
 නිර්වාණගාමී පටිපදාව ශක්තිමත් කරන පාදම නිවැරැදි කල්පනාවයි
සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමි
ඤාණදස්සන විසුද්ධිය හෙවත් නිර්වාණය ඉලක්ක කර ගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි
අංගය වනුයේ සම්මා සංකප්ප හෙවත් සම්‍යක් (නිවැරැදි) සංකල්පනාව යි.
එහි මුල් අංගය වන සම්මා දිට්ඨිය සමග සම්මා සංකප්පය සීල-සමාධි-පඤ්ඤා යන
ත්‍රිශික්‍ෂාවේ පඤ්ඤා ශික්‍ෂාවට අයත් වේ.
මෙහි දී එක වැදගත් කරුණක් මතු වේ. එනම් සීලයෙන් සමාධියත්, සීල-සමාධියෙන් පඤ්ඤාවත්
පෝෂණය වුව ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අට සඳහන් වී ඇත්තේ පඤ්ඤා- සීල-සමාධි ලෙසට
වීම යි. ඊට හේතුවක් තිබිය යුතු ය. ලෝකෝත්තර ජීවිතයේ සාර්ථකත්වය පසෙක ලා සාමාන්‍ය
ලෞකික ජීවිතය දෙස මදකට සිත යොමු කරමු.
දුර්ලභ ව ලැබී ඇති මිනිසත් බව සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය වනුයේ නිවැරැදි දැක්මක්
සමග ම ඊට අදාළ නිවැරැදි සංකල්පනාවන්ගෙන් සැදුම් ලත් පදනමක් තිබීම යි. නිවැරැදි
දැක්මක් නොමැති ව නිවැරැදි සංකල්පනා බිහි විය නො හැකි ය. එවන් නිවැරැදි සංකල්පනා
නොමැති ව ක්‍රියාවන් පිරිසුදු විය නො හැකි ය.
මෙසේ බලන කල නිර්වාණගාමී පටිපදාවක පාදකය හෙවත් පදනම සම්මා සංකප්ප ලෙස හඳුන්වා දිය
හැකි ය. නිවන් මඟ ලොව සියලු දෙනාට ම විවෘත වූවකි. එහෙත් ශාස්තෘවරයා ලෙස බුදුරජාණන්
වහන්සේ කෙරෙහි ද, පටිපදාව ලෙස ධර්මය කෙරෙහි ද, ඒ දහම් මඟ ගොස් නිවනට පත් විය හැකි
බව ඒහි පස්සික ව තහවුරු කරන්නා වූ සඟ ගණ කෙරෙහි ද විශ්වාසයක් නොමැති ව එම ගමන යා නො
හැකි ය. එම විශ්වාසය හෙවත් ශ්‍රද්ධාව නිවන් ඵල දරන වෘක්‍ෂයේ බීජය ලෙස හඳුන්වා ඇත්තේ
එනිසා ය.
කෙනකුගේ සිතක පහළ වන සිතිවිලිවල ඉමක් කොනක් නැත. පුළුල් ව ගත් කල එම සිතිවිලි රාගී
මෙන් ම වීතරාගී ද, ද්වේෂී මෙන් ම මෙත් සහගත ද, මෝහී මෙන් ම යථා ස්වභාවයීය ව ද විය
හැකි ය. එසේ ම ඇතැම් සිතිවිලි සතුට ගෙන දෙන්නාක් මෙන් ම ඇතැම් සිතිවිලි දුක්
දොම්නස්, බිය, සන්තාපය ගෙන දෙනු ඇත. පුහුණුවක් නොමැති ව සිතිවිලි පාලනය කිරීම ඉතා
දුෂ්කර කාරියකි.
සම්මා සංකප්ප ගත් විට සිතෙහි පැන නැඟෙන සියලු සිතිවිලි හෙවත් සංකල්පයන් ගනු නො
ලැබේ. යහපත් ජීවිතයක් ගත කිරීමට හෙවත් උභයාර්ථය සඳහාත්, නිර්වාණ කෘත්‍ය ඉටු කර
ගැනීමට පාදක වන්නාවූත් සංකල්ප පමණක් අප බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එම සම්‍යක්
සංකල්පනා ත්‍රිවිධාකාර වෙත්. එනම් මිච්ඡා සංකප්ප (වැරැදි සංකල්පනා) වන කාම,
ව්‍යාපාද සහ විහිංසා විතර්කයන්ගෙන් මිදුණා වූ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප සහ
අවිහිංසා සංකප්ප වැඩීම යි. එම සම්‍යක් සංකල්පනා එකිනෙක ඉදිරියේ සාකච්ඡා කරනු ලැබේ.
නෙක්ඛම්ම යන්නට බොහෝ විට නෛෂ්ක්‍රම්‍ය යන අරුත දෙනු ලැබේ. එම අරුතත් සමඟ ම සිතට එන
සංකල්පනා නම් ගිහි ගෙයින් නික්මීම, අබිනික්මන ආදිය යි. එම අර්ථය ලබා දීමේ වරදක්
නැති වුව ද නෙක්ඛම්ම සංකප්ප හෙවත් නෛෂ්ක්‍රම්‍ය විතර්කය කාම විතර්කයට ප්‍රතිපක්‍ෂ
සංකල්පයක් ලෙස ගත් කල අරී අටඟි මගේ නෙක්ඛම්ම සංකප්ප යන්නට ඊට වඩා පුළුල් අරුතක්
තිබෙන බව කිව යුතු ය.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් පිනවීම පුහුදුන් සැමගේ කැමැත්ත යි. ඒ
හේතුවෙන් හටගන්නා කාමාසාවන් නිසා බොහෝ වැරැදි සිතිවිලි සිතෙහි පහළ වීමට පටන් ගැනේ.
