 පුර පෑළවිය සඳ
- 18 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.
සුදු පාට ලොකු කෝප්පයකට ඔහු කැඳ ටික දමාගෙන එයි. එය අල්ලාගෙන එන ආකාරයෙන් ම
හාමුදුරුවන්ගේ බඩ දඟලන්නට විය.
සමහර දායකයන් භික්ෂූන් දානයට වැඩම කළවිටත් පැන් කෝප්පය පිළිගන්වන්නේ ද ඔය ආකාරයට ය.
උපාසකගේ මහපට ඇඟිල්ලත් කැඳ කෝප්පය ඇතුළේ ය. ඒ ඇඟිල්ලේ බුලත් කෙළ රතත්, හුණුත් තිබේ.
ඒ කට දෙකෙළවරින් බුලත් කෙළ පෙරන විට ඇඟිල්ලෙන් පිස දැමූ පාට ය. නිය පොතු ද දිගට
වැඩී තිබේ. ඒවා දින ගණනකින් සුද්ද පවිත්‍ර කර නැති බැවින් කළු ය. කැත ය.
කෙතරම් පිළිකුල් වුවත් මෙම කැඳ ස්වල්පය නොවළඳා මෙතැනින් ගැලවෙන්නට නම් නොහැකි ය.
පැවිද්ද යනු නිකං කකා බිබී සැප විදීමක් ය කියන්නෝ කෙසේ නම් මෙවැනි අපහසුතා දනිත් ද?
දෙන ඕනෑම දෙයක් වළඳන්නට පුහුණු වීම ම පැවිද්දකුට කෙතරම් නම් උගහට ද ?
“ ආ වළඳමු අපේ හාමුදුරුවනේ... වඩින්න මෙතෙන්ට.”
වැඩ හිඳීන්නට ආසනයක් නොමැති බැවින් හිමියන් අසුන් ගත්තේ බෝධි මණ්ඩපයෙහි පඩියෙහි ය.
කැඳ කෝප්පය ගෙන හිත සකසා ගන්නට කොතරම් වෙර දැරුවත් එය කරන්නට බොහෝ ම අපහසු විය.
එවේලේ නන්ද හිමියන්ට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිහිවිය. ඒ උත්තමයාණන් වහන්සේ
ලාදුරු ගම්මානයකට වරක් පිඬුසිඟා වැඩි සේක. ලාදුරු රෝගියෙක් තමන් සතු ව තිබූ පිළුණු
අග්ගලා කිහිපයක් තෙරුන් වහන්සේට පිළිගැන්වීය. කුණු වී තිබූ ඇඟිල්ලක් ඔහුගෙන් ගැලවී
කුණු සැරවත් සමග පාත්‍රයට වැටුණේ ය. එවේලේ මහා කාශ්‍යප රහතන් වහන්සේ සිතුවේ එදින
මැරෙන්නට සිටි ලාදුරු රෝගියා ගැන ය. රෝගියාගේ සිත දොම්නසට පත් වුවහොත් පින අඩුවී
ඔහු දුගතිගාමී විය හැකි ය. ජීවිතයේ මහා පිනක් නොකළ ඔහුට මේ වෙලාවෙහි මහා පිනක්
රැස්කර දිය යුතු ය.
මහ රහතන් වහන්සේ එම කුණු වූ ඇඟිල්ල ඉවත් කොට අර ආහාරය ඔහුට පෙනි පෙනීම වළඳන්නට වූ
සේක. එයින් ශ්‍රද්ධාව වැඩී ඔහු තුළ මහා කුසලයක් රැස්විය. ඒ හේතුවෙන් ඔහු මරණින් මතු
දිව්‍යරාජයෙක් ව දෙව්ලොව උපන්නේ ය.
තමන්ට කරන්නට සිදුවී ඇත්තේ ද එවැනි ම වැඩකි. නමුත් එය සිතනවාට වඩා බෙහෙවින් අපහසු
ය. කතන්දරවල හා ඒවා ප්‍රායෝගික ව කිරීමෙහි වෙනස ඇත්තේ මෙවැනි තැන්වල ය. නන්ද
හිමියන් තවමත් පුහුදුන් ය.
කෙසේ හෝ අමාරුවෙන් හිත සකසාගත් උන්වහන්සේ කැඳ උගුරක් වළඳන්නට වූහ. එහි මිරිස් රසක්
සමඟ සැර ගතියක් ද දැනෙන්නට විය.
මඳක් විමසිල්ලෙන් බැලූ විට මිරිස් කෑලි ද එහි තැනින් තැන ඇති බව දැක ගත හැකි විය.
“ උපාසක මහත්තයා මේකට මිරිසුත් දැම්මද ?
“මොකක්... , කෝ... නෑ. මං මොකටද කැඳවලට මිරිස් දාන්නේ ? “
“ඔය එහෙනම් මේ කැඳ එකේ මිරිස් කෑලි තියෙන්නේ. මගෙ කටත් දනවා...”
උපාසකට කාරණය වැටහුණේ එවිට ය.
තමන් පොල්ගාන විට ගැලවුණු පොල් කෑලි මිරිස් ගලේ ඇඹරුවේ ය. එවේලේ මිරිස් ගල සේදුවා
ද, නැද්ද නම් මතකයක් ඔහුට නැත.
“ ආ ... ඒ මං පොල් ගගා ඉද්දී පොල් කෑලි ගැලවුණා. ඉතින් මං පොල් කෑලි ටික කපලා කපලා
මිරිස් ගලේ අඹරල ගත්තා. ගලේ ඊයෙ රෑ අඹරපු මිරිස් කෑලි තියෙන්න ඇති.
වළඳන්න. මිරිස්නෙ. ආයෙ වහක් යැ..”
නන්ද හාමුදුරුවන්ට ඔක්කාරයටත් ආවේ ය. නමුත් එය උපාසකට පෙන්වා බැරි ය. අනිවාර්යයෙන්
ම ඔහු තමන් වහන්සේටත් දුශ්ශීල ලේබලය ගහනවා සත්ත ය.
දැන් නම් කැඳ එක වළඳන්නටත් බැරි ය. නොවළඳා ඉන්නටත් බැරි ය. දැන් කරන්නේ කුමක්ද ?
උන්වහන්සේගේ හිත තුළ මහත් දෙගිඩියාවකි. එමෙන් ම මහ පිළිකුලකි.
“ නන්ද හාමුදුරුවනේ.... ලොකු ස්වාමින් වහන්සේ කතා කරනවා. වඩින්නලු ඉක්මනට...”
වේලාවට දෙයියෝ බේර ගත්තා වගේ ය. ඒ දමිත සාමණේරයන්ගේ හඬ ය.
-
මතු සම්බන්ධයි |