
කෙලෙස් ගින්නෙන් දැවෙන ලෝකය නිවා සැනසූ අමා දම් ගඟ
අග්ගමහා පණ්ඩිත,
මහාචාර්ය
අත්තංගනේ රතනපාල නාහිමි
බුදු උපත සිදුවූ ක්‍රි.පූ. 6 වැනි සියවස ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය, ඒකාධිකාරය
බලවත්ව ක්‍රියාත්මක වූ අවධියකි.
එනිසා ම මනුෂ්‍ය සමානත්වය පිළිබඳව දේශනා කිරීමටත්, ප්‍රායෝගික ව භික්ෂු සමාජයෙහි
සියලු මනුෂ්‍යයන්ට, ශ්‍රාවකයන්ට, සමානාත්මතාවෙන් සැලකීමට, සමාන වරප්‍රසාද හිමි කර
දීමට බුදුරදුන් දැඩි වෙහෙසක් දැරූ සැටි පැහැදිලි වේ.
එවකට පැවති චතුර් වර්ණය ම සමානාත්මතාවයෙන් දැක්වූ බුදුරදුන් “චත්තාරො වණ්ණා සම සමා’
යනුවෙන් බ්‍රාහ්මණයන්ට පිළිතුරු දුන් අයුරු සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රයෙන්
විස්තර වේ. ඒ පිළිබඳ බුදුරදුන් සමඟ වාදයට පැමිණ බ්‍රාහ්මණයන්ට මිනිසුන්ගේ උපතින්
වෙනසක් නොමැති බවත්, කි‍්‍රයාවෙන්, භාවිතයෙන් ම වෙනස්කම් දැකිය යුතු බවත් පැහැදිලි
කළහ. සුත්ත නිපාතයේ සුන්දරික භාරද්වාජ බමුණා අමතා “මා ජාතිං ප්‍රචාර චරණංච ප්‍රචාර
යනුවෙන් ජාති ගෝත්‍ර නො විමසන්න. හැසිරීම, ක්‍රියාකාරිත්වය ම විමසන්න. යනුවෙන්
ක්‍රියාව ම අගය කළහ.
‘නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො යනුවෙන් උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු
හෝ නොවන බවත් “කම්මනා වසලො හොතිකම්මනා හොති බ්‍රාහ්මණො යනුවෙන් ක්‍රියාවෙන් ම
වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වන බවත් පැහැදිලි කළහ.
කුල, ගෝත්‍රවාදයෙන් අතිශය පීඩාවට පත්ව සිටි සමාජයට අස්වැසිල්ලක්, සැනසිල්ලක් උදා
වූයේ කරුණු සහිත ව මනුෂ්‍ය සමානත්වය පිළිබඳ ව බුදුරදුන් ඉදිරිපත් කළ දේශනා තුළිනි.
පුද්ගල සහ සමාජ ක්‍රියාකාරකම් පුද්ගලයාගේ හා සමාජයේ යහපත, අභිවෘද්ධිය පිණිස හේතු
වන්නේ එම ක්‍රියාකාරකම්හි ධාර්මිකත්වය අනුව ම බව ඒ අනුව පැහැදිලි ය.
වර්තමාන සමාජයෙහි වුව ද අධම, උත්තම පුද්ගලයන් හඳුනාගත යුත්තේ ක්‍රියාකාරකම් අනුව ම
බව බුදු දහමෙන් ලැබෙන උපදේශය යි. එහෙත් සමාජය හැඩගැසී ඇත්තේ දහමට අනුව නොවන හෙයින්
මුදල සහ දරන තනතුර අනුව පුද්ගලයන් වර්ග කරන බව පෙනේ. ගුණය වල්වැදී ඇත්තේ එහෙයිනි.
වල්වැදුණු සමාජය ප්‍රකෘතිමත් කිරීමට නම් ක්‍රියාව අනුව පුද්ගලයා මැනීමට සමාජය
දැනුම්වත් විය යුතු ය. පාපයට, අකුසලයට හුරුවූ පුද්ගලයා සමාජ ව්‍යසනයක් ඇති කරන අයකු
ලෙසත් දහමට, කුසලයට, නැඹුරු වූ පුද්ගලයා සමාජයට ආශිර්වාදයක් ලෙසත් මේ සමාජය වටහා
ගන්නා තුරු සමාජ ධාර්මිකත්වයක් ගොඩනැඟිය නොහැකි ය. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලික
චේතනාවන්ගෙන් මුසපත් ව, වෛරී ව කටයුතු කළ සමාජයට වෛරයෙන්, වෛරය, නොසංසිඳෙන බව දේශනා
කොට, මෛත්‍රියෙන් කටයුතු කොට සැනසීම ලබන මඟ හෙළි කළේ බුදුරජාණන් වහන්සේ ම ය.
මෛත්‍රී කාය කර්ම, වචීකර්ම, මනෝ කර්ම ආදියෙන් සමාජය සමඟ ගනුදෙනු කළ යුතු බව
පැහැදැලි කොට මෛත්‍රි සංකල්පනාවන්ගෙන් යුත් සමාජයක් නිර්මාණය කළෝ බුදුරජාණන් වහන්සේ
ම ය.
