
ධර්මාවබෝධයට අප්‍රමාදී වන්න
මාදෝවිට වජිරබුද්ධි නාහිමි
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර චරිතය විනිවිද දැකීමට ත්‍රිපිටක සාහිත්‍යය
උපයෝගී කරගත හැකි ය. සුද්ධෝදන මහරජුගේ සහ මායා දේවියගේ පුත්‍රයා ලෙස සිද්ධාර්ථ
කුමාරයා මිනිස් ලොව ජය ගත හැකි අතිඋතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ලෝක සත්ත්වයා ද
සංසාර දුකින් මුදාලීමට ක්‍රියා කළහ.
ලොව දෙව් මිනිසුන්ට හිතසුව පිණිස ක්‍රියා කරන එක පුද්ගලයකු පහළවන බවත්, ඒ තථාගත
සම්මා සම්බුදු රජාණන් වහන්සේ බවත් බුදුරදුන් වදාළ පුවතක් අංගුත්තර නිකායේ සඳහන් වේ.
සිද්ධාර්ථ කුමාරයා එකුන් විසිවන වියේ දී (19) අභිනිෂ්ක්‍රමණය කරන්නේ කුසලය
කුමක්දැයි (කිං කුසල ගවේසී) සෙවීම පිණිස ය. ආලාරකාලාම, උද්ධකරාමපුත්ත වැනි එකල විසූ
අභිඥා ධ්‍යානලාභි මුනිවරුන් සරණ යෑමෙන් සිදුහත් බෝසත්තුමා අපේක්ෂා කළ විමුක්ති සුවය
නොලැබෙන බව එතුමා දැන ගත්තේ ය. කෂාය වස්ත්‍ර පොරවා, කෙස් රැවුල් බහා තබා මවුපියන්
හඬා වැලපෙද්දී තමන් ගිහි ගෙයින් නික්ම පැමිණියේ ආර්ය පරියේෂණය පිණිස ය. ජාති, ජරා,
ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස් අතර දෝලනය වන සත්ත්වයා එම දුකින් මුදා
ගැනීම පිණිස ක්‍රියා කරන පිළිවෙත ආර්ය පරියේෂණ නම් වන බව මජ්ක්‍ධිම නිකායේ අරිය
පරියේෂණ සූත්‍රයේ සඳහන් වේ. සතර පෙර නිමිති දැක ගෘහ වාසයෙන් නික්ම ගිය පුවත එම
සූත්‍රයේ සඳහන් නොවීම ද විශේෂත්වයකි.
බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙකි. දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනත් බලවේගයක්
හෝ නොවේ. සාමාන්‍ය මිනිස් සිතක පැන නඟින අකුසල පාපක සිතිවිලි බුදුවරයකුගේ සිතක පහළ
නොවේ. සියලු කෙලෙස් මල දුරු කර ප්‍රභාෂ්වර සිතකින් යුතු නිසා බුද්ධ නම් වේ. මේ බව
පැහැදිලි වන්නේ බුද්ධ කාලයේ විසූ ද්‍රෝණ බ්‍රාහ්මණයා හා බුදුරදුන් අතර ඇති වූ
සංවාදයක් නිසාවෙනි.
ඔබ වහන්සේ දෙවියෙක් ද? බ්‍රාහ්මණයෙක් ද....? ගාන්ධර්වයෙක් දැයි දිනක් ද්‍රෝණ
බ්‍රාහ්මණයා බුදුරදුන්ගෙන් විමසී ය. දෙවි බ්‍රහ්ම ආදී පිරිස් තුළ විද්‍යමාන රාග,
ද්වේශ, මෝහ ආදි සිතිවිලි තමන් තුළ පහළ නොවන නිසා තමන් මිනිසුන් අතර උත්තරීතර
මිනිසකු බව අවධාරණය කළ බුදුරදුන් මඩ ගොහොරුවක හටගන්නා පියුම් මඩෙහි නොගැටී, මඩෙහි
නොඇලී උඩට ඉස්මතු වන්නා සේ සමාජය නමැති මඩ ගොහොරුවේ උපන් තමා ද එහි නොඇලී සිටින
නිසා සම්මා සම්බුදුවරයකු ලෙස දකින ලෙස ද්‍රෝණ බ්‍රාහ්මණයාට පැවැසූ ආකාරය අංගුත්තර
නිකායේ ද්‍රෝණ සුත්‍රයේ සඳහන් වේ.
