 මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ස්‍යාමෝපසම්පදා විනය කර්මය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
පහමුණේ ගුණානන්ද හිමි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් ආරම්භ වූ ශ්‍රි ලංකා ද්වීපයෙහි
බෞද්ධාගමික පුණර්ජීවනය නිසාවෙන් මෙරට සම්බුද්ධ ශාසනයෙහි මුලාරම්භය සිදුවිණි.
මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මුල්ම විහාරය අනුරාධපුර මහා විහාරය වූ නිසාවෙන්
මෙකී මහා විහාරය මූලිකත්වයෙහි තබා ගනිමින් ආරම්භ වූ උපසම්පදාව මහා විහාර උපසම්පදාව
වූ අතර, එය වළගම්බා රාජ්‍ය තන්ත්‍රය දක්වා ම නිරුපද්‍රිත ව පැවතිණි.
මහනුවර යුගයේ දී අන්ත පරිහාණියකට ලක් වී පිරිහෙමින් පැවති සම්බුද්ධ සසුනත්, අර්ථ,
ධර්ම ශබ්ද ශාස්ත්‍රයත් යළි ඇතිකරලීමට වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේ
පෙරමුණ ගත්හ.
එකදු උපසපන් භික්‍ෂූන් වහන්සේ නමකදු සොයා ගැනීමට නොහැකි වූ මෙම කාලය තුළ ජාතියෙහි
මෙන්ම සම්මා සම්බුද්ධ ශාසනයෙහි පිනට පහළ වූ බෝධිසත්ව ගුණෝපෙත වැලිවිට අසරණ සරණ
සංඝරාජ සාමණේරයන් වහන්සේ ඉතා කටුක, දුක් සහිත, දිවියක් ගත කරමින් ශබ්ද ශාස්ත්‍රයන්
උගෙන තෙවළා දහම ප්‍රගුණ කිරීමට පිරිවෙන් විද්‍යාස්ථානයක් හා සිල්වත් සමාගම නමින්
ඇති කර ගත් ශිෂ්‍ය පිරිසක් සමඟ බුදුසසුනෙහි උන්නතියට සිදුකළ මෙහෙවර අනල්ප ය.
උපසම්පදා භික්‍ෂූන් වහන්සේගෙන් හිස් වූ ලංකා ද්වීපය තුළ උපසම්පදාව සංස්ථාපිත කිරීමේ
අදිටනින් පසු වූ සංඝරාජ මාහිමියන් ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් ද, ස්වකීය ශිෂ්‍ය
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් ද රාජ්‍යානුග්‍රහය ලබා ගෙන සියම් රටෙහි පරම
ධාර්මික රජුගේ හා අයෝධ්‍යාවෙහි ථලාරාම මහා විහාරයෙහි භික්‍ෂූන් වහන්සේගේ
මූලිකත්වයෙන් උපාලි මහතෙරුන් ඇතුළු උපසපන් භික්‍ෂූන් වහන්සේ 21 ක් නමක් ද,
සාමණේරයන් වහන්සේ 8 නමක් ද, සියම් ඇමතිවරු තිදෙනෙක් ද යන 32 ක් වූ පිරිස රා:ව 1752
ඉල්මස සියම් දේශයෙහි නැවකිත් පිටත්ව ත්‍රිකුණාමලයට වැඩම කරන ලදහ. රා:ව 1753 ජූලි මස
15 ඇසළ පොහෝ දින සියම් රටින් වැඩි සාමණේරයන් වහන්සේ පළමුව උපසම්පදා කොට පසුව පෝයමළු
විහාරයෙහි නායක පදවිලත් කොබ්බෑකඩුවේ, වැලිවිට සරණංකර, හුලංගමුවේ, බඔරදෙණියේ,
තිබ්බටුවාවේ හා අස්ගිරි විහාරයේ නායක පදවිලත් නාවින්නේ යන සාමණේරයන් වහන්සේ සය නම
උපසම්පදා කළහ, මෙය වර්තමාන සම්බුදු සසුනෙහි ප්‍රථම උපසම්පදාව මෙන්ම, වසර 50 ක්
පුරාවට වියැකීව තිබූ සම්බුදු සසුනෙහි ජීවය වූ උපසම්පදා විනය කර්මය ලංකා ධරණීතලයෙහි
නැවත සංස්ථාපිත වීම ය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් මෙවැනි ශාසනික කටයුත්තකට උරදුන් වැලිවිට අසරණ
සරණ සරණංකර හිමියන්ට සංඝරාජ ධුරය රා:ව 1760 දී පිරිනැමුණු අතර, සරණංකර සංඝරාජයන්
වහන්සේට වස් දොළසක් සම්පූර්ණ වූ විට ස්ථවිර සම්මුතිය ලබා බු:ව 2307 දී ශ්‍රී ලාංකීය
භික්‍ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී.
උභය මහා විහාරයෙහි මහානායක ධුරය තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්‍ඛිත හා උරුලෑවත්තේ
ධම්මසිද්ධි මහ නාහිමියන් උසුලනු ලැබීය. මෙහි දී විහාර දෙකෙහි ම උපසම්පදාව ඇරඹි අතර
යම් දිනක එක් විහාරයක උපසම්පදාව අස්ථානගත වුවහොත් අනෙක් විහාරයෙන් උපසම්පදාව
ගෙනැවිත් උපසම්පදාව පිහිටුවා අඛණ්ඩ ව පවත්වා ගෙන යාමෙහි පරමාදර්ශයෙන් යුක්තව ය.
සියම් රටින්, වත්මන් තායිලන්තයෙන් රැගෙන ආ නිසාවෙන් සියම් උපසම්පදාව යනුවෙන්
හදුන්වන අතර, මල්වතු අස්ගිරි උභය මහා විහාරය ගුරු තැන්හි තබා ගනිමින් පවත්නා
ස්‍යාමෝපසම්පදා විනය කර්මයෙහි මෙකී සංධිස්ථානයන් මල්වතු අස්ගිරි උභය මහා විහාර
උපසම්පදාවෙහි ආරම්භය යි. |