සුවපත් මනසක් සුවබර දිවියක් -
20 කොටස:
සංවේදනා සමඟ
පැටලෙන්න එපා
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness
in plain English
(සතිමත් බව වැඩීම) කෘතියෙනි.
හතරවැනි පරිච්ඡේදයේ දී සාකච්ඡා කළ කරුණු අන් සියලු ම මානසික ස්වභාවයන් සේ ම වේදනාව
සඳහා අදාළ වනු ඇත. එම සංවේදනය පවතින ප්රමාණයට වඩා අඩු වැඩි නොකිරීමට ඔබ ප්රවේශම්
වන්න. එයට කිසිවක් එකතු නොකරනවා මෙන් ම එයින් කිසිවක් මඟ නොහරින්න.
එම ශුද්ධ අත්දැකීම සංකල්ප හෝ විසිරුණු සිතිවිලි මඟින් කිලිටි නොකරන්න. එහි
පටන්ගැන්ම හා අවසානය මඟ නොහැරෙන සේ ඔබගේ සිහිය, වේදනාව කෙරෙහි ම තබා ගැනීමට උත්සාහ
කරන්න. අවදිමත් බවෙන් වේදනාව නොදකින විට තරහ, බිය, කාංසාව වැනි හැඟීම් ප්රතිචාර
ඇති වේ. එය නිවැරැදි ව දකින විට, එවන් ප්රතිචාර පැන නොනඟිනු ඇත. එය සරල ශක්තියක්
වන සංවේදනයක් පමණක් ම වෙයි. ශාරීරික වේදනාව ආශ්රිත ව ඔබ මෙම ක්රමවේදය ඉගෙනගත් විට
අනෙකුත් ජීවිත අත්දැකීම් කෙරෙහි ද ඒවා පාවිච්චි කළ හැක. සියලු ම අමිහිරි ඇත්දැකීම්
සඳහා ම ඔබට එය භාවිත කිරීමට පිළිවන. වේදනාව සඳහා ප්රතිඵලදායී වන ක්රම කාංසාව හෝ
විශාදය සඳහා ද යහපත් ප්රතිඵල ලබා දෙනු ඇත. මෙම උපක්රමය ජීවිතයට ඉතාමත්
ප්රයෝජනවත් දක්ෂතාවයකි. එය ඉවසීමයි.
දෙපා හිරිවැටීම
දෙපා හිරිවැටීම ආධුනික භාවනානුයෝගීන් මුහුණ දෙන පොදු ගැටලුවකි. එරමිණියා ගොතා ගෙන
වාඩිවීම ඔවුනට නුපුරුදු ඉරියව්වක් වීම මෙයට හේතු වෙයි. මේ පිළිබඳ ව සමහරු මහත්
කාංසාවක් ඇති කර ගනිති. නැඟිට එහා මෙහා සක්මන් කළ යුතු බව ඔවුනට හැඟෙයි. රුධිර
සංසරණය අඩාල වීම නිසා දෙපාවල මාංශ පේශී නරක් වනු ඇතැයි සමහරු විශ්වාස කරති.
දෙපා හිරි වැටීම සිත් කරදර ඇති කර ගැනීමට හේතුවක් නොවේ. එසේ වන්නේ රුධිර සංසරණය
දුර්වල වීම නිසා නොව ස්නායුවක් තද වීම නිසා ය. වාඩි වී සිටීමෙන් ඔබගේ දෙපාවල මාංශ
පේශීන්ට කිසිදු හානියක් සිදුනොවන බැවින් සන්සුන් වන්න. භාවනාවේ දී දෙපා හිරිවැටීම
සිදුවුව හොත් හුදෙක් ම, සිහියෙන් එය නිරීක්ෂණය කරන්න. එවිට ඇතිවන දැනීම් මොනවාද
කියා සිහියෙන් විමර්ශනය කරන්න. එය අපහසුවක් විය හැකි නමුත් ඔබ මස්පිඬු දැඩි නොකරනවා
නම් වේදනාවක් ඇති විය නොහැක. සන්සුන් ව එය දැක ගන්න.
දෙපා හිරිවැටීම නොසලකා, මුළු කාලය තුළ ම එසේ වාඩි වී සිටින්න. භාවනා පුහුණුවේ
යම්කිසි කාලයකින් පසුව ක්රමක්රමයෙන් හිරිගතිය ඉවත් වනවා ඇත. දිනපතා පුහුණුවට ඔබගේ
සිරුර හැඩගැසෙයි. එවිට හිරිවැටීමක් නැති ව ඔබට දිගුª කාලයක් වාඩි වී සිටීමට හැකි
වනු ඇත.
නානා විධ සංවේදනා
භාවනාවේ දී, පුද්ගලයින් විවිධ ආකාරයේ හැඟීම්, දැනීම් අත්දකියි. සමහරුන්ට කැසීම්
ඇතිවිය හැකි අතර, තවත් සමහරුන්ට පුපුරු ගැසීම, ගැඹුරු සන්සුන් බව, සැහැල්ලු බව හෝ
පාවෙනවා වැනි හැඟීමක් දැනිය හැකියි. ඔබ ව විශාලවීම හෝ හැකිළීම හෝ ඉහළට එසවීම හෝ
වැනි දේ ද දැනිය හැකි ය. මෙවැනි සංවේදනා, භාවනා කරන ආධුනිකයින් නිතර ම කලබලයට පත්
කරයි. කලබල නොවන්න. මෙතරම් කඩිනමින් ඔබ අහසින් යන්නේ නැත. ඔබගේ සන්සුන් වීමත් සමඟ,
ස්නායු පද්ධතිය අතර පණිවිඩ හුවමාරුව වඩාත් කාර්යක්ෂම ව සිදුවීමට පටන් ගනියි. කලින්
හිරවී තිබූ විශාල ප්රමාණයක ඉන්ද්රිය සම්බන්ධ වූ දත්ත ගලා යෑමේ දී මෙවැනි අද්විතීය
සංවේදනා ඉපදීමට පිළිවන. කිසියම් සුවිශේෂී පණිවිඩ ලබා නොදෙන ඒවා, හුදෙක්ම සංවේදනා
පමණක් ම වෙයි. ඒවා ඇති වී, කෙමෙන් නැති වී යන ක්රියාවලිය සෙමෙන් නිරීක්ෂණය කරන්න.
ඒවා සමඟ නොපැටලෙන්න.
මීළඟ කොටස
උඳුවප් පුර පසළොස්වක පෝදා කලාපයේ |