[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආදරණීය ළමා වියක සිහිනයට පණ දෙන්න සති පාසලට ඔබත් එන්න - බිබිලේ ධම්මසිරි හිමි

ආදරණීය ළමා වියක සිහිනයට පණ දෙන්න සති පාසලට ඔබත් එන්න - බිබිලේ ධම්මසිරි හිමි

සතිය කියන්නේ යහපත් සිහියට. තමන් කරන කියන දේ සිහිකල්පනාවෙන් සිදු කිරීමට. එළඹසිටි සිහිය කියන අර්ථයට. සතිය තුළ ජීවිතයට ලබා ගත හැකි වටිනාකම් මේ පමණ යැයි ප්‍රමාණය කරන්නට නො හැකියි. මේ නිසා ම සති පාසල සංකල්පය විශේෂයෙන් පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙනවා. මේ ඒ පිළිබඳ බිබිලේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ සමඟ කළ සාකාච්ඡාවකි.

ස්වාමීන් වහන්ස, සති පාසල් සංකල්පය හඳුන්වා දීමේ අරමුණ කුමක් ද?

දරුවකුගේ අනාගතය තීරණය කරන සාධක අතරින් ප්‍රධාන තැනක් හිමි වන්නේ පාසල් කාලයට. පොත පතේ දැනුම විතරක් නෙවෙයි. ගුණ දහම්, ක්‍රියාශීලි බව මේ හැම දේ ම සාර්ථක වෙන්න නම් දරුවා පාසල තුළ සිහියෙන් ඉන්නට ඕනෑ.

පාසල් දරුවන්ට සති පාසල් සංකල්පය හඳුන්වා දෙන්නේ වටිනා කාලයට වටිනා අර්ථයක් ලබා දීමේ අරමුණ පෙරදැරි කර ගෙනයි. මෙය සතිය පිළිබඳ ප්‍රායෝගික වැඩපිළිවෙළක්.

සති පාසල තුළ දරුවාට ලැබෙන වටිනාකම් මොනවා ද?

ඒ තුළින් දරුවාගේ සිහිය වැඩෙනවා. සිහිය වැඩීමෙන් නුවණ වැඩෙනවා. ගුණ - නුවණින් වැඩුණු දරුවන් පාසලෙන් එළිදක්වන වැඩපිළිවෙලක් තමයි සති පාසල් සංකල්පය කියා හඳුන්වන්නේ.

හෙට දවසේ සතිමත් පුරවැසියෙක් බිහි කිරීම මේ සංකල්පයේ මූලික ඉලක්කය යි. ‘සතිමත්’ කියන වචනයේ ගැඹුරු අදහසක් අන්තර්ගත වෙනවා. සතිමත් දරුවාට ආතතිය නෑ. බිය ගැනීම්, තැතිගැනීම් නෑ. තරහව, සැකය නෑ. අධික සංවේදී බව වගේ ම ඊර්ෂ්‍යා සහගත සිතිවිලි, අවම කරලා ඍණාත්මක තත්ත්වයන් ධනාත්මක පැත්තට හරවා ගන්නට සතිමත් බවට පුළුවන්. ඒ වගේ ම දරුවකුගේ මනසේ සාධනීය වෙනස්කම් ඇති කිරීමට සතිමත් බව උදව් වෙනවා. සතිය පුරුදු - පුහුණු වූ දරුවාට කරන කියන දේ හොඳින් මතකයේ රැදෙනවා. ආවේගශීලි හැසිරීම් අවම වෙනවා.

ව්‍යාකූල සිතට ඉගෙන ගන්න දේ මතකයේ රැඳෙන්නේ නෑ. සිත එකඟවීමට නම් සතිමත් බව එහෙමත් නැතිනම් සිහිය අත්‍යවශ්‍යයි.

දරුවන් අකීකරු බවට අද බොහෝ මව්පියන් චෝදනා කරනවා. මේ වැඩසටහනෙන් එයට විසඳුමක් තිබෙනවා ද?

වැඩිහිටියන්ගේ චෝදනාව දරුවන් අකීකරු බවයි. දඟ බවයි. එය දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. සමහර දරුවන් ළඟ උපතින් ම උරුම වූ නරක ගති චර්යාවන් තිබෙන්නට පුළුවන්. මේ වැඩසටහන එවැනි දරුවන්ටයි.

දරුවන් තුළ ප්‍රබෝධය ඇති කරවමින් දඟකාරකම්, අකීකරුකම්, ආවේගශීලි බව, අනවධානය යහපත් දිශාවට යොමු කර ගැනීමට සති පාසලට හැකියාව තිබෙනවා.

දරුවන් තුළ සාධනීය වෙනසකට සති පාසලේ ක්‍රියාකාරීත්වය කෙබඳු ද?

මේ වැඩ සටහනේ දී උපායශීලි මාර්ග කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. එහි දී සති ක්‍රීඩා ප්‍රධානයි. ඒ මඟින් දරුවාගේ මනස පාඩම් කෙරෙහි යොමු කර ගැනීමේ අපූර්ව හැකියාවක් ලැබෙනවා. ඒ වගේ ම යම් දෙයකට හොඳින් ඇහුම්කන් දීමේ ක්‍රියාකාරකම් සිදු කෙරෙනවා. උදාහරණ ලෙස දරුවාගේ මනසේ අපූරු චිත්‍රයක් සටහන් වන ලෙස සතිමත් ඉබ්බකුගේ හැසිරීම ගැන පැහැදිලි කර දෙනවා.

