[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවන් දොර අරින අරි අටැඟි මඟ සම්මා දිට්ඨි: ජීවිතයේ සහ ලෝකයේ ඇස

ජීවිතයේ සහ ලෝකයේ ඇස

බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංගය වන්නේ සම්මාදිට්ඨිය යි. සම්‍යක් දෘෂ්ටිය යැයි ද මනා දැක්ම යැයි ද අපි එයට කියමු.

සම්මාදිට්ඨිය යනු යමක් ඇති ආකාරයෙන් දැකීම යි. වෙනත් විධියකින් කිවහොත් චතුරාර්ය සත්‍යයට අනුව එසේත් නැත්නම් හේතුඵල න්‍යායට අනුව ලෝකයේ දේවල් විනිවිද දැකීම යි. එම දැකීම තුළ මුළාව නැත. සත්‍යය ඇත. දැකීමක් නිවැරැදි වීමට නම් යහපත් ඇසක් තිබිය යුතු ය. ඇස නො පෙනේ නම් අන්ධ ය.

අන්ධවූවහුට ලෝකය කළුවර ය. එබැවින් බුදුදහමේ ඉගැන්වෙන සම්මාදිට්ඨිය ජීවිතයේ ඇස ලෙස හඳුනාගැනීම සුදුසු ය. එපමණක් නොව එය ලෝකයේ ඇස ද වේ. සියල්ල තීරණය වන්නේ එයින් ලෝකය මනාව දකින හා තේරුම් ගන්නා ආකාරය අනුව ය. මෙම සම්මාදිට්ඨිය අනුව ඇති කර ගනු ලබන නිවැරැදි දැක්ම වූ කලි චතුරාර්ය සත්‍ය ඥානය ලබා ගැනීමෙන් ලබන නිවන් අවබෝධ කර ගැනීම කේන්ද්‍ර කොට පවතී. අප ලෝකය දකින හා තේරුම් ගන්නා ආකාරය අනුව අපගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් ද ආවසානික විමුක්තිය ද සැකසේ. සම්මාදිට්ඨිය නිර්වාණ මාර්ගයෙහි පළමු අංගය වන්නේ නිවැරැදි දැක්මෙන් අනතුරුව ම සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත ආදී අවශේෂ අංග ඵල දරන හෙයිනි. සම්මාසමාධිය දක්වා වූ උසස් ජීවන

ප්‍රතිපදාවන් සම්මා දිට්ඨිය ම පදනම් කොට පවතී. එබැවින් මිනිස් ලෝකයේ සෑම කෙනකුට ම අතිශයින් වැදගත් මානසික තත්වයක් සම්මා දිට්ඨියෙන් කියැවේ.

සම්මා දිට්ඨියේ ප්‍රභේද දෙකකි. ඉන් පළමුවැන්න ලෞකික සම්මා දිට්ඨිය යි. දෙවැන්න ලොකෝත්තර සම්මා දිට්ඨියයි. ලෞකික සම්මා දිට්ඨියෙන් දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් හා ඒවායේ යථාර්ථවත් බව වටහා ගත හැකි ය. අනෙක් අතින් අපගේ ජීවිතය හා බද්ධවන මූලික කර්ම නියාමය තේරුම් ගැනීමට නිවැරැදි දැක්මක් තිබිය යුතු ය. එනම් යහපත් ක්‍රියා කළහොත් යහපත් ප්‍රතිඵල ලැබේ. එසේම අයහපත් ක්‍රියා කළහොත් අයහපත් ප්‍රතිඵල උදාවේ යන්න යි. මෙම දැක්ම විධිමත් වූ කල්හි දෛනික ජීවිතය සදාචාරාත්මක ලෙසත්, වගකීම් සහිත ලෙසත් සකසා ගැනීමට හැකි වේ.

සම්‍යක් දෘෂ්ටියේ විරුද්ධ පදය මිථ්‍යාදෘෂ්ටිය බැවින් යමෙක් නිවැරැදි දැක්මෙන් තොරව වෙසේ නම් ඔහු තමා හා ලෝකය පිළිබඳ ව වැරැදි ලෙස දකින්නෙක් හා සිතන්නෙක් වේ. ලෝකයා අසත්‍යයෙන් සත්‍යය කරා, අවිද්‍යාවෙන් විද්‍යාව කරා, අනවබෝධයෙන් අවබෝධය කරා, ගැටුමෙන් සාමය කරා මෙන්ම වැනසිල්ලෙන් සැනසිල්ල කරා රැගෙන යයි ද නම්, ඒ සම්මා දිට්ඨිය නිසා ම වේ.