එවන් ඇතැම් සිතිවිලි දුර දිග යෑමෙන් ජීවිත අඳුරු කර ගන්නා අය සමාජයේ වැඩි වන
ප්‍රවණතාවක් ද වර්තමානයේ දක්නට ලැබේ. එයට පිළියම නෙක්ඛම්ම සංකල්පනා සිතෙහි වර්ධනය
කර ගැනීම යි.
කාමරාගය බොහෝ විට ගින්නකට සමාන කර ඇත. එම ගින්නට කොපමණ දැව ලබා දුන්නත් සෑහීමකට පත්
නොවනු ඇත. ඒ අතෘප්තිකර ස්වභාවය වටහා ගැනීම නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා දියුණු කර ගැනීමේ
මුල් පියවරයි. එවන් සිතිවිලි සිතෙහි පහළ වූ විට ඒ ගැන බහුල ව කල්පනා කිරීමෙන් සහ
නිතර නිතර කල්පනා කිරීමෙන් කාමාසාවන්ගේ නියම ස්වභාවය, එනම් අතෘප්තිකර බව සහ නිත්‍ය
නොවන බව, වැටහීමට පටන් ගැනීම නිවන් මඟට යොමු වීම යි.
සත්ත්වයා දුක් සසරේ නිමග්න වීමට හේතුව වන තණ්හාවේ මුලින් ම ඇත්තේ කාම තණ්හාව යි.
එනිසා ම දුක් කෙළවර කරන මාර්ගයේ පහළ කර ගත යුතු සංකල්පනාවන්හි මුල් ම සංකල්පය
නෙක්ඛම්ම සංකප්ප වීම හේතු සහගත ය.
අතෘප්තිකර කාමාසාවන් පිනවීමට යෑමේ දී විවිධ බාධක ඇති වන බව අත්දැකීමෙන් ම වැටහෙනු
ඇත. එය පෞද්ගලික ව පමණක් නොව පවුල්, අසල්වාසීන්, නෑයන්, නොනෑයන්, ජාතීන්, ජාතික,
අන්තර්ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආරවුල් මතුවීමට හේතු වන බව නුවණින් විමසීමේ දී
පෙනෙනු ඇත. ඒ සෑම ආරවුලක දී මනසෙහි හටගෙන ඇත්තේ ව්‍යාපාද සිතිවිලි යි.
මෙසේ බලන කල කෙනකුගේ ලෞකික මෙන් ම ලෝකෝත්තර දියුණුවට කාම විතර්කවලට නොදෙවෙනි ව බාධා
පමුණුවන්නේ ව්‍යාපාද විතර්ක බව පැහැදිලි ය. සිතෙහි පැන නැඟෙන එම ව්‍යාපාද විතර්ක
ප්‍රථමයෙන් හඳුනාගෙන ඉන් අනතුරුව ඒවා තදංග හෙවත් තාවකාලික ලෙස සහ විස්්ඛම්භන හෙවත්
යටපත් කිරීම ලෙස මැඩ පැවැත්වීමට හැකි වීම නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය වනු ඇත.
ඒ සඳහා අව්‍යාපාද සිතිවිලි හෙවත් මෛත්‍රී සිතිවිලි දියුණු කළ යුතු වේ. සම්මා
සංකප්පයේ අව්‍යාපාද සංකප්පයෙන් සිදු කරන්නේ එය යි.
නෙක්ඛම්ම සහ අව්‍යාපාද සංකප්පවලින් බොහෝ දුරට සිදුවන්නේ පෞද්ගලික මානසික දියුණුව
යි. බුදු දහමෙහි ලෝකාර්ථ චර්යාවට ඒ සමාන ම වැදගත්කමක් දී ඇත. ප්‍රථම ධර්ම දේශනාවෙන්
හා පළමු වස් කාලය ගත කිරීමෙන් පසුව මුල් රහතන් වහන්සේ 60 නමට බුදුරජාණන් වහන්සේ
අනුදැන වදාළේ
‘බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය’ ලෙසට හැසිරෙන්නට ය.
අනුන්ගේ දුකෙහි හදවත තෙත් වන මෘදු සිතක් ඒ සඳහා තිබිය යුත්තේ ය. වැඩිය යුතු තෙවන
සංකප්පය වන අවිහිංසා සංකප්පයෙන් සිදු වන්නේ එය යි.
සම්මා සංකප්පයට අයත් නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාද සහ අවිහිංසා සංකල්පනා සිතෙහි හට
ගැනීමේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටසට අයත් තෙවන, හතරවන සහ පස්වන අංග වන
සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව අර්ථවත් ව ස්වීය කර ගැනීමට හැකියාව වර්ධනය
වනු ඇත. සම්මා දිට්ඨිය පදනම් ව පහළ කර ගන්නා සම්මා සංකප්ප අංගය අරී අටඟි මගේ ගුළු
ඇණය ලෙස සැලකිය හැකි ය. |