[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හුස්ම ගැනීම අවදිමත් ව දකින්න

සුවපත් මනසක් සුවබර දිවියක් 21 කොටස:

හුස්ම ගැනීම අවදිමත් ව දකින්න

නිදිමත නම් ...

භාවනා කරන විට නිදිමත දැනීම ඉතා සුලභ සිද්ධියකි. ඔබ ඉතා සන්සුන් තත්ත්වයකට පත්වෙයි. සිදුවිය යුත්තේ ද එයයි. නමුත්, අවාසනාවකට මෙන් මෙවැනි සුන්දර තත්ත්වයක් අප අත්දකින්නේ නින්දට යෑමේ දී බැවින් අපි එය සමඟ නින්ද සම්බන්ධ කරමු. එවිට ඔබ ඉබේට ම නිදා වැටෙන්නට පටන් ගනියි.

මෙය සිද්ධ වූ විට, ඔබගේ සිහිය නිදිමත කෙරෙහි යොදවන්න. නිදිමතට ආවේණික වූ ලක්ෂණ ඇත. එය ඔබගේ සිතීමේ ක්‍රියාවලියට නොයෙක් බලපෑම් කරයි. ඒවා සොයා දැන ගන්න. එයට බැඳුණු ශාරීරික දැනීම් තිබේ. ඒවා සොයා ගන්න.

කුතුහලයෙන් පිරි අවදිමත් බව නිදිමතේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණය බැවින් එය නිදිමත පලවා හරියි. එසේ සිදුනොවුනහොත් ඔබගේ නිදිමත භෞතික හේතුවක් නිසා ඇතිවීමට පිළිවන. එම හේතුව සොයා එය සමඟ ගනුදෙනු කරන්න. ඔබ කුස පිරෙන්නට ආහාර අනුභව කර ඇති නම් එය නිදිමතට හේතුවක් වීමට ඉඩ ඇත. භාවනාවට පෙර සැහැල්ලු ආහාරයක් ගැනීම නුවණට හුරුයි. නැතිනම් බර ආහාරයක් ගැනීමෙන් පැයකටවත් පසුව භාවනාවට වාඩි වන්න. මුළු දවස පුරා ම වෙහෙස වී වැඩ කළ ඔබ දිනය අවසානයේ දී විඩාබර වීම ස්වභාවික ය. එලෙස පෙර දින රැයේ පැය කිහිපයක නින්දක් ලැබූ ඔබට නිදිමත දැනීම ද ස්වභාවික දෙයකි. පළමු ව ඔබගේ ශාරීරික අවශ්‍යතා සපුරා ගන්න. පසුව භාවනාවේ යෙදෙන්න.

නිදිමතට යට නොවන්න. භාවනාත්මක සිත එකඟ කිරීම හා නිදිමත එකිනෙකට ප්‍රතිවිරුද්ධ අත්දැකීම් බැවින් අවදිව සිහියෙන් යුතු ව සිටින්න. යමක් ගැඹුරෙන් දකින්නේ නින්දේදී නොව භාවනාවේ යෙදෙන විට ය. බොහෝ නිදිමත දැනෙන විට, ගැඹුරින් හුස්මක් ගෙන හැකි පමණ කාලයක් එය පවත්වා ගන්න. පසුව, සෙමෙන් හුස්ම පහතට හෙළන්න. ඔබගේ සිරුර උණුසුම් වී, නිදිමත පහව යන තෙක් මෙසේ ගැඹුරින් හුස්මක් ගෙන සෙමෙන් එය නිදහස් කරන්න. පසුව, නැවතත් ඔබගේ හුස්ම වෙත අවධානය රැගෙන එන්න.

සිත එකඟ කිරීමට නොහැකි වීම

අධි ක්‍රියාකාරී, කඩින් කඩ ඇතිවන අවධානය, කාලයෙන් කාලයට සෑම පුද්ගලයකු ම පාහේ අත්විඳීන තත්ත්වයකි. මෙය හසුරුවන උපක්‍රම එකොළොස්වන පරිච්ඡේදයේ එන සිත අරමුණින් වෙනතක යොමුකරන දේ පිළිබඳ කරන සාකච්ඡාවේ දී ආවරණය කරමු. කෙසේ වෙතත්, මෙයට උපකාරී වන බාහිර සාධක තිබෙන බව ඔබ දැනගෙන සිටිය යුතුයි.

ඔබගේ කාලසටහනේ ඇති කරන සරල වෙනස්කම් මඟින් මේවා හොඳීන් හසුරුවා ගත හැකි ය. චිත්ත රූප බලවත් වස්තූන් ය. ඒවා දිගු කාලයක් මනසේ රැ¼දී තිබෙනු ඇත. කතන්දර කීමේ කලාව මේවා ඍජුව ම උපයෝගී කර ගෙන ඇති අතර මැනවින් රචිත කතාවක් දිගු කල් පවතින බලවත් ප්‍රතිඵල ඇති කරයි. ඔබ වසරේ හොඳම සිනමා කෘතිය නැරඹුවේ නම් ඊට පසුව කරන භාවනාව එම රූපවලින් පිරී ඉතිරී යයි. ඔබ මේ දිනවල ජීවිතයට ම බියවූ බියකරු නවකතාව කියවමින් සිටියි නම් ඔබගේ භාවනාව රාක්ෂයන්ගෙන් පිරී යනු ඇත. එසේ නම් අනුපිළිවෙල වෙනස් කරන්න. පළමුව භාවනා කර දෙවනුව චිත්‍රපටය බැලීම හෝ නවකතාව කියවීම කරන්න.

