[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අධාර්මික පැවැත්මට වඩා ධාර්මික මරණය යහපත් ය

අධාර්මික පැවැත්මට වඩා ධාර්මික මරණය යහපත් ය

ඉල් පුර පසළොස්වක පොහොය ගෙවී යන වසරේ 11 වැනි පොහොය යි. පළමු වස බරණැස ඉසිපතනයේ විසූ බුදුරජාණන් වහන්සේ එම කාලය තුළ සඟ සසුනට එකතු වූ රහත් 60 නම ප්‍රථම ධර්මදූත කණ්ඩායම ලෙස විසුරුවා හැරියේ ඉල් පොහොය දිනකයි.

පුහුණු කරන ලද බල සේනාවක් මෙහෙයුම් සඳහා විසුරුවා හරින සෙන්පතියකු සේ ධර්මසේනාපති වූ, රාජාධිරාජ වූ බුදුරජාණන් වහන්සේ තම බලසෙනඟ උදෙසා දුන් ඉලක්කය හා ඉලක්ක ජය ගැනීම සඳහා දුන් උපදෙස් මාලාව අකාලික උපදේශයකි.

“චරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය. අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේ ද්වේ අගමිත්ථ. දෙසේථ භික්‍ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ෙක්‍ධ් කල්‍යාණං පරියෝසාන කල්‍යාණං, සාත්ථං සබ්‍යක්‍දජනං

කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ”

බහුජන හිතවැඩ පිණිස, ලෝකානුකම්පාවෙන්, මුල මැද අග නිවැරැදි ව, පරිපූර්ණ ව ධර්මය ප්‍රකාශ කරමින් එක මඟ දෙදෙනෙකු නොගොස් චාරිකාවේ හැසිරෙන්න යනුවෙන් ඒ අකාලික උපදේශය බුදුරජාණන් වහන්සේ ලබා දුන් සේක.

බුදුරදුන්ගේ ඉල් මහේ උපදේශය වර්තමාන ලාංකික භික්‍ෂූන් වහන්සේට භාවිතාව සඳහා ඉතා යෝග්‍ය වූවකි. මන්ද අපේ මාතෘ භූමිය අධාර්මික පාලකයින්ගේ පාලනයන් නිසා අන්තයට පිරිහී ඇති යුගයකි. අධාර්මික පාලකයින් හා රාජ්‍ය නිලධාරීන් සමග එක්ව දුස්සීල මහණුන් හා පූජකයින් එම විනාශය රටට ජනතාවට සිදු කර ඇත. ඇතැම් ජනතාවගෙන් ද ඊට විරුද්ධ නොවන අනුමැතියක් ලැබී ඇත. ඒ රාජ්‍ය බලයේ බලවත් බව නිසයි. (අංගුත්තර නිකායේ මහා චෝර සූත්‍රයේ එන පරිදි) මේ නම් විසාලාවට සිදු වූ දෙය ම ය. දැන් නැවත රටත්, ජනතාවත් එම විනාශයෙන් ගොඩනැඟිය යුතු ව ඇත. වර්තමානයේ සමාජ ජිවිතයත්, සමාජ ධනයත්, සමාජ, දේශපාලනික, ආර්ථික, සමස්තයත් අධාර්මික උත්පාදනයට මෙන් ම අධාර්මික පරිභෝජනයට ගොදුරුවී ඇත.

එය වෙනස් කිරීම උදෙසා බහුජන හිත පිණිස භික්‍ෂූන් වහන්සේගේ යහපත් චාරිකාව අවැසි ව ඇත. ධාර්මික දිවි පැවැත්මේ වටිනාකම ඛුද්දක නිකායේ ථේර ගාථාහි ගෝදත්ත ථේර ගාථාවේ එන

ජීවිතං ච අධම්මේන
ධම්මේන මරණං ච යං
මරණං ධම්මිකං සෙය්‍යෝ
යං වේ ජීවේ අධම්මිකො

ලෙස පෙන්වා දී ඇත. ධාර්මික පැවැත්මක් නැති නම් ධාර්මික මරණය උතුම්. මෙය ඉතා දැඩි ප්‍රකාශයකි. දහමේ මෙලෙස පෙන්වා දුන්නත් අප සමාජයක් ලෙස අධාර්මික පැවැත්මට හුරුවී ඇත.

එනිසා රාජ්‍ය ධනය හා රාජ්‍ය සම්පත් සොරකම් කිරීම, බදු පැහැරහැරීම, බදු නොගෙවීම, මුදල්වලින් කරන වංචා, ද්‍රව්‍යවලින් කරන වංචා, මැනීම්වලින් කරන වංචා, වගාවෙන් කරන වංචා, ශ්‍රමයෙන් කරන වංචා, වංචාව උදෙසා බොරුකීම ආදී කී නොකී අනන්ත ප්‍රමාණයක් අධාර්මික ක්‍රියා සිදුකෙරෙයි. මෙය කොතරම් විකෘති ඇබ්බැහිකමක් ද කියතොත් මේ අධාර්මිකකම ම අද ධාර්මිකකම බවට පරිවර්තනය වී ඇත. මෙයට හේතුව ඉහළ සිට පහළට දුන් අධාර්මික ආදර්ශයයි. එය නිවැරැදි කරන්න නම් ඉහළ සිට පහළට නැවත ආදර්ශය දිය යුතු ය.

