්ධකම මත අකුසල විපාකයේ බරපතළකම රඳා පවතී. එනම්, තමාට වඩා ගුණ ධර්මවලින් උසස් කෙනෙකු හෝ දෙමාපියන් ගුරුවරුන් වැනි තමාගේ පෞද්ගලික උපකාරකයකු හෝ මරණයට පත් කිරීම අතිශයින් ම බරපතළ අකුසලයකි. සියදිවි හානිකර ගැනීමේ දී ද මරණ චේතනාවෙන් යුක්තව මැරීම ක්‍රියාවට නංවා සත්ත්වයකු ඝාතනය කිරීම සිදුවන බැවින් ප්‍රාණඝාත අකුසලය සිදු වන බව පෙන්වා දිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති ආකාරයට මේ ක්‍රියාව සම්බන්ධ ප්‍රතිෂේධ කර්මය නම්, ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම හා හද පිරි කරුණා මෛත්‍රී ගුණ ඇති ව අනුකම්පාවෙන් සියලු සතුන් හට යහපත පැතීමයි.

නුදුන් දේ ගැනීම යනුවෙන් අදහස් කරනුයේ අනුනට අයත් දේ සොරා ගැනීමේ චේතනාවෙන් යුක්තව තමා සතු කර ගැනීමයි. එමෙන් ම අනුනට සාධාරණ ව අයත් විය යුතු දේ ඔවුනට ලබා නොදීම ද, මෙම සිකපදය බිඳීමක් සේ සැලැකේ. මෙම අකුසලය සොරාගැනීම, කොල්ලකෑම, උදුරා ගැනීම, වංචාව, රැවටීම යන පස් ආකාරයෙන් ම සිදුවිය හැකි බව බෞද්ධ ග්‍රන්ථවල පෙන්වා දෙයි.

සොරකමින් වැළකීමේ ධනාත්මක ප්‍රතිකර්මය නම් අවංක බවයි. එනම් අන්සතු දේවලට සහ ඒවා සිතැඟි පරිදි පරිහරණය කිරීම සඳහා ඔවුනට ඇති අයිතියට ගරු කිරීමයි. ලද පමණින් සෑහීමට පත්වී අනුන්ගේ යහපත උදෙසා තමා සතු දේ සහ වස්තුව දන්දීම ද මේ අකුසලයෙන් මිදීම සම්බන්ධ වඩා ප්‍රායෝගික එළැඹුම් වේ.

කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීමෙන්, විවාහ ජීවිතයට ආරක්ෂාවත්, යුග දිවියේ අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීමත්, පතිව්‍රතාව රැකීමට අනුබල දීමත් යන සදාචාරාත්මක පදනම් ශක්තිමත් කරයි.

කාමුක ආශාව පැතිරයාමේ ප්‍රවණතාව මැඩ පැවැත්වීම මෙහි ආධ්‍යාත්මික පදනම වේ. පැවිදි පිරිස වෙතින් පූර්ණ බඹසර රැකීමක් මෙම සිකපදයෙන් අදහස් වුව ද ගිහියනට නුසුදුසු සහකරුවන් සමඟ කාම සේවනයෙහි නොයෙදීමට මේ තුළින් මඟ පෙන්වා දෙයි.

තවත් කෙනකු සමඟ නීත්‍යනුකූල ව විවාහ වී සිටින කාන්තාව, තවමත් කවරකු ගේ හෝ ආරක්ෂාව යටතේ සිටින කාන්තාව, සමාජ සම්මතයට අනුව තහංචි පැනවූ කාන්තාව හා පුරුෂයකු කාමයෙහි හැසිරීම වරදවා හැසිරීමකි. විවාහක කාන්තාවකට ස්වකීය ස්වාමිපුරුෂයා හැර වෙනත් ඕනෑම පුරුෂයන් අකැප ය. එමෙන් ම ඕනෑම කාන්තාවකට, චාරිත්‍රානුකූල ව අසම්මත සමීප ඥාතීන් හෝ බඹසර විසීමට ගිවිසගත් අය හෝ අකැප වේ.

තවද ලෝභ, ද්වේෂ, මෝහ අකුසල චේතනාවන්ගේ මෙහෙයැවීමෙන් සිදු කැරෙන සමාජ සම්මතයන්ගෙන් තොර මිථ්‍යා ධර්ම තුළින් ද වෙන් වී පාරිශුද්ධ ජීවිතයේ අති උත්කෘෂ්ට අභිප්‍රාය වන සිත කය වචනයෙහි පූර්ණ පවිත්‍රත්වය උදෙසා ලිංගික ආශා ප්‍රවාහයට පිටුපා අලාමක ව කටයුතු කළ යුතු ය.

මේ අනුව බුදුදහමෙහි පෙන්වා දෙන ශීලයෙහි එක් කොටසක් මේ අංගයෙන් විස්තර කැරෙන බව පැහැදිලි වේ. සාමාන්‍යයෙන් බැලූ විට විරතිය පමණක් මෙහි දැකගත හැකි වුව ද වැරැදි දෙයින් වැළකී සිටීමට වඩා වැඩි යමක් මෙහි ඇත. ‘සියලු අකුසල්වලින් වැළකීමත්, කුසල් වැඩීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ ඉගැන්වීමයි’ (ධම්මපදය - බුද්ධ වග්ගය) යන ගාථාවෙන් ද ඒ බව තවදුරටත් තහවුරු වේ.

එබැවින් බුදුමඟ යන්නෝ නිවැරැදි දැක්මක පිහිටා පළමු ව තම දිවියට අර්ථයක් ද, සුපිළිපන් බවක් ද, නිවැරැදි වූ තෘප්තියක් ද සපයා ගනිමින් ස්වකීය සන්තානය සුවපත් කැර ගැනීම වටී. දෙවනුව ඒ තුළින් ලද අවකාශයත්, අවබෝධයත් ආධාර කොට අනුන් ගේ ජීවිතවලට ද සතුට, රැකවරණය සලසා දීම සඳහා තමාව මෙහෙයවා ගැනීමත් ඉතා වටී.

මිනිසියාවෙන් පිරුණු මිනිස් දිවියක ගුණ සුවඳීන් මේ මිනිස් ලොව වඩාත් ප්‍රසන්න තැනක් බවට පත්කොට, ප්‍රඥා අවබෝධය සඳහා මේ පුණ්‍යවන්ත කාලය තුළ සියල්ලෝ ම උත්සාහවත් වෙත්වා !

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]