[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුක්ඛිත සසරට මා කැඳවූයේ නුඹයි

දුක්ඛිත සසරට මා කැඳවූයේ නුඹයි

එදා, අද කියා වෙනසක් නැතිව එකලත් මෙකලත් සමාජයේ යහපත් දේ මෙන් ම අයහපත් දේ සිදු වෙනවා. එදා වගේම අදත් හොඳ මිනිසුන්, නරක මිනිසුන් සමාජයේ අපට මුණ ගැහෙනවා. එදා වගේම අදත් නරක මිනිසුන් හැමදාමත් නරක ආකාරයටත්, හොඳ මිනිසුන් හැමදාමත් හොඳ ආකාරයටත් ජීවිතය ගෙවන්නේ නැහැ. වෙනස් වෙනවා.

අප කාගෙත් සසර ගමන මහ පුදුමසහගත එකක්. විටෙක දුගතියේ, විටෙක සුගතියේ ඉපදීමට මූලික වන්නේ අපගේ සිතයි.

සාමාන්‍ය සිතක කුසල් මුල් වගේ ම අකුසල් මුල් ද පිහිටා තිබෙනවා. කුසල් මුල් බලවත් වෙද්දී අකුසල් මුල් යටපත් වෙනවා. අකුසල් මුල් බලවත් වෙද්දී කුසල් මුල් යටපත් වෙනවා. මගේත්, ඔබේත් හැම කෙනකුගේමත් හැටි එහෙම තමයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ සිත ප්‍රකෘතියෙන් ප්‍රභාෂ්වරයි. බාහිරෙන් එන උපක්ලේෂයන්ගෙන් කිළිටි වෙනවා. ඒ නිසයි සිත පරිස්සම් කර ගන්නට අපි පරිස්සම් වෙන්න ඕනෑ. සිත හරියට මායාකාරයෙක් වගේ. මේ සිතමයි අප යහපතෙහි යොදවන්නේත්, අයහපතේ යොදවන්නේත්. සිත හසුරුවන විදිහ අනුවයි අපගේ ජීවිතයේ ස්වභාවය තීරණය වන්නේ.

තාලපුට මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සිත දුටුවේ මේ ආකාරයට යි.

ඒයි සිත...! මම හැම තැනක දී ම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවල දී මං නුඹ ව කේන්ති ගැස්සුවේ නැහැ. මම තුළින්මයි නුඹ ඉපදුණේ. නුඹට කෙළෙහිගුණයත් නැහැ. ඒ නිසා බොහෝ කාලයක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරයට මා කැඳවා ගෙන ආවේ නුඹයි. ඒයි සිත.....! එක් කලෙක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසා ම මං සිටුවරයෙක් වුණා. නුඹ නිසා ම මම රජ වුණා. නුඹ නිසා ම වෙළෙන්දෙක් වුණා. නුඹ නිසාම දාසයෙක් වුණා. නුඹ නිසා ම මම දෙවියක් වුණ.

සිත, නුඹ නිසාම යි මම අසුර ලෝකයට, නිරයට, තිරිසන් ලෝකයට ගියේ. නුඹ නිසා ම ප්‍රේත ලෝකයටත් මට යන්න වුණා යි උන්වහන්සේ දමනය නොකළ තම සිත ගැන වදාළ සේක.

කිපුණ ලෝකයා සමඟ කිපුණොත්, ගැටෙන ලෝකයා සමඟ ගැටුණොත්, දොස් නඟන ලෝකයා සමඟ දොස් නැඟුවොත් ඒ තුළින් සිතේ උපදින කුසල් මුල් පෝෂණය වන්නේ නැහැ. ගිනි කාෂ්ටකයට පෑවිල්ල එද්දී, අනෝරා වැසි කඩා වැටෙද්දී ඒ තුළින් උපදින පීඩාව හමුවේ නොසන්සුන් වීම, කලබල වීම තුළින් හෝ කුසල් මුල් උපදින්නේ නැහැ. ඒ වගේ ම තමා තුළින් සිදු වූ අඩුපාඩු සිතමින් හෝ අනුන්ගේ අඩුපාඩුවලට චෝදනා කරමින් හෝ සිටියත් මේ සිතේ කුසල් මුල් ඉපදෙන්නේ නැහැ.

බුද්ධ ශාසනයක් ම හැර පිරිසුදු චේතනා ඇති කර ගන්නට වෙනත් කෙම්බිමක් ලෝකයේ කොහේවත් නැහැ. සසුන් පිළිවෙතින් වැඩී යන්නවුන්, වැඩී යන්නේ සොඳුරු මිනිස් ගුණ ධර්මයන්ගෙන්. සද්ධර්මය කියා කියන්නේ ගුණධර්මයන්ගේ මුදුන් පැමිණීම යි. ඒ පිරිස අන් අයගේ පොඩි ගුණ පවා ලොකුවට දකිනවා. එනිසා ම අන් අයට ඔවුන් ඇසුරේ සුව පහසුව සැලසෙනවා. ඒ පිරිස තමනුත් සුවපත් කර ගෙන අන් අයවත් සුවපත් කරනවා.

අප කාගේත් ජීවිතවල තෙතමනය තිබෙනවා. ඒ තෙතමනය නොසිඳී පවත්වා ගන්නටයි බුදුදහමේ පිළිසරණ තිබෙන්නේ. කල්‍යාණ මිතුරු ඇසුර තිබෙන්නේ. මිනිස් ජීවිතයක් ලැබුණු මේ වෙලාවේ වියැළී මිය යන්නට තරම් අප අවාසනාවන්ත විය යුතු නැහැ. එනිසා ලැබූ මේ මිනිස් ජීවිතය බුදු සසුනත්, කලණ ඇසුරත් මත පෝෂණය කර ගනිමින් සිත සුවපත් කර ගැනීමට අදිටන් කර ගනිමු.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]