දුරුතු පුර
පසළොස්වක පෝ දා 2025-01-13
සිත පිරිසුදු කරමු
සම්බුද්ධ දේශනාව නිති පිරිසුදුකම අගයන
දහමකි. පිරිසුදුකම උගන්වන දේශනාවකි. භෞතික සේ ම ආධ්‍යාත්මික
පිරිසුදු බව ද ශ්‍රී සද්ධර්මය තුළ සාකච්ඡාවට ගැනේ. අවධාරණය
කෙරේ. බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය වන නිවන් මඟ සාක්ෂාත් කිරීමේ
පළමු පියවර ඇරඹෙන්නේ සිත පිරිසුදු කිරීමෙනි.
ක්ලීන් ශ්‍රී ලංකා නම් රටේ වටිනාකම්, හර
පද්ධතීන් සුරැකීමේ ඉතා කාලෝචිත වැඩසටහනක් පිළිබඳ මේ දිනවල නිතර
සාකච්ඡාවට බඳුන් වේ. විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. රටේ
භෞතික පිරිසුදුකම මෙන් ම ජනතාවගේ ආකල්ප පිවිතුරු කිරීම,
නිරවුල් මනසක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණුූ අතර වේ.
මිනිසුන්ගේ ආකල්ප පිරිසුදු වනවා නම්, මනස
නිරවුල් නම් ඒ සමාජයේ භෞතික පිරිසුදු බව නිතැතින් ම ගොඩනැඟේ.
රටක්, ජනතාවක් ලෙස අපි සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු ජීවිතයකට
කැමැත්තෙමු. එවැනි රටක් ගොඩනැඟීමේ වගකීම ද අප සතු ය. ඒ තැනට
සිත සකසන බෞද්ධාකල්පයන්ගෙන් යම් කෙනෙක් පොහොසත් නොවන්නේ නම් හේ
බෞද්ධ නාමයට ද නුසුදුස්සෙකි.
මිනිසා ඇතුළු සමස්ත පරිසරයේ ම සුරක්ෂිත බව
ඇති කරන, පස් පවින් වැළකීමේ ප්‍රතිපදාව සුරැකීමේ ස්ථාවරයක යම්
කෙනෙක් සිටිනවා නම් ඒ ආකල්පය ඒ පුද්ගලයා සේ ම සමාජය ද ඔසවා
තබයි.
සමාජයේ යහපත තීරණය කරන්නේ පුද්ගල විනයයි.
මව්පියන් දරුවන් කෙරෙහි. දරුවන් මව්පියන් කෙරෙහි දක්වන ආකල්ප
යහපත් වන තරමට ඒ පවුලේ විනය සුරැකේ. සාමය, සතුට ඉතිරේ.
ගුරුවරුන්, ශිෂ්‍යයන් කෙරෙහි, ශිෂ්‍යයන්,
ගුරුවරුන් කෙරෙහි දක්වන යහපත් ආකල්පය ඔවුනොවුන්ගේ කාර්යභාරය
ශක්තිමත් කරයි. මෑත ඉතිහාසය තුළ ඇතැම් පාසල් දරුවන්ට වරදක දී
සුළු දඬුවමක් කිරීම පවා ගුරුවරයාට දඬුවම් විඳීමට හේතු වූ
අවස්ථා වාර්තා වුණි. ශිෂ්‍යයා තුළ ගුරු ගෞරවය නොවී ම, ගුරුවරයා
ශිෂ්‍යයා කෙරෙහි කාරුණික නොවී ම නිසා ප්‍රශ්න ගැටලු මතුවූ
අවස්ථා ද බොහෝ ය. ඒ තුළ ගිලිහී යන්නේ පිරිසුදු චරිතවත්
පුරවැසියෙක් බිහිවීමේ අවකාශය යි.
ස්වාමි භාර්යාවන් තුළ එකිනෙකා කෙරෙහි
විශ්වාසය රැක ගත යුතු ය. එම ආකල්පය ක්‍රියාත්මක නොවේ නම් පවුල
දෙදරා යෑමේ මූලාරම්භය බවට පත්වෙයි.
ස්වාමි - සේවක, ගිහි පැවිදි කණ්ඩායම් අතර ද
ඔවුනොවුන් වෙත දක්වන කරුණාව, දයාව, ගෞරවය, බිඳී ගිය තැන
අවිශ්වාසය, සිත් බිඳීම් ඇතිවී සම්බන්ධතා දෙදරා යයි. බොහෝ
ව්‍යසනයන් ඒ තුළ නිර්මාණය විය හැකි ය. මිතුරු මිතුරියන් අතර වන
විනය ද මෙපරිදි ම ය.
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී මේ
සමාජ කණ්ඩායම්වලට එකිනෙකා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක්
හඳුන්වා දී තිබේ. ඒ යුතුකම් ඉටුකිරීමෙහිලා වන ආකල්පය වඩා
වර්ධනය වීම තුළ පොහොසත් රටක ඇරඹුම සේ ම පැවැත්ම ද තහවුරු වනු
ඇත.
බෞද්ධාකල්ප ජීවිතයට ගලපා ගත් පුද්ගලයා
නීතිගරුක ය. රහසින් හෝ නීතියට පටහැනි නොවේ. ඔහු තුළ අසංවර ගති
පැවතුම් නැත. තමන් ජීවත්වන පරිසරය අපවිත්‍ර නොකරයි. ගහ - කොළ,
ඇල - දොළ විනාශ නොකරයි. අනිසි තැන කෙළපිඩක් හෝ නොදමයි. වෛරී
චේතනාවෙන් දුරු වෙයි. අනලස් වෙයි. ලෝභ, ද්වේෂ, මෝහ
සිතිවිලිවලින් අන්ධ නොවෙයි. අනුන්ටත් අනර්ථයක් නොවී තමන්ටත්
අනර්ථයක් නොවී ජීවිතය ගෙන යයි.
රටක් සුබවාදී ව ගොඩනඟන්නේ මේ පිරිසුදු
ආකල්පයන් ය. |