[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අවිචාරවත් මිථ්‍යා විශ්වාස පිරිහීමේ ඇරඹුමයි

අවිචාරවත් මිථ්‍යා විශ්වාස පිරිහීමේ ඇරඹුමයි

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුබවාදී දහමක්වත්, සුබවාදී දහමක්වත් නොවෙයි. යථාර්ථවාදී දහමක්.

ඇත්තට ම එය දර්ශනයක්. දර්ශනයක් කියන්නේ අදහන දෙයක් නෙවෙයි. එය පිළිපැදිය යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ

“ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ” යනුවෙන්. එන්න, බලන්න. තම තමන් ම දැන ගන්න. අවබෝධ කර ගන්න.

බුද්ධ යන වචනයේ අර්ථයත් අවබෝධය යන්න යි. යමක් විශ්වාස කිරීම ඉතා පහසුයි. එහෙත් යමක් අවබෝධ කර ගැනීම ඉතා අපහසුයි.

දැනුම සහ අවබෝධය අතරත් ලොකු වෙනසක් පවතිනවා. බොහෝ දෙනාට ධර්මය පිළිබඳ ඉහළ දැනුමක් තිබෙනවා. එහෙත් අවබෝධයක් නැහැ. බුදු සමය පෙන්වා දෙන්නේ මිනිසකු වශයෙන් ජීවත් විය යුතු හොඳම ක්‍රමය. එම නිසා ඔබ තේරුම් ගන්න බුදුදහමේ පෙන්වා දී ඇති වටිනාකම් සිත සිතා සිටීමෙන් හෝ සාකච්ඡා කර කර සිටීමෙන් කිසිදු පලක් නෑ.එය පිළිපදින්න ම ඕනෑ. එහි අන්තර්ගත ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයෙහි භාවිතාවෙන් අත්හදා බැලිය යුතුයි.

කනගාටුවට කරුණ අද අපේ බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අනුගමනය කරන්නේ ජනපි‍්‍රය බුදු දහම වීමයි. ජනපි‍්‍රය බුදුදහම තුළ මුල් තැන දීලා තිබෙන්නේ ඇදහිලි, විශ්වාස හා පුද පූජාවලට. මෙය බුදු දහමේ හරය නොවේ. පුදපූජා, වැඳුම් පිදුම් නරකයි කියලා කියන්නේ නෑ. එය සිදු කිරීමත් හොඳයි. නමුත් ඔබ මුල් තැන දිය යුත්තේ දර්ශනයට යි. ධර්මයට යි.

පුද පූජා, ආගමික ගොඩනැඟිලි, පිළිම නැති වන විට ආගම මිය යනවා. ආගම පවතින්නට නම් ඒවා තිබිය යුතුයි. නමුත් බෞද්ධයන් හැටියට ඔබ බුදු දහමේ නියම පරමාර්ථ පසක් කර ගත යුතුයි.

ඕනෑම ආගමක් මූලික අංග තුනකින් සමන්විත යි. එනම් දර්ශනය, ආචාර විධි හා ශාන්ති කර්මවලින් ආරක්ෂාව හා ආශීර්වාදය පැතීම වරදක් නොවන බව ද සඳහන් කළ යුතු යි.

බුදුරජාණන් වහන්සේ ඇත්තට ම බලාපොරොත්තු වූයේ උන්වහන්සේගේ රූපය වන්දනා කිරීම නොවේ. හන්දියක් හන්දියක්, ගානෙ එක එක ප්‍රමාණයේ උන්වහන්සේගේ රූපය අඹාගෙන ඒවාට පුද පූජා කිරීම උන්වහන්සේ අපේක්ෂා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා නොකළත් ඒවාට වැඳුම් පිදුම් කිරීම හොඳයි. එහි කිසිදු වරදක් නැහැ. නමුත් ඔබ කළ යුත්තේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි යාමයි.

