
 දෙවියන්ගේත් ප්‍රසාදය ලැබෙන සුභාෂිතය
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි එන ශීල කොටසට ගැනෙන සමමා වාචා කියන මෙම මාර්ගාංගය
ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසයි සම්මා වාචා කියා කියන්නේ. සරලව ගත හොත් සුභාෂිත වදන්
වැලයි.
බුදුරජාණන් වහන්සේගේ වදන්වැල කොපමණ ප්‍රියජනක වූවා ද යන්න ප්‍රකට වන එක් අවස්ථාවක්
තමා නාලාගිරි ඇතා සොළොස් කළයක් රා බී වෙරිමතින් බුදුරජණන් වහන්සේ ඉදිරියට කෝපාවිෂ්ට
පැමිණියේ වී නමුත් උන්වහන්සේගේ මුවින් පිට වූ මෘදු මොළොක් ප්‍රිය වදනින් සංසුන් වී
බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ආකාරය පෙන්වන අවස්ථාව. උන්වහන්සේ මේ
රුදුරු ඇත් රජු අමතා මෙසේ ප්‍රකාශ කරනවා, ඇත් රජුනි, කෝපයට පත්වන්න එපා, බුද්ධනාග
නම් වූ මා කෙරෙහි කෝප ගන්න එපා. එය දුක පිණිස හේතු වෙනවා ම යි. එවැනි අයෙකුට
කවරදාකවත් නම් සුගතියක් වන්නේ නැහැ. එය මෙලොවත් එහෙම තමා. පරලොවත් එහෙම තමා.
මේ සුභාෂිත වචනයේ ශක්තිය නිසා ම ඇත් රජු දමනය වී බුදුරජාණන් වහන්සේගේ දෙපාමත වැටී
නැමද සිටියා. මෙය සැබැවින් ම හුදු වදන්පෙළක් වූයේ ම නැහැ. බුදුරජාණන් වහන්සේ සුදුසු
වේලාවෙයි ඒ වචන ප්‍රකාශ කළේ. ඒ වදන්හි මෙත් කරුණා මුසුවෙලයි තිබුණේ. අරුත් බරව යි
තිබුණේ.
සම්මා වාචා යන්න විස්තර වෙන දේශනාවේ සඳහන් වන්නේ බොරු කීමෙන්, කේලාම් කීමෙන්,
සැඩපරුෂ වචන කීමෙන් හා හිස් වචන කීමෙන් වැළකීම සම්මා වාචා වන බව යි. භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ හැමවිට ම මුවින් පිට කළේ අර්ථවත්, බොරු නැති, තවත් දෙපිරිසක් හෝ
බොහෝ දෙනක් හෝ අමනාපයට, අසන්තෝෂයට, මුළාවට, පත් නොවන අර්ථවත් වූ ම දෙයක් තමා. ඒ
නිසා ම බුදුරජාණන් වහන්සේ සුභාෂිත වචනයෙන් ම යුක්ත වුණා. මේ නිසා ම උන්වහන්සේගේ
කථාවට හැම දෙනාගේ ම දෙසවන් යොමු වුණා. හැම දෙනාට ම ප්‍රයෝජනවත්. බුදුරජාණන් වහන්සේ
මටම යි මේ දේශනා කරන්නේ කියා කොපමණ පිරිසක් අමතා යමක් ප්‍රකාශ කළත් තමන් අරමුණු කර
කරන දෙසුමක් ලෙස ජනතාවට වැටහුණා.
