 පරමාදර්ශී රාජ්‍යයකට සම්බුදු දහමේ පූර්වාදර්ශය
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
බුදු දහම පරම නිෂ්ටාව වන නිවන අරමුණු කරගත් දහමකි. ලෞකික ජීවිතය සුවපත් කරගෙන පරම
නිෂ්ටාව කරා යාමට අවැසි මඟ පෙන්වන බුදු දහම ලෝ වැසි ජන මනස සුවපත් කරවන දිව්‍ය
ඖෂධයක් බඳු ය.
සහජීවනයෙන් සහ සාමකාමී ජීවන පැවැත්මකට බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දෙන සමාජ
ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් විසින් නූතන රාජ්‍යයන්ගේ මනා පැවැත්මට ද, හොඳ
අත්වැලක් සපයනු ලබයි. බෞද්ධ සමාජ දර්ශනයේ දේශපාලන සංකල්ප විග්‍රහ කිරීමේ දී කාලීන
සුවිශේෂී සමාජ දේශපාලන රටාව පිළිබඳ මනා අවබෝධයක් අවශ්‍ය වේ.
බුද්ධ කාලයේ පැවති හින්දු දේශපාලන චින්තනයන්ට වඩා බෞද්ධ දේශපාලන චින්තනය හාත්පසින්
ම වෙනස් විය. සංවිධානාත්මක ආගම් අතරින් පැරණිතම ආගම හින්දු ආගමයි. මෙම ආගම ලෝකයේ
ආරම්භය හා පැවැත්ම සම්බන්ධයෙන් දී ඇති නිර්වචනය නම් සර්වබලධාරි මහා ‘බ්‍රහ්මන්’
විසින් ඉර, හඳ, තරු සහිත විශ්වය ද, මිනිසා සහ සතුන් ද සහිත ව ලෝක ධාතුව මැවූ බවයි.
මෙකී ආගම තුළින් මානව සමාජය තුළ පවත්නා අසමානතා දේව නියමය නැතහොත් දේව කැමැත්ත අනුව
මහා බ්‍රහ්ම විසින් ම ඇති කරන ලද්දක් බව තහවුරු කිරීමට උත්සාහ දැරීය.
මෙසේ කුලවාදය තුළ හින්දු මතවාදය නිර්මාණය කළ දාර්ශනිකයන්ට අවශ්‍ය වූයේ ඉන්දියාවේ
සමාජ ක්‍රමයෙහි පැවති ප්‍රභූ ආධිපත්‍යය සහිත රාජ්‍ය ක්‍රමය දිගට ම පවත්වා ගෙන
යාමයි.
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය හා හේතුඵලවාදය තම දර්ශනයේ හරය වශයෙන් ගෙනහැර
දක්වමින් වඩාත් තාර්කික සහ මානව හිතවාදී සමාජ, දේශපාලන වටපිටාවක් සකස් කර ගැනීමට
අවශ්‍ය උපදෙස් සිය සූත්‍ර දේශනාවල අන්තර්ගත කළහ. යුක්තිය, සාධාරණත්වය, නිදහස,
සමානාත්මතාව, අයිතිවාසිකම් හා යුතුකම් යන පරමාදර්ශනයන් සිය දර්ශනයට ඇතුළත් කළ
බුදුරජාණන් වහන්සේ එදා බමුණු සමාජය යොදාගෙන තිබුණු කුලය, ගෝත්‍රය, ජන වර්ගය, සමේ
පාට, උපන් ප්‍රදේශය, කතා කරන භාෂාව, අදහන ආගම වැනි නිර්ණායකයන් මත මිනිසුන්ගේ
වටිනාකම තීරණය කිරීම ප්‍රතික්ෂේප කළහ.
