[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිහි කර සම්බුදු ගුණ කඳ සමුදා - පින් පුරවා ගමු දිවි මඟ සරසා

සිහි කර සම්බුදු ගුණ කඳ සමුදා - පින් පුරවා ගමු දිවි මඟ සරසා

සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ලෝක සත්ත්වයාට හිත සුව පිණිස ම සිදු වන අති දුර්ලභ සිදු වීමකි.

ධර්මයේ සඳහන් වන්නේ ලොවට බුදුවරයෙක් පහළ වීමට වසර දහසකට මත්තෙන් බුද්ධ කෝලාහලයක් සිදු වන බව යි. සුද්ධාවාස දෙවිවරු බ්‍රහ්මාභරණයෙන් අලංකාර වී බ්‍රහ්ම හිස් වෙළුමක් හිසින් දරාගෙන ප්‍රීති සොම්නස් ඇති ව බුදු ගුණ කියමින් ‘මෙයින් වසර දහසක් ඇවෑමෙන් ලොව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන බව’ මිනිස් ලොව සැරිසරා සැළ කරති. මෙය බුද්ධ කෝලාහලය නම් වේ. ඒ බුද්ධ කෝලාහලයෙන් වසර දහසක් ඇවෑමෙන් ලොව බුදුරජාණන් වහන්සේ පහළ වේ. එදා දීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභියස දී අනාගතයේ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගන්නා බවට නියත විවරණ ශ්‍රී ලැබූ සුමේධ තාපසයන් වහන්සේට ඒ බුදුරජාණන් වහන්සේගෙන් සතර පද ගාථාවක් අසා නිවන් සාක්‍ෂාත් කර ගැනීමට තරම් පුණ්‍ය ශක්තියක් තිබිණි. එහෙත් ඒ හස්තගත නිවන් සැප පසෙක ලා ලොව දුකට පත් අප්‍රමාණ සත්ත්වයන් වෙනුවෙන් මේ සසර ගමනට එක් වනු තරම් උන්වහන්සේගේ හෘදය කරුණා ගුණයෙන් ශක්තිමත් විය. එතැන් පටන් සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට උන්වහන්සේ නොකළ පරිත්‍යාගයක් නැති තරම් ය. පාරමී ශීර්ෂයෙන් සතර මහා සාගරයේ ජලය පරදවා ස්වකීය ශරීරයේ රුධිර මාංශය දන් දුන්හ. ශරීර මාංශය දන් දුන් ප්‍රමාණය මහපොළොවේ පස් ඉක්මවන සුළු ය. රාජ්‍යය පතා ආ අය හට මහමෙර පර්වතය පරදවමින් උසට ගොඩ ගැසිය හැකි තරම් ඔටුනු පළන් හිස් දන් දුන්හ. සිවි මහරජ ආදී ආත්ම භාවයන්හි මෙලොව දෑස් නොපෙනෙන්නවුන් විත් තමන්ට ලොව බලනු පිණිස දෑස් ඉල්ලා සිටි අවස්ථාවල දී ඔවුන්ගේ දුකට පිහිට වනු කැමැති මහබෝසතාණෝ අහසේ තරුකැට ගණන ඉක්මවා පෙනි පෙනී තිබූ ඇස් දන් දුන්හ. වෙසතුරු අත්බැව්හි දී සත් වාරයක් සිත් පිත් නැති මහපොළොව කම්පා කරවමින් දාන පාරමිතාව මස්තක ප්‍රාප්ත කළහ. එසේ මහපොළොව පවා කම්පා කරවන පරිද්දෙන් ගුණ ධර්ම පුරන ලද භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන බව අපට සිහි විය යුතු ය.

