කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 31
වැනි දා:
අභිමානවත් ඉතිහාසයක පුනරාගමනය
සත්කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍යය
කුලියාපිටිය පුෂ්පදාන සමිතියේ සාමාජිකයෝ 1919 වසරේ අග භාගයේ දී පමණ පන්සලක් සෑදීමට
සාකච්ඡා කළහ. ඒ අනුව ඇස්සැද්දුමේ කුඹුරේ පිල්ලෑව බණමඩුවක් සෑදීම සඳහා පරිත්‍යාග
කිරීමට ටී.බී. හල්පේ මහතා ඇතුළු ඥාතීන් ඉදිරිපත් වූ අතර ඇස්සැද්දුමේ වලව්වේ කෝරළේ
මහතා ද ඒ සඳහා ඉඩම් කොටසක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය.
පසුකාලීන ව සැදැහැවතුන් කිහිපදෙනකු ම තම තමන්ගේ ඉඩම් කොටස් පරිත්‍යාග කිරීමෙන්
පන්සල් වත්තේ වපසරිය පුළුල් විය.
ශාසනාලංකාර විහාරස්ථානයේ අභිවෘද්ධියේ මූලාරම්භය සනිටුහන් කරන වැදගත්ම අවස්ථාව 1926
දී උදා වී ඇත.
එවකට තරුණ භික්ෂූන් වහන්සේ නමක් ව සිටි කට්ටමුරිච්චානේ සිරි සුභාරති ස්වාමීන්
වහන්සේගේ ඇවතුම් පැවතුම් පිළිබඳ ව, දෙසූ බණ දහම් පිළිබඳ ව මහත් සේ පැහැදුණු දායකයෝ
මෙම විහාරස්ථානයේ නැවතීමට උන්වහන්සේට ආරාධනා කළහ. ඒ සමඟ ම ශාසනාලංකාර මහා විහාරයේ
තිරසර පැවැත්මේ පටන් ගැන්ම ආරම්භ විය.
1928 පමණ වන විට කුලියාපිටිය ප්‍රදේශයට ගැහැනු ළමයින් සඳහා පාසලක අවශ්‍යතාව
මතුවෙමින් තිබුණි. කට්ටමුරිච්චානේ සිරි සුභාරති හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී
ශාසනාලංකාර මහා විහාරයේ දී ප්‍රදේශයේ විසූ වගකිවයුත්තන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වනු
ලැබූහ. වර්තමාන සිරි සුභාරති පාසල බිහි වන්නේ ඒ අයුරිනි. එහි පුරෝගාමියා වන්නේ
කට්ටමුරිච්චානේ සිරි සුභාරති හිමිපාණෝ ය. මුල දී ඇස්සැද්දුම කනිෂ්ඨ විද්‍යාලය නමින්
වූ මෙම විදුහල පසුකලක දී සිරි සුභාරති විද්‍යාලය යනුවෙන් නම් කරන ලද්දේ උන්වහන්සේට
කරන ලද උපහාරයක් වශයෙනි.
1969 මැයි මස 30 වැනි දා කට්ටමුරිච්චානේ සිරි සුභාරති නාහිමිපාණන් වහන්සේගේ
අපවත්වීමෙන් පසුව, විහාරාධිපති ධුරයට පත් වූ අතිපූජ්‍ය මහාචාර්ය කබලෑවේ පියභාරති
හිමිපාණන් වහන්සේ ද තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ ම අඩිපාරේ යමින් අපේ ඇස්සැද්දුමේ
පන්සලටත්, ප්‍රදේශයටත්, රටටත්, පොදුවේ සම්බුද්ධ ශාසනයටත් කළ සුවිශේෂ මෙහෙවර අතිමහත්
ය. ඇස්සැද්දුම පන්සල පමණක් නොව විහාරස්ථානයට අනුබද්ධ වී තිබූ තවත් විහාරස්ථාන අටක
විහාරාධීපතිත්වය දරමින්, ඒවා වැඩිදියුණු කරමින්, සිල්වත් ගුණවත් සමාජයක් බිහි කර
දීමට වෙහෙස ගත් අතර, කුලියාපිටියට නව ප්‍රබෝධයක් උදා කළ කුලියාපිටිය තරුණ බෞද්ධ
සංගමය පිහිටු වීමට ද පුරෝගාමී වූහ.
අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ආරම්භයේ සිටම ආචාර්යවරයකු ලෙස කටයුතු කළ
මහාචාර්ය පියභාරතී හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන්
පිදුම් ලබමින් සිදු කළ සුවිශාල සමාජ මෙහෙවර අතර ප්‍රධානම තැනක් ගන්නේ කුලියාපිටිය
දුරුතු මහා පෙරහර ආරම්භ කිරීමයි. විහාරස්ථ අනුලා කුලඟන සමිතියේ යෝජනාවකට අනුව
විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාවට අනුබද්ධ ව
පත් කර ගන්නා ලද පෙරහර කමිටුව මඟින් සංවිධාන කරන ලද සංඝමිත්තා පෙරහර 1994 දෙසැම්බර්
17 වැනි උඳුවප් පුර පොහොය දා ප්‍රථමවරට වීදි සංචාරය කර ඇත. එතැන් පටන් 2024 ජනවාරි
26 වැනි දා දක්වා වාර්ෂික ව 29 වරක් පෙරහර පවත්වා ඇති අතර, මුල දී සංඝමිත්තා පෙරහර
නමින් හැඳින්වුව ද පසුකලක දී කුලියාපිටිය දුරුතු මහා පෙරහර යනුවෙන් හඳුන්වා ඇති අතර
එය, සත්කෝරළයේ සංස්කෘතික කලා මංගල්‍යය ලෙසින් සත්කෝරළ වාසීන්ගේ ගෞරවයට සහ අභිමානයට
පාත්‍ර වී තිබේ. මහාචාර්ය කබලෑවේ පියභාරතී නාහිමිපාණන් වහන්සේ 1999 මැයි මස 8 දින
අපවත්වීමෙන් පසුව, විහාරාධිපති ධුරයට පත් වන්නේ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ පල්ලේකාගම රතනභාරතී ස්වාමිපාදයාණන් වහන්සේ ය.
රතනභාරතී ස්වාමීන් වහන්සේ විහාරාධිපතිත්වයට පත් වූ දා සිට අද දක්වා වූ කාලය තුළ අපේ
ඇස්සැද්දුමේ පන්සල ලැබූ දියුණුව අතිමහත් ය. එය විහාරස්ථානයේ ස්වර්ණමය යුගයක ඇරඹුම ම
විය. තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ගමන් ගත් ධර්මධර, විනයධර මාර්ගයේ ගමන් කරමින්
කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහාවිහාර නාමය, ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ජාත්‍යන්තරයට ද රැගෙන යාමට අපේ විහාරාධිපති පූජ්‍යතර පල්ලේකාගම රතනභාරති හිමිපාණෝ
සමත් ව සිටිති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාවේ ලේඛකාධිකාරි
ධුරය දරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සම්බුද්ධ ශාසනයටත්, පොදුවේ රටටත් කරන
සේවය අතිමහත් ය.
විහාරස්ථ කාර්යසාධක සමිතියේ ලේකම්
එච්. පියතිස්ස
සංස්කෘතික උරුමයක ජීවය රකින කුලියාපිටිය දුරුතු පෙරහරට ශුභාශිංසන
බෞද්ධ කලා මහා මංගල්‍යයට
ශුභාශිංසන එක්කරමි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
අග්ග මහා පණ්ඩිත
අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිදාන මහා නාහිමි
මීට දශක තුනකට පමණ පෙර චාම් ලෙස ඇරඹි ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ
දුරුතු පෙරහර ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් අද වන විට ප්‍රදේශයේ/ පළාතේ ඉතා ම
දර්ශනීය පෙරහරක් බවට පත්ව ඇති බව සතුටින් සඳහන් කළ හැකි ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති පල්ලේකාගම
රතනභාරති ස්ථවිරපාදයන් වහන්සේ, පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන
වයඹ සත්කෝරළයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ
පුරෝගාමියාණෝ වෙති.
අප නිකායික පිළිවෙත් ආරක්ෂා කර ගෙන තරුණ භික්ෂුවක් ලෙස ප්‍රශංසනීය ආගමික, ජාතික,
සාමාජීය මෙහෙවරක් සිදු කරන අපේ රතනභාරතී ස්ථවිර පාදයන් වහන්සේ නිකාය තුළින් ද
පැවරෙන රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම ද සතුටට කරුණකි.
මෙවර 30වැනි වරට පැවැත්වෙන මෙම දුරුතු පෙරහර තවත් චිරාත් කාලයක් අඛණ්ඩ ව පවත්වා ගෙන
යෑම සඳහා පල්ලේකාගම රතනභාරතී ස්ථවිරපාදයන් වහන්සේට හා පෙරහර සංවිධාන කමිටුවේ සියලු
සාමාජිකයන් වෙත ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා’යි ප්‍රාර්ථනා කරම්හ.
තිස්වැනි වරටත් පවත්වනු ලබන
කුලියාපිටිය දුරුතු මහා පෙරහර
විහාරාධිපති හා ප්‍රධාන අනුශාසක,
ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ පරියත්ති සංවද්ධන ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
පල්ලේකාගම රතනභාරති නාහිමි
අපගේ පෙරහර සියල්ලෙහි මුදුන්මල්කඩ වනුයේ ලොව පුරා ගෞරවයට පත් මහනුවර දළදා මාලිගාවේ
පවත්වනු ලබන ඇසළ පෙරහර ය.
වයඹ පළාතේ, සත්කෝරළයේ වර්තමානයේ පැවැත්වෙන ප්‍රමුඛතම පෙරහර වන්නේ අපගේ කුලියාපිටිය,
ඇස්සැද්දුම, ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ, ඓතිහාසික කුලියාපිටිය දුරුතු
පෙරහර යි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන
මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝයා වහන්සේ හා
අන්‍ය ආගමික පූජාප්‍රසාදීන් වහන්සේගේ ද, ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රධානීන්
ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ද සහභාගිත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා
මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර වීථි සංචාරය කර
විහාරස්ථානයට ගෙවැදීම සිදුවන අතර, පෙරහර මංගල්‍යය සාර්ථක ව නිම කළ බව ආණ්ඩුකාරවරයා
වෙත සංදේශය භාරදීමෙන් පසු මෙවර පෙරහර සාර්ථක ව නිම කිරීමට නියමිත ය.