බෞද්ධ දේශපාලන චින්තනය නම්‍ය වූ එකකි. එය ප්‍රගතිශීලී විය. මිනිස් වර්ගයාගේ යහපත
සඳහා ම සකස් වූවකි. මේ යුගයේ දී ගී‍්‍රසියේ පෞර රාජ්‍ය පැවැති අතර, ඉන්දියාවේ
පැවතියේ සොළොස් මහ ජනපද ආශි‍්‍රත පාලන ක්‍රමයකි. පෞර රාජ්‍යය තුළ මෙන් ම සොළොස් මහ
ජනපද ආශි‍්‍රත ව ද පැවතියේ සීමිත ජන සංඛ්‍යාවකින් යුත් කුඩා රාජ්‍යයන් ය. මේ දෙක
අතර ආර්ථික වෙනසක් දකින්නට ලැබිණි. ගී‍්‍රසියේ පැවතියේ වහල් ක්‍රමයකි. ආසියාවේ
වැඩවසම් ක්‍රමයට සමාන ක්‍රමයක් දක්නට ලැබිණි. (ආසියාතික නිෂ්පාදන රටාව) ගී‍්‍රසියේ
මෙන්ම ඉන්දියාවේ ද, නොයෙක් ප්‍රතිවිරුද්ධ මතවාදයන් පැවතිණි. එනම් විඤ්ඤාණවාදී
අදහස්, භෞතිකවාදී අදහස්, දිවිත්වවාදී අදහස් දැරූ කණ්ඩායම් ගී‍්‍රසියේ මෙන් ම
ඉන්දියාවේ ද නොඅඩුව දක්නට හැකි විය. ගී‍්‍රසිය බුද්ධිමතුන්ගේ පාරාදීසයක් වූවා මෙන්
ම ඉන්දියාව ද, බුද්ධිමතුන්ගේ පාරාදීසයක් විය.
මෙම සමාජ පසුබිම මත පිහිටා බුදුරදුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික දැක්ම ත්‍රිපිටකය තුළ
සූත්‍ර ගත කොට ඇති ආකාරය අපට විග්‍රහ කළ හැකි ය. අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වා දෙන පරිදි
තණ්හා අධික පුද්ගලයන් පොදුවේ පැවති භුක්තියෙන් ඉවත් ව පෞද්ගලික ව වැඩිපුර භුක්ති
විඳීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පොදු දේපළ ක්‍රමය වෙනුවට පෞද්ගලික දේපළ
ක්‍රමයක් බිහිවිය. මේ නිසා ම සොරකම, අඬදබර ඇතුළු නා නා විධ දුෂ්චරිත ක්‍රියාවන්
වර්ධනය වන්නට විය. මේ හේතුවෙන් රාජ්‍යය නමැති ආයතනය බිහිවිය. මෙහිදී පාලකයා සමාජ
සම්මතයෙන් තෝරා ගත් අතර, ඔහු මහා සම්මත නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම පාලකයා මහජනයා
තුළින් බිහිවීම අතිශයින් ම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. රාජ්‍යය පිළිබඳ බෞද්ධ අදහස
ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ගන්නා බව මින් මනාව පිළිබිඹු වේ.
හින්දු මතයට අනුව දේවවරම්වාදී ලෙස පාලකයා පත්විය. බෞද්ධ විග්‍රහයට අනුව පවත්නා
නීතියට රටේ සාමාන්‍ය වැසියා මෙන් ම රජු එක සේ යටත් වියයුතු බව දැක්වීමෙන් නීතිගරුක
සමාජයක් බිහි කිරීමට උත්සාහ ගත් බව පෙනේ. මේ තුළින් නීතියේ ආධිපත්‍යය යන සංකල්පය
තහවුරු කරනු ලැබීය.