ධාර්මික බව මැනීමේ මිණුම් දණ්ඩ සංකීර්ණ නොවූ සරල එකකි. එය තම තම ඥානයේ තරමට තමාට ම මැන ගත හැකි ය. එවැනි මිණුම්දඬු 3 ක් ඇත.

අත්තව්‍යාබාධායපි න සංවත්තති

පරව්‍යාබාධායපි න සංවත්තති

උභයව්‍යාබාධායපි න සංවත්තති

පුද්ගලයා කවරෙක් වුවත්, කරන ක්‍රියාව හෝ කියන ප්‍රකාශය හෝ කුමක් වුවත් මෙකී මිණුම් දණ්ඩෙන් මැන ක්‍රියාත්මක කරන්නේ නම්, අපි ධාර්මික පුද්ගලයන් වීමට බාධාවක් නැත්තෙමු. අපට ඇත්තේ ක්‍රියා දෙකක් පමණි. භාසතිවා කරෝතිවා ලෙස දැක්වූ ආකාරයට කියන හා කරන යනුවෙනි. එසේ කියන කරන දේ අත්තව්‍යාබාධායපි න සංවත්තති ලෙස පෙන්වා දුන් ආකාරයට එම වදන් කරන හෝ ක්‍රියාව තමාට අවැඩ පිණිස නොවිය යුතු ය. අවැඩ පිණිස නොවන ලෙස භාවිතාවට නැඟීමට වග බලාගත යුතු ය. හිතාමතා දුරදිග බලා වැඩ කරන්න යැයි වැඩිහිටියන් බාල අයට දෙන අවවාදය තුළ ඇත්තේ ද මේ ධාර්මික පැවැත්මට පොළඹවන අනුබලයකි.

හිතාමතා දුරදිග බලා තමාට අවැඩ පිණිස වන දේ නොකීමට හා නොකිරීමට යමෙක් වගබලා ගන්නේ නම්, හේ ධාර්මික පුද්ගලයකුගේ පළමු පියවර සම්පූර්ණ කළ අයෙකි.

පරව්‍යාබාධායපි න සංවත්තති ලෙස දක්වා ඇත්තේ පෙර ලක්‍ෂණයේ කී පරිදිම අප විසින් කරන ක්‍රියා හෝ කියන වදන් අන්‍යයන්ට අවැඩ පිණිස නොවන ලෙස භාවිත කිරීමයි. එහිදී තමන්ට වැඩ දායක එහෙත් අන්‍යයන්ට අවැඩදායක දේ කිරීමට ද ධාර්මික මිණුම් දණ්ඩේ ඉඩක් නැත.

මත්ද්‍රව්‍ය වෙළඳාම විසින් තමන්ට ආදායම් වැඩිවන අතර තමන්ගේ ආර්ථික සමෘද්ධිය ඇති කර ගත හැකි ය. එනමුත් පාරිභෝගිකයාගේ ධනය මෙන් ම ජීවිතය ද විනාශ වෙයි. එවැනි දෑ ධාර්මික ක්‍රියා නොවෙයි. එහෙයින් තමන්ගේ කීම් හා කිරීම් කිසිලෙසකවත් අන්‍යයන්ට මෙන් ම තමන්ට ද අවැඩ පිණිස නොවිය යුතු ය.

උභයව්‍යාබාධායපි න සංවත්තති යන්නෙන් දක්වනුයේ තමාට හා අනිකාට යන දෙදෙනාට ම හානි පිණිස හෝ අවැඩ පිණිස හෝ නොවන ලෙස කටයුතු කිරීමයි.

ධාර්මික බවේ මිණුම් දණ්ඩ කුඩා සහ සරල සේ දැනුනට හා පෙනුනට භාවිතාව යෝනිසෝමනසිකාරයෙන් යුතු ව කළ යුතු ය. එසේ නොවන ඕනෑම අවස්ථාවක ගිහි හෝ පැවිදි හෝ වේවා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා ඕනෑම අයෙක් අධාර්මික වීම වැළැක්විය නොහැකි ය.

අපගේ ලාංකීය සමාජය ඇදවැටී ඇත්තේ එම අධාර්මික ආයෝජනයට හා පරිභෝජනයට යි. මෙවැනි අධාර්මික පැවැත්මට වඩා ධාර්මික මරණය යහපත් බව ගෝදත්ත තෙරුන් පවසන්නේ ධාර්මික බවේ අගය කෙතරම් ද යන්න පසක් කරමිනි.

මරණං ධම්මිකං සෙය්‍යෝ
යං වේ ජීවේ අධම්මිකො

යන අධාර්මික දිවි පැවැත්මට වඩා ධාර්මික මරණය උතුම් යන පාඨය අපගේ මේසය උඩ, කාර්යාලයේ, ආයතනයේ හෝ නිවසේ ආදර්ශ පාඨයක් ලෙස යොදාගන්නට වුව ඉතා කදිම ය, අර්ථවත් ය.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]