උන්වහන්සේ වරක්,

“නහි මය්හං මාලා ගන්ධාදීහි
පූජං කරොන්තා
මම පූජං කාරොන්ති නාම
ධම්මානුධම්මං
පටිපන්නා ඒවං පණ මං පුජෙන්ති නාම”

යනුවෙන් දේශනා කළේ මල් සුවඳ ආදියෙන් තමන් වහන්සේට පුද පූජා පවත්වන්නෝ නියම ලෙසින් තමා පුදන්නෝ නොවන බව හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන අය නියම ලෙසින් තමන් වහන්සේ පුදන්නන් වන බවයි. උන්වහන්සේ හැමවිට ම අගය කළේ තමන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අය යි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හරි හැටි දන්නේ නැති අය උන්වහන්සේ දේවත්වයෙහි ලා සලකනවා. කීර්ති, ප්‍රශංසා, ගෞරවාචාර උන්වහන්සේ කිසිවිටෙකත් අනුමත කළේ නැහැ. බුදුහාමුදුරුවෝ මැවුම්කාරයෙක් නෙවෙයි. උන්වහන්සේ ලෝකේ මැව්වේ නැහැ. උන්වහන්සේ පිළිගත්තේ නැහැ දෙවියන් ලෝකය මැව්වා කියලා. දෙවියන් විසින් මිනිසා මැව්වා නොව මිනිසා විසින් දෙවියා මැව්වා කියන තර්කය උන්වහන්සේ පිළිගත්තාට කිසිදු සැකයක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැලවුම්කාරයෙක් නෙවෙයි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ මඟ පෙන්වන්නෙක්, විශිෂ්ටතම ගුරුවරයෙක්. බුදුරජාණන් වහන්සේ මොනතරම් ප්‍රායෝගික ද කියනවා නම් උන්වහන්සේ වරක් උන්වහන්සේගේ ධර්මය ඔරුවකට උපමා කළා.

“කුල්ලූප මං වො භික්ඛවේ
ධම්මං දේසිස්සාමි
නිත්තරණත්ථාය නෝ ගහණත්ථාය”

මහණෙනි, මම ධර්මය ඔරුවකට උපමා කොට ඔබට දේශනා කරනවා. ධර්මය, එතෙර වීම පිණිස මිස කරගහ ගෙන යාම සඳහා නොවේ. ඔබට මෙයින් පැහැදිලි වෙනවා ඇති උන්වහන්සේගේ දර්ශනය ගැඹුරු වගේම අවශ්‍යතාවන්ගේ සීමාවන් මොන තරම් හොඳට හඳුනාගෙන තිබුණ ද කියන එක.

ත්‍රිපිටකය ගල් පුවරුවල කෙටුවට වැඩක් නැහැ. අපි ඒවා කියවලා ජීවිතයට අදාළ කර ගන්නේ නැතිනම්. ත්‍රිපිටකයේ පොත් ටික පන්සල සැරසීමට හෝ පුස්තකාල සැරසීමට ගන්න එපා. එහි වටිනාකම ජීවිතයට අදාළ කර ගන්න.

විසිවැනි සියවසේ මැද භාගයේ දී ලාංකේය සමාජයේ දාර්ශනික බුදු දහම ඉදිරියට ගෙන ඒමට යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොළ රාහුල, රේරුකාණේ චන්දවිමල ආදි යතිවරයන් වහන්සේ ගත් උත්සාහය නැවතත් ඉදිරියට ගෙන යා යුතු කාලය එළඹ තිබෙනවා.

බුදුදහම ලෝකය පුරා ජීවත්වන මිනිසුන්ගේ දෛනික ජීවිතය සාර්ථක කර ගැනීමට මහඟු ආදර්ශ සපයන බව ආගම් භේදයකින් තොරව බොහෝ අය තේරුම් ගෙන සිටිනවා. නමුත් ප්‍රායෝගික ව නැති වීම තමයි කනගාටුවට කරුණ. ඇතැම් අය විසි එක්වන සියවසේ ජීවත් වුවත් බොහෝ විට යථාර්ථයට වඩා මිථ්‍යාවට සමීපවීමට කැමත්තක් දක්වනවා. මෙය සුබවාදී දෙයක් නොවේ.

