[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත්වග සෙත් සැදු අසමසම ශාස්තෘවරයාණෝ

සත්වග සෙත් සැදු අසමසම ශාස්තෘවරයාණෝ

බෝසතාණන් වහන්සේට බුද්ධත්වය පිළිබඳ මූල බීජය සිද්ධි ඇති කරනු ලැබුවේ මව්තුමිය විසිනි. මුහුදු ගමනක් අතරතුර ගමන් කළ නැව බිඳී  මුහුදු බත් වූ විට තම මෑණියන් කර තබා ගෙන පිහිනා මවගේ ජීවිතය බේරාගත් අවස්ථාවේ තම පුතා අමතා

“පුතේ උඹ මතු බුදු වෙයන්” යයි ප්‍රාර්ථනා කළ බෝසත් මෑණියෝ එදා තම පුතාගේ මනස තුළ බුදුබව පිළිබඳ පළමු අපේක්ෂාව ඇති කළා ය.

එම අවස්ථාවේ බෝසතුන්ගේ සිත්හි ලා ධාරණය වූයේ, " මම බුදු බව අවබෝධ කර ගෙන අන් අයට ද අවබෝධය ලබා දෙමි. මම මේ සසරින් මිදී අන් අය ද සසර කතරින් මුදවාලමි. මම මේ සසර තරණය කොට අන් අය ද සසරින් එතෙර කරවමි" යනුවෙනි. මේ සසර නම් වූ රෝගය මහා බියජනක ය. බෝසතාණන් වහන්සේ අනන්ත වූ සසර ගමනට පිවිසෙන්නේ මේ උතුම් සිතිවිල්ල සිත දරා ගෙන ය.

එතුමාට සසර ගමනේ දී හමුවන දීපංකර බුදුරජාණන් වහන්සේ එකල සුමේධ තාපස නමින් සිටි බෝධිසත්වයන් වහන්සේට නියත විවරණ ලබා දෙන්නේ මතු ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ස්ථිර වශයෙන් ප්‍රකාශ කරමිනි. මින් තවත් ධෛර්යවත් වන උන්වහන්සේ අනන්ත වූ සංසාර ගමනෙහි නොයෙකුත් ආත්ම භාවයන්හි ඉපිද බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කොට තව්තිසා දෙව්ලොව ඉපිද පස්මහා බැලුම් බලා (කාලය, දීපය, දේශය, කුලය, මව්) දඹදිව කිඹුල්වත්පුර නුවර සුද්ධෝදන රජුට දාව මහාමායා දේවිය කුස පිළිසිඳ, දස මස් ඇවෑමෙන් ලුම්බිණි සල් උයනේ දී වෙසක් පුන් පෝ දින මව්කුසින් බිහි ව අභීත ප්‍රකාශයක් කළේ ය.

එම උතුම් අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා විසිනම වැනි වියේ දී සියලු සැප අතහැර මහාභිණිෂ්ක්‍රමණය කොට තවුස් පැවිද්දෙන් පැවිදි ව, වසර හයකටත් වැඩි කාලයක් ගුණදම් පූර්ණය කොට, විදසුන් වඩා ප්‍රඥා ලෝකයෙන් සියලු කෙලෙසුන් මුලින් සිඳ දමා තිස්පස්වන වියේ දී උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගත්හ.

වසර 45ක පමණ වටිනා බුද්ධ ජීවිතය තුළින් මිනිස් ප්‍රජාව උදෙසා අති විශිෂ්ට සේවාවන් සිදු කරමින් අනන්ත අප්‍රමාණ දෙව් මිනිස් සමූහයා සසර කතරෙන් එතෙර කර නිවන් මඟ සෑදූ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කුසිනාරානුවර උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පා වදාළහ.

මේ ලෝකයෙහි පහළ වූ ආගමික ශාස්තෘන් අතර ශ්‍රේෂ්ඨතම නායකයා වූයේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ දෙසූ දහම අතිශය ප්‍රායෝගික ය. තමන් වහන්සේ විසින් ම අවබෝධ කරගත් දහමකි. උන්වහන්සේ දේශනා කළ ඒ දහමෙහි රහස් නැත. සැඟවුණු තැන් නැත. ඕනෑම කෙනකුට අනුගමනය කළ හැකි, අවබෝධ කළ හැකි දහමකි.

එපමණක් නොව බුදුරජාණන් වහන්සේ ගත කළේ සාමාන්‍ය ජීවිතයකි. සාමාන්‍ය ජනයා අතර ගැවසෙමින්, ඔවුන්ගේ මෙලොව, පරලොව ජීවිත සුවපත් කර ගැනීම සඳහා උන්වහන්සේ දහම් දෙසූහ.

බුදුරජාණන් වහන්සේ කරුණාව, දයාව, මෛත්‍රිය දැක්වූයේ සියලු සතුන් කෙරෙහි ය. එය මිනිසුන්ට පමණක් සීමා නොවී ය.

“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා” සියලු සත්වයෝ සුවපත් වෙත්වා, උන්වහන්සේගේ පැතුම එලෙස ය. ජාති, කුල, ආගම් හෝ දුප්පත් පෝසත් භේදයක් හෝ බුදුරදුන් තුළ නොවී ය.

බුදුරජාණන් වහන්සේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් නො වූහ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ උත්තරීතර මනුෂ්‍යයෙකි. එක්තරා බමුණකු වරක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ‘බුද්ධ‘ ලෙස හඳුනාගත යුතු බව ඔහුට ප්‍රකාශ කළහ.

භාරද්වාජ බමුණා පැවිදි කළේ උන්වහන්සේ තුළ තිබූ අනන්ත කරුණාව නිසා ය. තමන් වහන්සේට බැණ අඬගැසූ, දෝෂාරෝපණය කළ, අභියෝග කළ, අපහාස කළ, උපහාස කළ විවිධ පුද්ගලයන් වෙත බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණාව ශ්‍රාවක, ශ්‍රාවිකාවන් වූ සෑම කෙනකුට ම මහඟු ආදර්ශයකි. අක්කෝධ භාරද්වාජ, ආලවක, මාගන්දි වැනි අය කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණාව මෛත්‍රිය එදත්, අදත්, කවදත් සමාජයට මහඟු ආදර්ශය.

මේ වෙසක් සමය තුළ වර්තමාන සමාජයේ වෙසෙන අප කාටත් බුදුරදුන් තුළ තිබූ එම ගුණ සමුදාය අතිශය වැදගත් වේ. කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ධෛර්යය, අධිෂ්ඨාන ශක්තිය, ආත්ම පරිත්‍යාගය, නිරාහංකාර බව, සත්‍යවාදී බව, ඉවසීම, මෘදු බව ලෝකයාට අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ම පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ තුළ තිබූ ඒ අනූපමේය ගුණ සමුදාය සෑම දෙනාගේ ම ජීවිතවල එකම ආදර්ශය විය යුතු ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]