ද්‍රෝණ බ්‍රාහ්මණයාට දුන් අවවාදය ඔස්සේ පෙනීයන්නේ බුදුරදුන් මහසමාජයෙන් අපේක්ෂා කළ
පද්මාකාර සමාජයක් දායාද කිරීම ය. සමාජය නම් මහ මඩ ගොහොරුවකි. බුද්ධකාලීන සමාජයේ
බොහෝ ධනවත් පිරිස පංච ඉන්ද්‍රියයන් පිනවමින් කාමසුඛල්ලිකානුයෝගි ජීවිතයක් ගත කළහ.
බුදුරදුන් අපේක්ෂා කළේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන්
පිරි මානව සමාජයක් දායාද කිරීම ය. බුදු දහම අන් ආගම් දහම් තුළින් වෙනස් වන්නේ
මිනිස් සිත පිළිබඳ මනා විග්‍රහයක් කර තිබෙන නිසා ය. සිත සහ සිතිවිලිවල ඇති
ක්‍රියාකාරිත්වය, සිත සහ මිනිසා පාරිශුද්ධතාව හෝ දූෂණය වීම කෙරෙහි බලපාන ආකාරය
පළමුවරට ලොවට දේශනා කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි.
කිළිටි වූ මල හටගත් වස්ත්‍රයකට රජකයකු විසින් නිල් කහ හෝ රන්වන් පාට, මදටිය පාට
පිණිස යම් භාජනයක දමා තබන්නේ නම්, එම වස්ත්‍රයෙහි පාට මනාව රඳා නොපවතින බව ද, එයට
හේතුව අදාළ වස්ත්‍රය අපිරිසුදු නිසාවෙන් බව ද මජ්ක්‍ධිම නිකායේ වත්ථුපම සූත්‍රයේ
සඳහන් වේ.
බුදු දහම හේතු - ඵලවාදී දහමකි. සිත කිළිටිවන හේතු කාරණා ද බුදු හිමියෝ පැහැදිලි කළ
සේක. ලෝභ, දෝෂ, මෝහ යන ප්‍රධාන අකුසල මූල තුනට අමතරව ක්‍රෝධය, බද්ධ වෛරය (උපනාහි),
ගුණමකු බව (මක්ඛි), විවාදයට කරුණු සෙවීම (පලාසි) ඉරිසියාව, මසුරුකම, සටකපටිකම,
මායාව, හිරි ඔතප්ප හෙවත් ලජ්ජාව - භය නොමැතිකම සිත දූෂණය වීම සඳහා ප්‍රබල ලෙස බලපාන
බව අභිධර්ම පුද්ගල පඤ්ඤත්ති පකරණයේ සඳහන් වේ.
බුද්ධ ශබ්දයේ අර්ථය නම් “අවබෝධය”යන්නයි.
සිද්ධාර්ථ කුමරු නේරංජනා නදී තීරයේ බෝධි මණ්ඩපයේ දී කුමක් අවබෝධ කර ගත්තේ ද යත්
උතුම් ආර්ය සත්‍යය සතර අවබෝධ කරගත් බැවින් බුද්ධ නම් විය. දුක්ඛ, සමුදය, නිරෝධ,
මග්ග ඵල නම් වූ මෙම චතුරාර්ය සත්‍යය ධර්මය සම්බුදු දහමේ හදවත වැන්නේ ය. බුදුන්
දැක්ම යනු ධර්මය දැක්ම වේ.
තෙල්, මල්, පහන්, සුවඳ දුම් පුදා බුදුරදුන් දැකිය නොහැකි ය.
“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද, ධර්මය නුවණින් අවබෝධ කර ගනී ද
හෙතෙම බුදුරදුන් දක්නා බව මජ්ක්‍ධිම නිකායේ මහා හත්ථි පදෝපම සූත්‍රයේ සඳහන් වේ.
සම්බුදුරදුන් අවබෝධ කර ගෙන දේශනා කළ ධර්මයේ සඳහන් වන්නේ පුද්ගලයා සංසාරගත දුකට සහ
සමාජ දුකට භාජනය වෙන ආකාරය යි. එම දුක ජනිත වන්නේ තණ්හාව නිසාවෙනි. මිනිසා බහුල
වශයෙන් කාම තණ්හාවට ගිජු වී වාසය කරයි. පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇබ්බැහිවීම තුළ
සදාකාලික ව ජීවත්වීමට කල්පනා කරයි. මේ නිසා භව තණ්හාවේ ගොදුරක් බවට සත්ත්වයා
පරිවර්තනය වේ. මෙම සසර දුකින් මිදීමේ අභිප්‍රාය තහවුරු වන්නේ නිර්වාණය අවබෝධ
කරවීමෙනි. නිබ්බාන යනු දුක්ඛ නිරෝධ සත්‍යයයි. බුදුදහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වූ
නිවන අවබෝධ කර ගැනීමට අදාළ මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වේ. මෙම මාවත සීල,
සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සමන්විත වේ. ඉහත සඳහන් චතුරාර්ය සත්‍යය අවබෝධ
කරගෙන එය මහා කරුණාවෙන් ලෝක සත්ත්වයාට දේශනා කොට, සංසාර දුකින් මිදෙන මාවත හෙළි කළ
නිසා බුද්ධ නම් වන බව පුග්ගල පඤ්ඤත්ති පකරණයේ සඳහන් වේ.