එහෙත් බුදුන් වහන්සේ නීතියෙන් පමණක් සමාජ ප්‍රශ්න විසඳිය නොහැකි බව පිළිගනී. නීතිය
යනු බලහත්කාරයකි. දීඝ නිකායට අයත් කූටදත්ත සූත්‍රයේ සඳහන් වන පරිදි අපරාධ බහුල ව
ව්‍යාප්ත වීම වැළැක්වීමට පාලකයන් යෙදූ මර්දනකාරී ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම
ප්‍රතික්ෂේප කරනු ලබයි. රටේ අපරාධ වැඩිවීමට හේතුව දුප්පත්කම බව පෙන්වා දෙන බුදු දහම
ඒවා සමනය කිරීමට පාලකයා ජනතාවගේ මුලික අවශ්‍යතාවක් සපුරාලීමට පියවර ගත යුතු බව
පෙන්වා දෙයි. චක්කවත්ති සිහනාද සූත්‍රයේ විග්‍රහකොට ඇත්තේ සාමාන්‍ය සමාජ අර්බුද
පමණක් නොව ආර්ථික විෂමතාවන්ට පිළියම් නොකොට ඒවා ක්‍රමයෙන් විකාශනය වීමට ඉඩ හැරීම
නිසා රටක සමාජ හා දේශපාලන සංවිධාන ආයතන හා සංස්ථාවන් බිඳවැටීමෙන් රටක විප්ලවයක්
ඇතිවන ආකාරය මැනවින් විග්‍රහ කොට ඇත.
බුදුරදුන් පොදු දේපළ ක්‍රමය ඉහළින් ම අගය කිරීම බෞද්ධ සමාජ දර්ශනයේ සුවිශේෂ ව
විග්‍රහ කොට ඇත. ඒ බව භික්ෂූන් වහන්සේ සඳහා පැනවූ විනය නීතිරීතිවලින් මැනවින්
ප්‍රදර්ශනය වේ. පරිනිබ්බාන සූත්‍රයේ සංඝයාගේ දියුණුවට හේතුවන කරුණු ගැන විග්‍රහ
කරමින් දේශනා කරනුයේ භික්ෂූන් දැහැමි ව ලබා ගන්නා වූ යම් දෙයක් තිබේ ද යටත්
පිරිසෙයින් පාත්‍රයට ලැබෙන්නා වූ දෙයක් වේ ද, එය සමගියෙන් භික්ෂූන් අතර බෙදා ගත
යුතු බවයි. සාමූහික භුක්තිය පිළිබඳ ව සංඝයාට හඳුන්වාදීමට පෙර බුදුරදුන් ආදර්ශය
තුළින් ම එහි අගය සමාජයට වටහා දුන් බව පෙනේ.
රජගහනුවර එක්තරා සිටුවරයකු විහාර ගෙවල් හැට තුනක් තනා ඒවා සංඝයාට පූජා කරනු කැමැති
ව එය කෙසේ කළ යුතු දැයි විචාළ විටදී බුදුරදුන් එයට වදාළ පිළිතුර වූයේ සිවු දිශාවෙන්
පැමිණි හා නොපැමිණි සංඝයා උදෙසා පූජා කරන ලෙසයි. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ සිය
සුළු මවගෙන් පවා කිසිවක් පෞද්ගලික ව ලබා ගැනීමට අකැමැති වූහ. තවත් අවස්ථාවක
උන්වහන්සේට දන් පිළිගැන්වූවන්ට කියා සිටියේ තම ශ්‍රාවක සංඝයාට පමණක් නොව ජෛන
භික්ෂූන්ට ද දන් පිළිගන්වන ලෙස ය.
එයින් බුදු සමය තුළ තිබෙන ආගමික සහජීවනය ද ප්‍රදර්ශනය කරයි. සිඟාලෝවාද සූත්‍රයේ
පුද්ගලයන් සතුව පවත්නා අයිතිවාසිකම් තහවුරු වන ආකාරය පෙන්වා දී ඇත. එමෙන්ම බෞද්ධ
දේශපාලන චින්තනයේ මූලිකතම සංකල්පය වන්නේ සමානාත්මතා සංකල්පයයි. සෑම මිනිසකුම
උප්පත්තියෙන් පමණක් නොව ශාරීරික හා ආධ්‍යාත්මික අතිනුත් සමාන බව බුදුරදහු දේශනා
කළහ. බුදුරදුන් තම සංඝ ශාසනය පිහිටු වූයේ තමන් දේශනා කළ සමානාත්මතාව පදනම් කරගෙන ය. |