පලුගස්වැව ගමට ආලෝකයක් වූ
ආලෝක විහාරය
හබරන සිට කැකිරාව දෙසට ගමන් කරන මාර්ගයේ සුන්දර වෙල්යායකට මැදිව පලුගස්වැව මහවැවට
මායිම් ව පිහිටා ඇති දර්ශනීය පින්බිමකි ආලෝක විහාරය. මෙම විහාරස්ථානය ක්‍රි:වර්ෂ
1950 පමණ ආරම්භ වූවකි. ආදි කර්තෘන් වහන්සේ වන්නේ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක ව
වැඩ සිටි අපවත්වී වදාළ දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්දාභිදාන නායක ස්වාමින් වහන්සේයි.
උන්වහන්සේ වසර පහළොවක් පමණ මෙම විහාරස්ථානයේ වැඩ සිටිමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය
සඳහා සුවිසල් මෙහෙවරක් සිදුකළහ.
ශ්‍රී ධීරානන්දාභිදාන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන
දර්ශනපති රාජකීය පණ්ඩිත මහරඹෑවේ පාලිත ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ වෙසෙස්
දියුණුවක් ඇති කළහ.
සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම උන්වහන්සේගේ පළමු කාර්යය බවට පත්විය. එතැන් පටන්
අඩක් වැඩ නිම කොට තිබූ විහාර මන්දිරයේ ද සියලු වැඩ නිම කරන ලද්දේ උන්වහන්සේ විසිනි.
දහම්පාසල් දරුවන් තුන්සියයකට වැඩි පිරිසක් මෙම විහාරස්ථානය හා සම්බන්ධ ශ්‍රී රාහුල
දහම්පාසලේ අධ්‍යාපනය ලබන අතර, වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මැදිහත්වීමෙන්
දහම්පාසල් දරුවන් වෙනුවෙන් ගොඩනැඟිල්ලක් ද, ධර්මශාලාවක් ද ඉදිකොට ඇත.
වස් කාලය සඳහා වර්ෂ කිහිපයක් ම දායකත්වය ඇතිව කඨින පින්කම සිදු කළ අතර, පසුගිය
වර්ෂවල කඨින පින්කම්වල දායකත්වය දැරූ පින්වත් පිරිස විසින් විහාරස්ථානයේ සංවර්ධනය
වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකොට ඇත.
මෙම වසරේ කඨින පින්කම සඳහා අනුග්‍රහය දැක්වූ පිරිස සුවිසල් ධර්ම මන්දිරයේ වේදිකාව
කොටස ටයිල් අල්ලා එය සසුනට පූජා කරමින් පින්කම අවසන් කරන්නට යෙදුණහ.
මෙවර කඨින පින්කම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ කොළඹ ලේක්හවුස් ආයතනයේ බෞද්ධ
සංගමයේ සභාපති පි‍්‍රයන්ත විජේසූරිය මහතා සහ භාණ්ඩාගාරික පි‍්‍රයන්ත කුමුදුසිරි
මහතා විසින් සිය හිතවතුන්ගේ ද ආධාර උපකාර ඇතිව ය.
වස් ආරාධනාව පටන් ඉතා හොඳින් භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කරමින් වස් කාලයේ පින්කම්
සිද්ධ කර ගත් අතර වස් තුන් මාසය පුරා ධර්ම දේශනා මෙන් ම බෝධිපූජා පවත්වමින් ඉතා
සාර්ථක වස් කාලයක් අවසන් කොට විහාරස්ථානයට අඩු පාඩුවක් ව තිබු ජල පද්ධතියක් ද සවි
කරමින් කඨින පින්කම ඉතා හොඳින් සිදු කරන්නට යෙදිණි.
මේ සඳහා අනුශාසකත්වය විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ
ක්‍රමවත් ව සිදුවී ඇත.
මෙම විහාරස්ථානය දුෂ්කර ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයක් වන අතර, ගම්වාසී දායක පිරිස
ද, විහාරාධිපති ස්වාමින් වහන්සේ ද බාහිර දායක පිරිසකගේ සහභාගිත්වය හා දායකත්වය
සම්බන්ධ කර ගනිමින් විහාරස්ථානයෙහි සංවර්ධන කටයුතු සිදු කරන අතර, කඨින පින්කම භාර
ගැනීමට ද අවස්ථාව ඇත. |