[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පොරවගම විමලරතන නාහිමියෝ ශාසන කීර්ති ශ්‍රී සුමනසිරි ගෞරව නාම ලබති

පොරවගම විමලරතන නාහිමියෝ

ශාසන කීර්ති ශ්‍රී සුමනසිරි ගෞරව නාම ලබති

ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික යුග මෙහෙවරක් සිදුකරන මාලබේ ශ්‍රී සුසිලාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත පොරවගම විමලරතන මාහිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක, ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සානුනායක උපාධ්‍යාය මූලික සංඝ සභාව විසින් “ශාසන කීර්ති ශ්‍රී සුමනසිරි” යන ගෞරව නාම සම්මුතිය සහිත බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 14 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

අප කතානායකයාණෝ ගාල්ල පොරවගම ග්‍රාමයේ දී. ජේ. පොන්නම්පෙරුම හා එස්.වීරසේකර යන දම්පතීන් ට දාව 1961 පෙබරවාරි මස 24 වැනි දින ජන්ම ලාභය ලැබීය.

ආගමික හා අධ්‍යාපනික කටයුතු කෙරෙහි ශාසන ළැදි ව විශේෂ ඇල්මක් ඇති බව හඳුනාගත් දෙගුරුන් එවකට මාලබේ ශ්‍රී සුසිලාරාමාධිපති ව වැඩ විසූ හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍යපාද පොරවගම සුමනසිරි මාහිමිපාණන් වහන්සේට භාර කරන ලදී.

1971 මාර්තු මස 16 වැනි දින පැවිදි භූමියට පත් ව වසරක් පමණ ගුරු ඇසුරේ සිට උගත මනා දහම් හා වත් පිළිවෙත් පූරණය කිරීමත් නිසා ගාල්ලේ හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙනට ඇතුළත් වූහ. 1981 ලබුගම ශ්‍රී ලංකානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පොරවගම සුමනසිරි නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

උසස් අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි ආදි විෂයයන් රැසක ප්‍රවීණයකු වූහ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ඇත. මහනුවර මැණික්හින්න ශ්‍රී සුධර්මෝදය පිරිවෙනෙහි පරිවේණාධිපතින් වහන්සේ ලෙස සේවය කළ අතර හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයේ ද, මාලබේ ශ්‍රී රාහුල බාලිකා මහා විද්‍යාලයේ ද සේවය කර 2016 වසරේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කළහ.

තම ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් මාලබේ ශ්‍රී සුසිලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයේ කටයුතු භාරවීමත් සමඟ ප්‍රදේශයේ බොදු හදවත් තුළ ධර්ම ඥානය ඇති කිරීම ම ප්‍රශංසනීය ය.

කඩුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ඉතා දියුණුම දහම් පාසලක් වන සුසිලාරාම ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලින් බලමණ්ඩලයේ පමණක් නොව සමස්ත ලංකාවට ම දක්ෂ දරු දැරියන් රැසක් බිහි කර දීමේ ගෞරවය අප නාහිමියන්ට ලැබෙනුයේ ඒ වෙනුවෙන් දක්වන උත්සාහය හා කැපවීම නිසාවෙනි.

අපගේ නාහිමිපාණන් වහන්සේ ගෞරවාදරයට පත්ව ඇත්තේ සසුන්කෙත බබළවන යතිවරයන් වහන්සේ නමක් ලෙස ය. මේ නිසා ම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක ධුරය “සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසිරි “ යන ගෞරව නාම සම්මුතිය සහිත ව පිරිනැමීම ප්‍රශංසනීය ය.

හැට හතරවන ජන්ම දිනය සමරන, අප නාහිමියන්ගේ ආගමික, ශාසනික, අධ්‍යාපනික හා සමාජයීය මෙහෙවර අත්‍යුදාර ය. “සංඝ ශෝභන කලණ ගුණ නිධාන අපේ විමලරතන මාහිමිපාණන් වහන්සේට කායික, මානසික සුවසෙත ශක්තිය චිරජීවනය සඳහා සුඛී දීඝායුකෝ භව“ යනුවෙන් පතමු.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]