තුසිත දිව්‍ය ලෝකයේ ඉපිද දෙවිවරුන් විසින් කරන ලද ආරාධනා ඇති බෝධිසත්ත්වයෝ කාලය, දීපය, දේශය, කුලය, මව් යන පංච මහා විලෝකනයන් සිදු කර සුදොවුන් මහරජුට දාව මහාමායා දේවී කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ මෙලොවට බිහි වූ පුණ්‍යවන්ත වෙසක් පුන් පොහෝ දින දසදහසක් සක්වල අනේකවිධ ප්‍රාතිහාර්ය සිදු විය. සියලු ලෝවැසි සත්ත්වයන් වෙත විමුක්ති රසය ගෙන දෙන්නා වූ ඒ මහා බෝධිසත්ත්වයන්ගේ පහළ වීම ලොව පිළිගත්තේ සොම්නස දසත පතුරුවා හරිමිනි. නිරයේ ගිනි දැල් නිවී ගියේ ය. දෑස් අන්ධ වූවන්ට පෙනීම ලැබිණි. ගොළු වූවන්ට කථා කිරීමට හැකි විය. කොරුන්ට කොර නොවූවන් සේ ඇවිදිය හැකි විය. මෙසේ ලොව පුරා අනේකවිධ ප්‍රාතිහාර්යයන් සිදු වෙමින් ලොවට පින්වත් පුත් කුමරකු බිහි වූ ඒ වෙසක් පුන් පොහෝ දින මංගල්‍යයක් වන්නේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ අරිය පරියේසන සූත්‍රයේ දේශනා කරන ලද්දේ තමන් වහන්සේ ‘කිං කුසලගවේසී’ ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය සොයමින් සැරි සැරූ බවයි. ඇසළ පුන් පොහෝ දිනයක සියලු සැප සම්පත් අතහැර මහබිනික්මන් කළ මහ බෝසතාණෝ ශරීරයට අප්‍රමාණ දුක් දෙමින් මහාපධන් වීර්ය වැඩූහ. එසේ ශරීරයට දැඩි දුක් දීම නිවැරැදි ප්‍රතිපදාව නොවන බව උන්වහන්සේ ම වටහාගෙන යළි මධ්‍යම ප්‍රතිපදාවට එළඹියහ.

එදා වෙසක් පුන් පොහෝ දිනය යි. යස කුලපුත්‍රයාගේ මව් තොමෝ සුජාතා සිටු දියණිය තමාගේ දරු සම්පත්තිය නිසාවෙන් අජපල් නුග වෘක්‍ෂයේ අධිගෘහිත දිව්‍ය පුත්‍රයාට දන් පුදන දිනය යි. හිමිදිරි උදෑසනින් නේරංජනා ගඟෙන් පැන් පහසු වූ බෝසතාණන් වහන්සේ අජපල් නුග වෘක්‍ෂ මූලයෙහි මඳක් විවේකී වූහ. සුජාතාවගේ දාසිය නුග වෘක්‍ෂය මුල පිරිසුදු කර දන් පිදීමට සුදුසු සේ සකස් කිරීමට පැමිණියා ය. එතැන්හි වැඩ සිටිනා බෝසතාණන් වහන්සේගේ බ්‍රහ්මුජ්ජුගත ශරීරය දක්නා දා දාසිය සිතුවේ අද දින දානය පිළිගැනීමට වෘක්‍ෂ දේවතාවා ගසෙන් බිමට සැපත් වී ඇති බව යි. ඇය වහ වහා පෙරළා දිව ගොස් සුජාතාවට සැළ කළේ ‘ආර්යාවෙනි, අද නුඹගේ දානය පිළිගැනීමට වෘක්‍ෂ දේවතාවා ගසෙන් බිමට සැපත් ව වැඩ සිටියි’ යනුවෙනි. සුජාතාව තමන්ගේ කිරිපිඬු දානය වඩාත් සැලකිල්ලෙන් සකස් කළා ය. බුදුවන උතුමන් වෙනුවෙන් දින එකුන් පණසක් පුරාවට දරාගත හැකි දානයක් පිළියෙළ වන බැවින් සතරවරම් දෙව් මහරජවරු ඒ කිරිපිඬු සැකසීමට ආරක්‍ෂා සංවිධාන කළහ. නොයෙක් පෙළහර මධ්‍යයේ පිළියෙළ වූ ක්‍ෂීරපායාසය රන් තැටියේ බහා සිදුහත් බෝසතාණන් වහන්සේට පිළිගැන්වූ සුජාතාවගේ පැතුම වූයේ ‘මාගේ මනදොළ යම් සේ සමෘද්ධ වී ද, නුඹ වහන්සේගේ ද මනදොළ එසේ ම සමෘද්ධ වේවා’ යනුවෙනි.

බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගෙන වැළඳීමට සූදානම් වන විට ඝටීකාර මහාබ්‍රහ්මයා විසින් පිළිගැන්වූ අෂ්ටපරිෂ්කාර අතරෙහි තිබූ මේ දක්වා පරිභෝග කළ පාත්‍රය අතුරුදන් වී තිබිණ. එහෙයින් ඒ ක්‍ෂීරපායාසය පිළිගැන්වූ රන් තැටියේ ම තිබිය දී පිඬු එකුන් පණසක් කොට දින එකුන් පණසකට අදිටන් කොට වැළඳූහ. අනතුරුව නේරංජනා නදියෙන් පැන් වළඳා ඒ රන් තැටිය නදියට දමා අදිටන් කළේ තමන් වහන්සේගේ අභිමතාර්ථ සමෘද්ධ වන්නේ නම් මේ රන් තැටිය උඩුගං බලා ගමන් කළ යුතු බව යි. ආශ්චර්යවත් ලෙස රන් තැටිය උඩුගං බලා ගමන් කර ගං දිය පතුළට කිඳා බැස නා ලොවට ගියේ මහාකාල නාගරාජයාගේ භවනෙහි පෙර තුන් බුදුවරයන් වහන්සේගේ ම රන් තැටි මත්තෙහි පිහිටියේ ය. එසේ පිහිටන හඬින් අවදි වූ නිදා සිටි මහාකාල නා රජු බොහෝ ආයුෂ ඇති අයෙක් බැවින් ‘අදත් බුදු කෙනෙක් පහළ වූයේ’ යන සිතින් ඒ බුදුරජාණන් වහන්සේ හෝ හමු වී ධර්ම ශ්‍රවණය කළ යුතු යැයි සිතයි. එහෙත් බොහෝ ආයු කාලයක් ඇති ඔහු අවදිව පැමිණෙන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවී අවසන් ය.

සුජාතාවගේ දානය වැළඳූ බෝසතාණන් වහන්සේ දෙවියන් විසින් මවන ලද මාර්ගය දිගේ බෝධි මණ්ඩලය වෙත වැඩම කළහ. අතරමඟ දී බුදුවන උතුමන් කෙනකුන්ට ආසන පූජා කිරීමට පෙරුම් දම් පුරා සිටි සොත්ථිය බමුණා විසින් පිදූ කුසතණ අටමිට පිළිගෙන බෝමැඩ පෙරදිග බලා අතුරන විට තුදුස් රියන් දිග පළල ඇති වජ්‍රාසනයක් මැවුණි. ඒ මත්තෙහි වැඩ හිඳ තමන් වහන්සේගේ ශරීරයේ ලේ, මස් සිඳී වියළී ගියේ නමුදු බුද්ධත්වය සාක්‍ෂාත් කර මිස නොනැඟිටිමි ය යන චතුරංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයෙන් වැඩ හුන්හ. මෙසේ බුදුපියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා බෝ මැඩ දී සවාසන සකල ක්ලේශයන් විහත විධ්වංසනය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද මේ අති උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ දී ම ය.

පන්සාළිස් වසරක් පුරාවට අසංඛෙය්‍ය ගණන් අප්‍රමාණ සත්ත්වයන්ට චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ධර්ම දේශනා කළ ඒ මහා කාරුණිකයාණෝ නිවන් අවබෝධයට සුදුසු සත්ත්වයන් උදෙසා යොදුන් ගණන් දුර එකලාව වැඩි සේක.

මෙසේ පන්සාළිස් වසරක් පුරාවට ලෝකාර්ථ චර්යාවේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ බුදුකිස නිමවා වෙසඟ පුන් පොහෝ දින පිරිනිවි සේක.

බුදු තෙමඟුල සිහි කරන වෙසඟ දින අප්‍රමාදී ව ගුණ දම් පුරත්වා!

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]