බුද්ධාදී සූවිසි ගුණ බලයෙන්, සිරි දළදා වහන්සේගේ ආශීර්වාදයෙන්, ජය ශ්‍රී මහ බෝධීන්
වහන්සේගේ පිහිටෙන් නිරෝගීමත් හා සමෘද්ධිමත් කාලපරිච්ඡේදයක් උදාවේවා'යි ප්‍රාර්ථනා
කරමි.
සංස්කෘතිකමය කලා උරුමයන් සුරකින
සත්කෝරළයේ මහා කලා මංගල්‍යය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
ජාතික, ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජීය සංවර්ධනය සඳහා සත්කෝරළයේ සුවිශේෂ
බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වන ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරස්ථානයේ
කුලියාපිටිය ඓතිහාසික දුරුතු මහා පෙරහර වෙනුවෙන් ශුභාශිංසන එක් කරනු කැමැත්තෙමි.
පෙරහරක පවතින සකලවිධ කලාංග පිළිබඳ විග්‍රහ කරන විට පැහැදිලි වනුයේ ඒ සියල්ල ම අපේ
සංස්කෘතිකමය කලා උරුමයන් බව ය.
ගැඹුරු ජීවන දර්ශනයක් සහිත, විශිෂ්ට වගකීම් සහගත, නීතිගරුක පුරවැසියකු නිර්මාණය
කිරීමේ මෙහෙවරේ දී මෙම කලා උරුමයන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. මේ අනුව පෙරහරක
දෘශ්‍යමාන වන නිර්මාණශීලී සකලවිධ කලාංගයෝ ම සුවිශේෂ වශයෙන් ම සම්මානයට හා ගෞරවනීය
ඇගයීමකට ලක් කිරීම හේතු යුක්තියුක්ත වේ. පොහොසත් රටක සතුටින් පිරි ලස්සන ජීවිත ගත
කරන මිනිසුන් නිර්මාණය සඳහා මෙම නිර්මාණශීලී අපේ කලා උරුමයන් තෝතැන්නක් බව ද මෙහිලා
ප්‍රශංසනාත්මක ව සඳහන් කරමි.
බුද්ධාලම්භන පී‍්‍රතිය
වර්ධනය කරන
සුවිශේෂී අවස්ථාවකි
දියවඩන නිලමේ,
ශ්‍රී දළදා මාලිගාව
ප්‍රදීප් නිලංග දෑල
ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී
නාහිමිගේ අනුශාසකත්වයෙන් හා මඟපෙන්වීමෙන් නගරයේ වෙළෙඳ ප්‍රජාව හා අන්‍ය සැදැහැවතුන්
සියලු දෙනා හා එක්ව පෙරහර මංගල්‍යය අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සියලු ම බෞද්ධ ජනතාවගේ
බුද්ධාලම්භන පී‍්‍රතිය වඩා වර්ධනය වීමට හේතුවක් වනු නිසැක ය.
මෙම පූජා පෙරහර මංගල්‍යය සිංහල ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව
විදහා දක්වමින් ප්‍රදේශවාසී ජනීජනයාගේ සිත් සතන් සැදැහැයෙන් පුරවමින්, චිරාගත
සම්ප්‍රදායික පුද සිරිත්වලට අනුගත ව පැවැත්වීමට හැකි වීම රටට, ජනතාවට මහත්
ආශීර්වාදයක් ගෙන දෙන්නක් බව මාගේ විශ්වාසයයි.
සුන්දර දුරුතු මහ පෙරහරට හෘදයාංගම සුබපැතුම්
වයඹ පළාත් ආණ්ඩුකාර
තිස්ස වර්ණසූරිය
ඓතිහාසික කුරුණෑගල රාජධානියට අයත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය සඳහා මාගේ
හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නේ ඉතා ම සතුටිනි.
දශක තුනක් ඉක්මවමින් වාර්ෂික ව පවත්වාගෙන ආ මෙම පෙරහර මේ වනවිට වයඹ පළාත තුළ
පැවැත්වෙන ප්‍රමුඛ පෙරහරකි. වැදගත් සමාජමය මෙහෙවරක් ඉටු කරන මෙම පූජනීය උත්සවය
සංවිධානය කිරීම සඳහා පුරෝගාමී කර්තව්‍යයක් සද්භාවයෙන් ඉටු කරමින්, ඒ සඳහා කැපවී
ක්‍රියා කරන විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමිපාණන් වහන්සේ
ප්‍රමුඛ ඒ සඳහා වෙහෙස මහන්සි වී, දායකත්වය ලබා දී කටයුතු කරන සැමට ද පෙරහර සංවිධාන
කමිටුවට ද මාගේ හෘදයාගම ශුභාශිංසන පිරිනමමි.
|