[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වැටහීමේ වෙනස . . .

වැටහීමේ වෙනස . . .

පුද්ගල වේමත්තතාව යමක් වටහා ගැනීමට ඇති සහජ සීමාවන් ය. දිවට ව්‍යංජන රස ක්ෂණික ව හඳුනාගත හැකිවාක් මෙන් ම ඇතමකුට ක්‍ෂණික ව යමක් හඳුනා ගැනීමට පුළුවන.

“ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සූපරසං යථා” එහෙත් හැන්දකට සුපයන්ගේ රසය කිසිවිටෙකත් හඳුනාගත නොහැක්කාක් මෙන් දීර්ඝ කාලයක් තුළ ඇතැමකුට බුද්ධිමතුන්ගේ ආශ්‍රය ලැබුණ ද ඔහුට කිසිදු අවබෝධයක් ලබා ගැනීමට නොහැකි ය.

“නසෝ ධම්මං විජානාති දබ්බී සුපරසං යථා”

සමාජය තුළ දක්නට ලැබෙන විවිධ බුද්ධිමට්ටම් ඇති පුද්ගලයන් සිව් දෙනකු පිළිබඳ ව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි සඳහන් වේ. උසස් ප්‍රඥාවක් ඇති පුද්ගලයා, මධ්‍යම ප්‍රමාණයේ වැටහීමක් සහිත පුද්ගලයා, අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති පුද්ගලයා, කිසිවක් තේරුම් ගත නොහැකි පුද්ගලයා යනු ඒ පුද්ගලයන් සිව් දෙනා ය.

මේ විවරණයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ වටහා ගැනීමේ විෂමතාව මැනවින් පැහැදිලි වේ.

දිනක් බුදුන් වහන්සේ වෙත පැමිණි අසිබන්ධක පුත්තගාමිණී නම් පුද්ගලයා සර්ව සත්ව හිතානුකම්පි බුදුන් වහන්සේ කෙසේ නම් කෙනකුට සකසා ධර්මය දේශනා කරද්ද? තවත් කෙනකුට සකසා ධර්මය දේශනා නොකරත්දැයි විමසීය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බුදුරදුන් උපමා භාවිත කරමින්, යම්කිසි, ගොවියකුට ඉතා සරුසාර, මධ්‍යම ප්‍රමාණයේ තරමක් නිසරු, ඉතාමත් ම නිසරු ගණයේ කෙත් තුනක් තිබේ නම්, ගොවියා පිළිවෙලින් ඉතා සරුසාර කෙත වපුරන්නාක් මෙන් භික්ෂු, භික්ෂුණී යන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස තමන් වහන්සේ පිහිට කොට වෙසෙන බැවින් පළමුව ඔවුන්ට සකසා දම් දෙසන බවත්, දෙවනුව මධ්‍යම ප්‍රමාණයේ තරමක් සරු කෙත වපුරන්නාක් මෙන් තමා පිහිට කොට වෙසෙන උපාසක උපාසිකාවන්ට ධර්මය දේශනා කරන බවත්, යටත් පිරිසෙයින් ගවයින්ටවත් ආහාර වේවා යනුවෙන් සලකා ඉතා ම නිසරු කෙත වපුරන්නාක් මෙන් එක් දහම් පදයක්වත් දැන ගන්නේ නම්, එය යහපත පිණිස පවතී යැයි සලකා අන්‍ය තීර්තක, ශ්‍රමණ, බ්‍රාහ්මණවරුන්ට ධර්මය දේශනා කරන බවත් ප්‍රකාශ කළහ.

මේ අනුව ධර්මය දේශනා කිරීමේ දී විමුක්තිය ම අපේක්ෂා නොකළ යුතු බවත්, කුමන හෝ සරල අවබෝධයක් පමණක්වත් දීම ප්‍රමාණවත් බවත් පැහැදිලි වේ.

පුද්ගලයන් අතර විවිධ දැනුම් මට්ටම් පවතින අතර ක්ෂණික ව ධර්මාවබෝධය ලබා ගැනීමට අපහසු බව බුදුසමයේ පිළිගැනීම යි. ඒ නිසා මේ පුද්ගල වේමත්තතාව සම්බන්ධයෙන් අවධාරණය යොමු කළ බුදුරදුන් පුණ්‍ය ක්‍රියාවල නිරතවීමට පුද්ගලයාට ඉඩ සලසා තිබේ.

අප ද සමාජය තුළ ජිවත් වෙද්දී ඒ ඒ පුද්ගලයාගේ දැනුම් මට්ටම් හොඳින් තේරුම් ගෙන මනා

අවබෝධයෙන් යුක්ත ව ජීවත්වීම ඉතා වැදගත් වේ.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]