ත්‍රිපිටකයෙන් හෙළිවන අපේ බුදුහාමුදුරුවෝ මුල, මැද, අග යහපත් ධර්මයක් දේශනා කළ සේක.
මහා සමුද්‍රයේ ජලය කවර තැනකින් ගෙන බැලුව ද එකම ලවණ රසයෙන් යුක්ත වේ. එපරිදි
සම්බුදු රදුන් විසින් දේශනා කරන ලද ධර්මය එකම විමුක්ති රසයෙන් යුක්ත වේ. එසේම තමන්
වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය ගැඹුරු ය. ශාන්ත ය, ප්‍රණීත ය, පණ්ඩිතයන් විසින්
දැකිය යුතු දහමක් බව ද මජ්ක්‍ධිම නිකායේ අරිය පර්යේෂණ සූත්‍රයේ සඳහන් වේ.
ලෝකෝත්තර ධර්ම විෂයයෙහි බුදුරදුන්ට විශේෂ ගුරුවරයකු නොවීය. දෙවි මිනිසුන් සහිත ලෝක
විෂයයෙහි තමන් හා සමාන කෙනකු ද නොවීය. සියලු කෙලෙස් ගිනි නිවා දමා අරහත් ඵලය
සාක්ෂාත් කළ තමන් වහන්සේ නිරුක්ත වූ ශාස්තෘවරයා වන බවත්, මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ
කුමාර සූත්‍රයේ සඳහන් වේ.
බුදුරදුන් දැකීමට ශ්‍රද්ධා චෛතසිකය ඉස්මතු විය යුතු ය. එය ද අමූලිකා ශ්‍රද්ධාව නොව
ප්‍රඥාව සමඟ මිශ්‍ර වූ ආකාරවතී ශ්‍රද්ධාව විය යුතු ය. බුදුරදුන් පන්සාළිස් වර්ෂයක්
(45) මුළුල්ලේ දේශනා කළ ධර්මය අද වන විට ත්‍රිපිටකය ලෙස භාවිත වේ. සූත්‍ර පිටකය,
විනය පිටකය, අභිධර්ම පිටකය, යන ත්‍රිපිටකය තුළ විද්‍යමාන වන්නේ බුදුරදුන් වදාළ
ධර්මයයි. අසූහාර දහසක් ධර්මස්කන්ධවලින් හෙළිවන්නේ ද අපේ බුදුහාමුදුරුවන්ගේ උත්තරීතර
සම්බුද්ධ ඥානය යි.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන් දමනය කළ බුදුරදුන් අන් අයට ද
ඉන්ද්‍රිය දමනය පිණිස දම් දෙසූ සේක. කෙලෙස් බර දුරු කළ, සංසාර බර බහා තැබූ,
අභිමතාර්ථ සාධනය කර ගත් බුදුරදුන් අන් අයගේ ශාන්තිය, සැනසීම පිණිස දම් දෙසූ සේක.
සැබැවින් ම අප ගෞතම බුදුරදුන් යථාවාදී තථාකාරී නම් වන සේක. කරන දේ කියන, කියන දේ
කරන මෙම යථාවාදී තථාකාරී ගුණය බුද්ධ නාමය ලෝක පූජිත වීමට ඉවහල් විය. බුදුවරු ධර්ම
මාවත දේශනා කරන සේක. එහි ගමන් කිරීම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ වගකීම වේ. ඒ බව
“තුම්මේහි කිච්වං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා” යන පෙළ පාඨයෙන් හෙළි වෙයි. අප්‍රමාදය සහ
කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් බුදුරදුන් වදාළ මාර්ග බ්‍රහ්ම චර්යාවේ ගමන් කළ හැකි බව
බුදුරදුන් වදාළ සේක. මාවත විවර වී ඇත. මෙලොව සුබසිද්ධිය මෙන්ම පරලොව ජයගෙන සංසාර
දුකින් නිදහස් වීමට තිලොවග බුදුරදුන් සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම සහිත තෙමඟුල්
සිහිපත් කරන පින්බර වෛශාඛ සමයේ සියල්ලෝ අධිෂ්ඨාන කර ගත යුතු ය. |