බුදුරජාණන් වහන්සේට අනුව ජීවත්වීමේ දී හේතුව හා ඵලය පිළිබඳ සදාතනික න්‍යාය තේරුම් ගත යුතු ය. අප කරන ක්‍රියාකාරකම්වල ස්වාභවය එයින් පෙන්වා දේ. බුදුදහමේ ඉගැන්වෙන කර්මය පිළිබඳ කතාව ද එයයි. නිදසුනක් ලෙස ඔබගේ දෘෂ්ටිය අනුව ඔබ කියන දේ හා සිතන දෙයට ප්‍රතිඵලයක් ලැබේ. ඒ සම්බන්ධ අවබෝධය අනුව ඔබගේ රුචිකත්වයන් හා තෝරාගැනීම් සිදුවේ. ඔබ ඉදිරියෙහි යමෙක් ඔබට වෛර කරන අවස්ථාවක් පැමිණියහොත් වෛර කිරීමෙහි ඵලය දන්නා ඔබ ඊට එලෙසින් ම ප්‍රතිචාර දැක්වීම නවත්වයි. එසේම අවබෝධාත්මක ව ඉවසීම හා කරුණාව දක්වා තම යහපත් මානසිකත්වය රඳවා ගනිමින් සාමයේ සුවපත් බව සමාජයට ලබා දෙයි. එපමණක් නොව සම්‍යක් දෘෂ්ටිය නිසා එම කරුණ දැඩිව නො ගැනීමෙහි, එහි නො ඇලීමෙහි හෙවත් මමත්වයෙන් තොරවීමෙහි වටිනාකම් කොපමණ ද යන්න අවබෝධ කර ගනී. හුදෙක් මානසික ආතතීන් ළඟා වන්නේ අප විසින් යම් යම් මිනිසුන්, වස්තූන්, තත්වයන් හා සතුට වැනි දේ පසුපස හඹා යාමෙනි. අනුපාදාන ආකල්පයෙන් හෙවත් නො ඇලීමෙන් මෙන්ම ඒවා ඕනෑම වේලාවක අත්හැරීමට හැකි ය යන මානසිකත්වයක් ඇති කර ගැනීම සම්මා දිට්ඨිය යි. මෙම තත්වය අප තුළ ඇති කරවා ගත හැක්කේ සියල්ල තුළ පවතින අනිත්‍යතාව, ක්ෂණිකව විනාශ වන බව හා අනාත්ම බව හෙවත් ආත්මීය වශයෙන් කිසිවක් ගත නොහැකි බව විනිවිද දැකීමෙනි. මේ අනුව සම්මා දිට්ඨිය ලෞකික වශයෙන් ඇති කර ගන්නා පුද්ගලයාට කිසිවක් දැඩිව ග්‍රහණය කිරීමේ බිහිසුණු බව තේරුම් ගැනීමේ හා ඒ සම්බන්ධයෙන් නිවැරැදි තීන්දු තීරණ කරා එළඹීමේ ශක්තියක් ඇති වේ. මෙය උදේ අවධි වූ තැන් පටන් ඔබගේ සියලු ක්‍රියාවලට අදාළ වේ.

බුද්ධ දේශනා තුළ සම්මා දිට්ඨිය පිළිබඳ සඳහන් වන තැන් ඉතා බහුල ය. සම්මා දිට්ඨි යන සූත්‍ර නාමයෙන් පමණක් නොව මහාචත්තාරීසක, මහාකම්මවිභංග, අපණ්ණක සුත්ත, ඵාසුකාරී, ජනවසභ ආදී වෙනත් නම් සහිත සූත්‍රවල ද සම්මා දිට්ඨි නිවන් මඟට හේතු වන ආකාරය පෙන්වා දී ඇත. ඒ අනුව බුදුදහම දාර්ශනික වශයෙන් තේරුම් ගැනීමට පමණක් නොව අප ආධ්‍යාත්මය කරා රැගෙන ගොස් නවත්වන බලවේගය ද එය යි. අවිද්‍යාව නිසා පුද්ගලයන් තුළ හිරි ඔතප් හෙවත් අකුසලයට බිය නැති වේ. මේ නිසා මිනිසුන් මුලින්ම අකුසල කිරීමට බියවිය යුතු ය. සම්මා දිට්ඨිය ඇතිවන්නේ එබඳු අයට ය. සම්මා දිට්ඨිය ඇති තැනැත්තාට ම සම්මා සංකල්ප ඇතුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි අවශේෂ දොරටු විවර වේ.

ලෞකික සම්මා දිටිඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කිසිසේත් එක සමාන යැයි නො සිතිය යුතු වේ. නිදසුනකින් කිවහොත් ලෞකික සම්මාදිට්ඨිය පාපැදියකින් කඳුපියසක් මතට නැඟී එහි නැවතී සිටීමක් වැනි ය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය එහි සිට පහත බලා ඇති තතු දකින්නාක් වැනි ය. එහෙයින් පුහුදුන් මිනිසුන් වන අප තුළ ලෞකික සම්මා දිට්ඨිය උපදවා ගැනීම මූලික අවශ්‍යතාවකි.