සියලු පාපයන්ගෙන් මිදී කුසලය වඩා සිත පිරිසුදු කිරීම සියලු බුදුවරුන්ගේ අනුශාසනය
ලෙස ඉදිරිපත් කොට සත්වග වෙත සැනසීම දායාද කළේ බුදුරජාණන් වහන්සේ ම ය. මනුෂ්‍ය
සන්තානගත තෘෂ්ණාව විසින් ඔහුට දුක උරුම කරවන බවත්, තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් සැනසීම ලද
හැකි බවත් පවසා ඒ සඳහා අනුගමනය කළ යුතු මඟ ද උන්වහන්සේ පෙන්වා වදාළහ.
දුකත්, දුකට හේතුවක් දුක නැති කිරීම හෙවත් දුක්ඛ නිවාරණයත්, ඒ සඳහා වූ මඟත් ලොවට
ඉදිරිපත් කොට ලෝකය දුකින් නිදහස් කිරීමේ කාර්යය සඳහා අනුශාසනා කළ බුදුරදුන්ගේ උපත
ලෝකයට සැපතක් වූයේ ඒ ආකාරයෙනි. සකලවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් ලෝ සත නිදහස් කර ගැනීම
බුදුවරයකුගේ පරම අධිෂ්ඨානය යි. චතුරාර්ය සත්‍ය දේශනාව තුළ ඒ ගැලවීමේ මඟ අන්තර්ගත ය.
අද සමාජය අත්විඳින, මුහුණපාන සියලු ගැටලුවලට පිළියම බුදු දහමෙහි අන්තර්ගත වේ. ඒ
හේතුඵල නියාමය යි. හේතුව සොයා පිළියම් කිරීමේ ක්‍රමවේදයයි.
බුදුරදුන් ඉදිරිපත් කළ ආධ්‍යාත්මික දියුණුවට උපකාරිවන සීල, සමාධි, ප්‍රඥා යන
අනුපූර්ව ප්‍රතිපදාව වැඩීමෙන්, භාවිතයෙන් අපේක්ෂිත සැනසීම උදා කර ගත හැකි ය. ගැටලුව
වන්නේ ලෝකයා ඒ දහම් මඟට අවතීර්ණ නොවීම ය.
ඉන්ද්‍රිය සංතර්පණය පරමාර්ථය කොටගත් ලෝකයට, ආලෝකයක් ලැබිය නො හැකි ය. වර්තමාන සමාජය
ම “අසාරේ සාර මතිනො, සාරෙ වාසාර දස්සිනො” යනුවෙන් බුදුරදුන් ම දක්වන ලද සංකල්ප
පටලවා ගත් සමාජයකි. නිසරු දේ සරු දේ හැටියටත්, සරු දේ නිසරු දේ හැටියටත් ගෙන කටයුතු
කිරීමෙන් අපේක්ෂිත විසඳුම ලැබිය නොහැකි ය.
මංගල - ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවන්ගෙන් දියුණුවේ මඟ පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ
වසල, පරාභව සූත්‍රයන්ගෙන් පිරිහීමේ කරුණු ද පැහැදිලි කොට ප්‍රායෝගික ව ආධ්‍යාත්මික
දියුණුව ඇති කරන්නා අකාරය හෙළි කළහ. එසේම ගිහි විනය නම් වු සිඟාලෝවාද සූත්‍රයෙන්
ගිහි පින්වතකු විසින් අනුගමනය කළ යුතු ධර්මානුකූල ගිහි පිළිවෙත ද දැක්වූහ.
බුදුරදුන් අනුගමනය කළ ආදර්ශවත් දිනචරියාවේ පටන් ම කළමනාකරණය, අප්‍රතිහත ධෛර්යය,
වීර්යය, අනලස්භාවය, ඍතිමත්භාවය ආදී ගුණාංග රැසකින් සමන්විත ජීවන ප්‍රතිපදාවක්
සමාජයට ඉදිරිපත් කළහ.
බුදුරදුන්ගේ සමානාත්මතා ගුණය ලෝකය මවිත කරවන සුළු විය. තමන් මැරවීමට උපක්‍රම යෙදූ
දේවදත්තට ද ඇඟිලි කැපීමෙන් මිනිසුන් බොහෝ ගණනක් ඝාතනය කළ අංගුලිමාලට ද රා බී මත්ව
කෝපයෙන් තමන් වෙත පැමිණි ධනපාල නම් හස්තියාට ද තම පුතණුවන් වූ රාහුල කුමරුට ද හැම
තන්හි සම මෙතින්, සම සිතින් සැලකූ අයුරු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය පිළිබඳ සාධකයෝ ය.
එබඳු මෙත් සිතින් සියලු සත්ත්වයන් වෙත කටයුතු කළ යුතු බව බුද්ධ දේශනාවයි. යථාවාදී -
තථාකාරී යථාකාරී තථාවාදී ගුණයෙන් යුතු බුදුරදුන්ගේ ඒ විශිෂ්ට චරිතාදර්ශය වටහා ගැනීම
බුද්ධානුස්සතිය යි. බුදුගුණය තමා තුළ ද ඇතිකර ගැනීම යි. |