තාලයකට අත්පුඩි ගසන හැටි, සිහියෙන් යුතු ව පොළොවේ පා තබන හැටි කියා දෙනවා. ඒ වගේම තමන්ට ඇසෙන දේ, දැනෙන දේ අවධානයෙන් නිරීක්ෂණය කරන හැටි ගැන දරුවාට ප්‍රායෝගික ව පුරුදු කරනවා. ඇසුන දේ, දුටු දේ, දැනුන දේ ගැන වචනයෙන්, ලිවීමෙන් තවත් කෙනකුට සන්නිවේදනය කරන්නට පුහුණුව ලබා දෙනවා.

මානසික පීඩාකාරී බවත් බොහෝ දරුවන් අතර දකින්නට ලැබෙන තත්වයක් නේද ස්වාමීන් වහන්ස

ඔව්. මේ ක්‍රමවේදය ඔවුන් යතා තත්වයට පත් කරනවා. සරලව ම බොහෝ ක්‍රියාකාරකම් ගැන අවධියෙන් සිටින නිසා දරුවාගේ සතිය වැඩෙනවා. ඒ තුළ අනිවාර්යයෙන් ම දරුවා හරි දේ දකින්න පුරුදු වෙනවා. වැරැදි දේ බැහැර කරන්න ඔහුට නුවණ වැඩෙනවා. මේ ක්‍රියාකාරකම් තුළ දරුවා හසුරුවන්නේ සතුට, සැනසුම වර්ධනය වන ආකාරයටයි. ඒ තුළ සාර්ථක ව ගොඩනැඟෙන දරුවා සතිමත් ව හැසිරෙනවා. උදාහරණ ලෙස සිටගෙන සිටින විට, ඇවිදින විට, එදිනෙදා වැඩ කටයුතුවල යෙදෙන විට සතිමත් වෙන ආකාරයට දරුවා, තමන්ගේ අත්දැකීම් ගොනු කර ගන්නවා. මෙය දවසකින්, දෙකකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. බොහෝ කාලයක් පුරුදු පුහුණු කරන්නට අවශ්‍යය යි. දිනෙන් දින සතිමත් බව නොවුණොත් දරුවා කල් ගෙවන්නේ අසිහියෙන්.

එවිට කරන කියන දේ ගැන අවධානයක් නෑ. වැඩකටයුතු අසාර්ථකයි.

සතිමත් දරුවා නිර්මාණශීලියි. මතක ශක්තියෙන් දියුණුයි. අයහපත් ප්‍රතික්‍රියා නෑ. යහපත් ප්‍රතිචාර දක්වන දරුවෙක් බවට පත්වෙනවා. ගුණගරුක වෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන් ගැන සතුටු වන දරුවෙක් බවට ද පත්වෙනවා.

බොහෝ පාසල් දරුවන් තුළ දකින්නට ලැබෙන අතෘප්තිකර බවට සති පාසලෙන් ලැබෙන්නේ කවර ආකාරයේ විසඳුමක් ද?

පන්ති කාමරය තුළ ඒකාකාරි රාමුවකට සිරවී සිටින දරුවා ප්‍රබෝධමත් ව සිය අත්දැකීම් පද්ධතිය ම සතිමත් බව තුළ සංවර්ධනය කර ගන්නවා. තමන් ගේ සතුට වින්දනය කරනවා. තමන් - තමන් ගැන ම ඇගයීමකට ලක් වෙනවා.

සති පාසල වැඩසටහන පාසල්වලට පමණ ද?

මේ වන විට පාසලට පමණක් නොවෙයි. විශ්වවිද්‍යාල ඇතුළු බොහෝ අධ්‍යාපන ආයතනවලට මෙම සති පාසල් සංකල්පය හඳුන්වා දී තිබෙනවා. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලත් බොහෝ විට ක්‍රියාත්මකයි. මේ අග්‍රග්‍යණය සංකල්පය යම් පුද්ගලයෙක් ලබන කායික හා මානසික යහපැවැත්ම තුළ ඔහු ඉහළට ඔසවා තබනවා. මේ උතුම් වැඩපිළිවෙළ, නැතිනම් මෙම සංකල්පය හඳුන්වා දුන්නේ සති පාසල් පදනමේ නිර්මාතෘ සහ ආධ්‍යාත්මික උපදේශක උඩඊරියගම ධම්මජීව හිමිපාණන් වහන්සේ විසිනුයි.

කඩුවෙල බෝමිරිය, පිලිමතලාව බෝයගම, දෙහිඅත්තකණ්ඩිය කජුවත්ත ආරණ්‍යය, මීතිරිගල නිස්සරණ වනය, ගාල්ල ඉමදූව හා උඩුගම, කළුතර අගලවත්ත, කුරුණෑගල, මීරිගම, නිසල තපෝවනය ආදි ස්ථානයන් හි සති පාසල් ක්‍රියාත්මකයි.

දුරුතු පුර පසළොස්වක

 ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]