උගත්කමක් තිබූ පමණින් හෝ පොත් පත් කියවා තිබූ පමණින් හෝ ආගමික ක්‍රියාකාරකම්හි නිරත වූ පමණින් කෙනකු සම්‍යග් දෘෂ්ටි ඇත්තෙක් නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වූ කලි ඊට වඩා ගැඹුරු, මහා සාගරය මෙන් අනුපිළිවෙළින් ගැඹුරට යන්නා වූ සහ ලෝකයේ උත්කෘෂ්ට වූ පුරුෂයන් බිහිකරන ප්‍රතිපදාවකි. එම ප්‍රතිපදාව උතුම් වූ දැක්ම, දැනුම, සංයමය, වැටහීම, විශේෂ අවබෝධය හා යථාර්ථවත් වටහා ගැනීම යන ලක්ෂණ සහිත නිර්වාණය සාක්ෂාත් කර දෙන ප්‍රතිපදාව යි. මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ලෝකයෙහි නො ඇලී නො ගැටී සිටින පුද්ගලයා ඔහු යි. ලෝකෝත්තර වශයෙන් ලැබිය හැකි මේ සියල්ලක් සකසා ගැනීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංගය වන මෙකී සම්මා දිට්ඨිය ලබා ගැනීමේ ක්‍රියාවලියට අප පිවිසිය යුතු ම වේ.

උගත්කම් දැන, හැඳුනුම්කම්, බණ දහම් ඇසූ ප්‍රමාණය, ඥාන ශක්තිය වැනි දේ බුද්ධියෙන් අප වල්මත් කරවන බව තේරුම් ගැනීමට මෙකල ඕනෑතරම් උදාහරණ තිබේ. බුදුන්, දහම්, සඟුන් කෙරෙහි විශ්වාසය තබන්න. කුමක් නිසාද යත් සම්මා දිට්ඨිය ශ්‍රද්ධා මූලික වූවක් වන හෙයිනි. එසේම හිරි ඔත්තප්ප යන ධර්ම කරුණු දෙක මැනවින් හදාරන්න. ඒ අනුව පාපයට ලජ්ජා බිය ඇති කෙනකු වී කුසලයට පුරුදු පුහුණු වන්න. වැරැදි දේ වැරැදි ලෙසත්, නිවැරැදි දේ නිවැරැදි ලෙසත් දකින්න. මෙය සම්මා දිට්ඨී කර්ම සමාදානය නමින් දැක්වේ.

නගරයක පිහිටි සුවිසල් මහලක මතු මහලෙහි වෙසෙන මනා ඇස් ඇති කෙනකු රථවලින් නගරයෙහි හැසිරෙන, තැන් තැන්වල හිඳගෙන සිටින, ගොඩනැඟිලි ඇතුළට යන මිනිසුන් මෙන්ම ඒවායින් නිරතුරුව බැහැරට එන මිනිසුන් ද දකී. එමෙන්ම භික්ෂුව ද චිත්ත සමාධිය උපදවා චුතූපපාත ඥානය ලබාගත් කල්හි සත්වයාගේ නිබඳ චුතවීම් හා පිළිසිඳ ගැනීම් දකී.

වර්තමාන ලෝකය ඉතා වේගයෙන් වෙනස් වන බව අපි දනිමු. ඔවුහු කයින් සිතින් ඉතා වේගවත්හු ය. ඝෝෂාකාරීහු ය, මානසික ආතතියෙන් පීඩිත ව වෙසෙති. ජීවිත ආස්වාදය නො හඳුනති. බුදුදහමේ උගන්වන සම්මා දිට්ඨි සංකල්පය සතියෙන් තොර ඔවුන් සතිමත් කිරීමටත්, අනාචාර බවින් ආචාරවත් කිරීමටත්, නිරර්ථක නිම්හිම් නැති අපේක්ෂාවන්ගෙන් මුදවා ගැනීමටත් ඉවහල් වේ. එසේම ආත්මාර්ථකාමී බවින් මුදවා සහානුකම්පාවෙන් යුතු මිනිසුන් බවට පත් කිරීමටත්, වැරැදි දත්තවලින් පෙළඹී වැරැදි සහගත ලෙස සිදු කෙරෙන සාපරාධී ක්‍රියාකාරකම්වලින් නිදහස් කෙට වඩාත් යහපත් මිනිසුන් බවට පත් කිරීමටත් උපකාර වන ගුණාංගයකි. දිනකට විනාඩි පහක්වත් සම්මා දිට්ඨියෙහි වටිනාකම් මෙනෙහි කරන්න. තමාට තමා ගුරුවරයකු මෙන් වන්න. කරුණාව හා මෛත්‍රිය සමඟ කාලය ගත කරන්න. සෑම මෙහොතක ම සෑම ක්‍රියාවක් ම බුද්ධියෙන් හා මනා දැක්මකින් විනිවිද දකින්න. චිත්ත සමාධිය ප්‍රගුණ කරමින් නිහතමානී හා විවෘත මනසින් කල් ගෙවන්න.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]