බුදුසව්වන් පමණක් නොව වෙනත් ආගම් මත විශ්වාස කරන අය පවා බුදුරජාණන් වහන්සේ යමක්
ප්‍රකාශ කරන විට මහත් නිහැඬියාවකින් ඒ දෙසට දෙසවන් යොමු කර බොහෝ සාරවත් අදහස් උකහා
ගැනීමට පෙළඹුණා. නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්ම ශක්තියෙන් නැඟි එන කටහඬ
අතිශය සුමිහිරි වුණා. ඒ වදන් තුළ තිබුණේ ගැඹුරක් වගේ ම මහාකාරුණික බවක්. බුදුරජාණන්
වහන්සේ බුදුබව ලබද්දි අවබෝධ කළේ අතිශය ගැඹුරු වූ දහමක්. එය අවබෝධ කිරිම ලේසි පහසු
නැහැ. ශාන්තයි, ප්‍රණීතයි, උන්වහන්සේ සැම තත්පරයක් ම ජනතාව වෙනුවෙන් වෙන් කර
පන්සාළිස් වසරක් අව්වැසි නොබලා, දුර බැහැර නොසිතා දුප්පත් පොහොසත් භේදයක් හෝ
වර්ගවාදී, ජාතිවාදි බවක් නොසිතා, කුලමලභේද තඹදොයිතුවකට මායිම් නොකර ඒ ගැඹුරු දහම
අවබෝධ කර, මේ සසර කතරින් එතෙර වීමට සමත් පින් ඇති පුහුදුන් මිනිස් වර්ගයා සොයා පා
ගමනින් වැඩම කර මුලත්, මැදත්, අගත් යහපත් වූ ම නිසරු එකම අර්ථයක් හෝ නැති
ප්‍රයොජනවත් දහමක් ම ප්‍රකාශ කළා.
විවිධ බ්‍රාහ්මණ ඉගැන්වීම් ඔස්සේ විශාල ශ්‍රාවක පිරිස් පිරිවරා ගෙන සිටි නොයෙක්
බ්‍රාහ්මණ පණ්ඩිතයෝ, ගෘහපති පණ්ඩිතයෝ ආදි හැම අයෙක් ම ඒ දහම අසා සිට අවසානයේ
" භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළේ අපූරු ගැඹුරු දහමක්. ඒ වුණත් එම දහම
අවධානයෙන් අසා සිටි මම යටිකුරු වූ භාජනයක් උඩුකුරු කොට තැබුවා සේ, වැසී ගිය
නිධානයක් මතු කර ගත්තා සේ, මං මුළා වූවකුට පාර තොට පැහැදිලි ව කියා පාන්නා සේ, ඇස්
ඇති උදවිය රූප දකිත්වා'යි කියා අන්ධකාර වූ තැනෙක තෙල් පිරූ විලක්කුවක් දල්වා
ආලෝකවත් කරන්නාක් මෙන් ඔබ වහන්සේ නොයෙක් ආකාරයෙන් උපමා, උදාහරණ ගෙනහැර පාමින් දෙසූ
දහම නිසා ම මම බුදුන්, දහම් හා සඟුන් සරණ යන්නෙමි. භවත් ගෞතමයන් වහන්ස, මම අද පටන්
දිවිහිමි කොට තෙරුවන් සරණ ගිය උපාසක බවට පත්වෙමි’යි උදන් ඇනූ අවස්ථා එමට යි.
මෙසේ උන්වහන්සේ සුභාෂිතයෙහි පිහිටා හැමවිට ම භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන
සිව්වනක් පිරිසම එම සම්මා වාචාවෙහි නිරත කිරීමට අවවාද අනුශාසනා කළා. උන්වහන්සේ
යහපත් වූ වචනයෙහි ලක්ෂණ මොනවා දැයි පෙන්වා දිමට ද ඉක්මන් වුණා. යහපත් වචනයක් (සම්මා
වාචා) නම් එය සුදුසු අවස්ථාවෙහි ප්‍රකාශ කිරීම පළමුවැන්නයි. දෙවනුව එම වචනය
සත්‍යයක් ම විය යුතු වෙනවා. එය මෘදු මොළොක් සුමට ගතියෙන් යුක්ත වීම තෙවැනි කරුණයි.