මේ ගැටලුවට බලපෑම් කළ හැකි තවත් සාධකයක් නම් ඔබගේ මානසික ස්වභාවය යි. ඔබගේ ජීවිතයේ ගැටලු පවතී නම් භාවනාව කලබැගෑනියකට පත්කරයි. ඔබට හැකි නම්, භාවනාවට වාඩිවීමට පෙර එදිනෙදා ජීවත ගැටලු සමථයකට පත්කිරීමට වග බලා ගන්න. එවිට ඔබගේ ජීවිතය සුමට ව ගෙවෙන අතර, භාවනා පුහුණුව අතරතුරේ දී ඔබ පල රහිත සිතිවිලිවල අතරමං නොවනු ඇත. නමුත් මෙම උපදේශය භාවනා පුහුණුවේ නොයෙදීමට හේතුවක් ලෙස නොසලකන්න. සමහර අවස්ථාවල දී භාවනාවට පෙර සෑම ගැටලුවක් ම විස¼දීමට ඔබට නොහැකි වනු ඇත. එවන් අවස්ථාවේ දී වුව ද භාවනාවට වාඩිවන්න. ඔබගේ සීමිත දැකීම තුළ සිරවූ සියලු ම ආත්මාර්ථකාමී ආකල්පයන්ට යන්නට හැරීම සඳහා ඔබගේ භාවනාව යොදා ගන්න. ඉන්පසුව ඔබගේ ගැටලු පහසුවෙන් නිරාකරණය වනු ඇත. හේතුවක් නොමැති ව වුව ද, සිත සන්සුන් නොවන දවස් ද මේ අතර තිබේ. අප මීට පෙර කථා කළ චක්‍රිය වෙනස්කම් ඔබට මතකද? භාවනාව චක්‍රිය වන බැවින් යහපත් දවස් මෙන්ම අයහපත් දවස් ද එයට අයිති ය.

විපස්සනා භාවනාව මූලික වශයෙන් සිහිය පවත්වා ගැනීමේ අභ්‍යාසයකි. සිත හිස් කර ගැනීම, සිත කුමක් කරන්නේ ද යන්න සිහියෙන් දැනගෙන සිටීම තරම් වැදගත් නොවේ. ඔබ නොඉවසිලිමත් ව, ඒ පිළිබඳ ව කිසිවක් කළ නොහැකි තත්ත්වයක සිටියි නම්, හුදෙක් ම ඒ දෙස බලා සිටින්න. ඒ සියල්ලක් ම ඔබ ම වෙයි. ප්‍රතිඵලය ස්වයං ගවේෂණයේ තවත් පියවරක් ඉදිරියට තැබීමයි. සියල්ලට ම වඩා, ඔබගේ සිත නොනවත්වා සිදුකරන කතිකාව හේතුවෙන් කලකිරීමට පත් නොවන්න. එම ගාලගෝට්ටිය සිහියෙන් දැකිය යුතු තවත් එක් කරුණක් පමණි.

උදාසීන බව

කිසිවක් නොකර, පැයක පමණ කාලයක් වාඩි වී, ඇතුළුන හා පිටවන හුස්ම දෙස බලා සිටීම තරම් ස්වභාවයෙන් ම නීරස තවත් සිද්ධියක් ගැන සිතා ගැනීමට පවා අසීරු විය හැක. නැවත නැවතත් ඔබ මෙම නීරස උදාසීන බවට මුහුණ දෙනු ඇත. සෑම කෙනෙක් ම එයට මුහුණපානු ලබයි. මානසික ස්වභාවයන් වන මෙම කුසීතකම ඒ සැටියෙන් ම සැලකිය යුතු වෙයි. එය හසුරුවා ගැනීමට උපකාරී වන සරල උපක්‍රම කිහිපයක් පහත දැක්වෙයි.

අවදිමත් බවට නැවත එන්න

නැවත නැවතත් හුස්ම දෙස බලා සිටීම නීරස බවක් දැනෙයි නම් එක දෙයක් සහතික ව කිව හැකි ය. එනම් ඔබ හුස්ම ගැනීම දෙස සැබෑ අවදිමත් බවෙන් බැලීම නවතා ඇති බවයි. එළැඹි සිහිය කිසිදිනෙක නීරස නැත. නැවතත් බලන්න. ඔබ හුස්ම යනු කුමක්ද කියා දන්නා බවට උපකල්පනය නොකරන්න. දැකිය යුතු සියල්ල ඔබ දැනටමත් නිරීක්ෂණය කර ඇතැයි නොසිතන්න. එසේ කිරීම එම ක්‍රියාවලිය සංකල්පයකට නැඟීමක් පමණි. ඔබ එහි සජීවී යථාර්ථය නිරීක්ෂණය නොකරනු ලබයි. හුස්ම පිළිබඳ ව හෝ වෙනත් දෙයක් ගැන හෝ සැබැවින් ම අවදිමත් බවෙන් යුතු ව සිටීම කිසිසේත් නීරස නැත. අවදිමත් බව සෑම දෙයක් දෙස ම ළමයකුගේ වැනි දෑසකින් පුදුමයෙන් බලයි. මෙම එළැඹි සිහිය සෑම මොහොතක් ම දකින්නේ එය විශ්වයේ පවතින එකම මොහොත ලෙසයි. එම නිසා නැවතත් හුස්ම දෙස බලන්න.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]