සත්‍යයෙන් ඈත් ව මිථ්‍යාව වැලඳ ගැනීමට දක්වන ආසාව මානව බුද්ධියට නිගා කිරීමක්. බුදුහාමුදුරුවෝ අනෙක් ආගමික ශාස්තෘවරුන්ගෙන් වෙනස් වන්නේ උන්වහන්සේ හැමවිට ම මිනිසුන්ගේ බුද්ධියට කතා කරපු නිසා. ඔබට ශ්‍රද්ධාව තිබෙන්න ඕනෑ තමයි. නමුත් මතක තබා ගන්න, බුද්ධිය ඉදිරියෙන් තබා ගන්න. හැමවිටම බුද්ධියට පිටුපසින් භක්තිය රඳවා ගන්න. ශ්‍රද්ධාව කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නිසා ඇතිවන පැහැදීම මිසක් අන්ධ භක්තියක් නොවේ.

වක්කලී හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ ලස්සන දැකලයි පැවිදි වුණේ. බුදුහාමුදුරුවන් දිහා සතියක් විතර බලා ගෙන හිටියා. බැරිම තැන බුදු හාමුදුරුවෝ වක්කලී හාමුදුරුවන්ට කිව්වා

“වක්කලී, මා දිහා බලා ගෙන හිටියා ඇති, දැන් ධර්මය දිහා බලන්න.” කියලා

එසේ නම් ඔබත් කළ යුත්තේ ප්‍රතිරූප වන්දනා කිරීම නොව ධර්මය දිහා බැලීම නොවේ ද? මිථ්‍යා විශ්වාස නිසා ඔබ බොහෝ ධර්ම කරුණු විකෘති කර ගෙන.

බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ මංගල කරුණු ගෙනහැර පාමින් භික්ෂූන් වහන්සේගේ දැකීම මංගල කාරණයක් කියලා පැහැදිලි කරනවා. නමුත් අපේ බොහෝ බෞද්ධයන් උදේට හාමුදුරුනමක් දකින්න හරිම අකැමැතියි. බුදුහාමුදුරුවෝ මංගල කාරණයක් කියලා කියනවා. අපේ බෞද්ධයන් එය අසුභ දෙයක් හැටියට සලකනවා. සමහර බස්වල රියැදුරු මහත්වරු ( බොහෝවිට මෙම අය බෞද්ධ මහත්වරු) බස්රියට පළමුවෙන් ම ස්වාමීන් වහන්සේ නමක් නඟිනවාට කැමැති නැහැ. බැරිවෙලාවත් මුලින් ම හාමුදුරුනමක් නැග්ගොත් සිතින් බැණ බැණ යනවා පමණක් නෙවෙයි, ඇහෙන්න ඇනුම් පද කියන අවස්ථාත් තියෙනවා. නමුත් මේ රියදුරු මහත්මය ම උදෙන් ම බස් එකට සුවඳ දුම් අල්ලා, බුදු පහන පත්තු කරලා ගමනාරම්භය කරන්නේ. ඒ වුණත් හාමුදුරුනමක් මුලින් ම බස්රියට නඟිනවාට අකැමැතියි.

බලන්න අවිචාර සහගත මිථ්‍යා විශ්වාස නිසා අපි කොතරම් අසීරු තත්ත්වයකට පත්වෙලා ද? කවුරු නමුත් මිථ්‍යා දේවල් විශ්වාස කිරීම නිසා ආර්ථික අතින් පිරිහෙනවා. සමාජීය අතින් පිරිහෙනවා. යාළුවන් අහිමි වෙනවා. සමාජයෙන් හුදෙකලා වෙනවා. බුදුන් වදාළ ධර්මයට අනුව ප්‍රඥාවෙන් යුතු ව ජීවිතය හැඩගස්වා ගැනීම තමයි මිථ්‍යාවෙන් මිදීමේ එකම මාර්ගය.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]