ඒ වගේම අරුත්බර වචනයක් විය යුතු වෙනවා. කෙනෙක් මුළාවට පත් කරන වැරැදි මඟට යොමු කරන
ව්‍යාජ වචනයක් විය නො හැකි ය. එමෙන්ම ඒ වචනයෙහි මෛත්‍රි සහගත වූ අරුත් ගැබ් වී
තිබිය යුතු වෙනවා. ඒ වගේම යම් එවැනි කරුණා දයා මෙත් සිතින් මෙහෙයවා බැහැරට නිකුත්
වූ වචනයක් විම පස්වැන්නයි. මෘදු මොළොක් වචනයක් වුව ද ප්‍රකාශ කළ යුත්තේ සුදුසු
කාලයෙහි, සුදුසු අවස්ථාව නිවැරැදි ව තේරුම් ගෙන විය යුතු යි.
මේ විස්තරයට අනුව මෙලොවටත් පරලොවටත් ප්‍රයෝජනවත් වන හිස් බවෙන් තොර වචනය ධර්මාන්විත
වූවක් ම විය යුතු වෙනවා. මේ තත්වය වචනයෙහි ආර්ය ගුණය යි.
ආර්ය මාර්ගය අරමුණු කර ගෙන පිළිවෙත් පුරණ සැබෑ බොදුනුවා මෙම ආර්ය අෂ්ඨාංගික
මාර්ගයෙහි ඒ ඒ අංග මනා සිහියෙන් යුතු ව ජිවිතයට ප්‍රායෝගික ව ගලපා ගැනීම යි මෙහි දී
අදහස් වන්නේ. ඒ අනුව බැලුවහම සම්මා වාචා යන්න සැබෑ බෞද්ධයාගේ ජිවන ගමන්මගේ
සාරධර්මයක් ලෙස ප්‍රායෝගික ව පවත්වා ගැනීම මෙහි දී අදහස් වෙනවා. ඊට අවශ්‍යය ආදර්ශය
බුදුරජාණන් වහන්සේ අපට ලබා දී තිබෙනවා.
සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන පුහුදුන් පුද්ගලයා සමාජයේ ක්‍රියා කරන විට මේ
ආකාරයෙන් තමා කථා කරන වචනය තුළින් සමාජයට හිතකර, විශ්වාසවන්ත අයකු බවට පත් විමට නම්
ඔහු විසින් මුවින් නිකුත් කරනු ලබන වචනයේ මේ කියන සම්මා වාචා ගුණය ශක්තිමත් කර
ගැනීම වැදගත් වෙනවා. එවිට ඔහු තෙපළන්නේ යමක් ද එය සුදුසු අවස්ථාවටයි ප්‍රකාශ
කරන්නේ. එහි ගැබ්වන අර්ථය සත්‍යයක් ම විය යුතු වෙනවා. මෘදු මොළොක් වදන්වැලක් වීම
තුළ ඔහු වඩාත් සමාජයේ ප්‍රසාදයට පත්වෙනවා. අරුත් බර ඒ වචනය නිසා එය අසා සිටින
ශ්‍රාවකයා කිසි විටෙකත් වැරැදි මඟට යොමු වන්නේ නැහැ. එය ප්‍රිය ජනක නම්, වචනය අවංක
බව ප්‍රකාශ වෙනවා නම්, ඒ වචනයේ රළු ගෙරෝසු බවක් නැති නම් මෛත්‍රී සහගත සිතිවිලි
ගැබ් ව පවතිනවා නම්, එවැනි වචන ප්‍රකාශ කරන්නා සමාජප්‍රිය බව ඉක්මවා දෙවියන්ගේ පවා
ප්‍රසාදයට පත් වන සැබෑ කලණ මිතුරකු වන බව බුදුරජාණන් වහන්සේ සත්තවතපද සූත්‍රයේ දීත්
අපට පෙන්වා දී තිබෙනවා. ඒ සියල්ල ම සම්මා වාචා ගුණය විදහා පෑමයි. |