තම තම නැණ පමණින් දැන ගත යුතු
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
එක් කලෙක රුක් දෙවියෙක් ව උපන් බෝධි සත්ත්වයන් වහන්සේ හිමාලයේ සල් වනයක විමානය
සෑදුහ. නෑ හිතමිතුරන්ට ද ඒ අසල විමන් සදන්නට කීහ. සමහරු අවවාදය පිළිගත්හ. සමහරු ඊට
නොකැමැති ව ගම්නියම් ගම්හි, මහ මඟ අසල රුක් ගොමුවල විමාන සෑදූහ. දිනක් සුළඟ සමඟ මහ
වැසි ඇදහැළුණි. ගම්නියම්ගම්හි ගස් ඉදිරී වැටිණි. එහෙත් හිමාලයේ සාල වනයේ එකම සල්
ගසක් හෝ ඉදිරී නොවැටුණි
කවුරු කොහොම කෙසේ කීවත් අද අපේ රටේ පවතින්නේ ආර්ථික පරිහානියක් නොවෙයි. බුදුදහමේ
උගන්වන ප්‍රධාන ඉගැන්වීම හේතුඵල ධර්මතාවයි. අපි බලන්නට ඕන මොකද අපේ මේ ධර්මද්වීපයට
වුණු පරිහානිය කියලා. හේතුව කියලා.
සැබෑවට ම සිදුව ඇත්තේ සමාජ පරිහානියක්. ඒකට අප විසින් කළ යුතු වන්නේ කුමක්ද තේරුම්
ගැනීම යි අද දවසේ අපේ කාර්යභාරය.
සැබැවින් ම මේ සමාජ පරිහානිය සෑම අංශයකින් ම පැහැදිලි වෙනවා. බාල මහලු, ගිහි
පැවිදි, ස්ත්‍රී පුරුෂ, ගුරු ශිෂ්‍ය, පාලක පාලිත, අඹුසැමි යන මේ විවිධාකාර සමාජ
කණ්ඩායම් තුළින් එය අපට පැහැදිලි වෙනවා. මෙහි පැහැදිලි හේතුව තම තමන්ගේ යුතුකම් හා
වගකීම් තේරුම් නොගෙන ක්‍රියා කිරීම යි.
අද මුහුණු පොතේ සංසරණය වෙන කරුණක් මම මෙහි දී නිදසුනක් ලෙස උපුටා දක්වන්නට කැමතියි.
ධර්මයේ එන ඉගැන්වීම්වලට අනුව කඨින චීවර පූජාව අතිශයින් ඉහළ ම පිනක් ලබා ගත හැකි වගේ
ම අපේ සැදැහැති බෞද්ධ උපාසක උපාසිකාවන් මහ ඉහළින් ම සිදු කරන පූජාවක්. අටමහ
කුසල්වලට ගැනෙන පළමු මහා පින්කම. ඒකට හේතුව තමා එම පින්කම සිදු කිරීමේ දී අනුගමනය
කළ යුතු වත් පිළිවෙත් සමුදාය. එහෙම වුණත් අද ඇතැම් වෙහෙර විහාරස්ථානවල කඨින පින්කම්
නමින් සිදුවන ධර්ම විරෝධී ක්‍රියාකාරකම් කෙතෙක් නම් දුරට ශාසනික පරිහානියට හේතු
වනවා ද යන්න විමසා බැලිය යුතු නොවේ ද? අද දවසේ ජීවත් වන දරුවා කඨින පින්කම කියලා
ඉගෙන ගන්නේ මොනතරම් වැරැදි පිළිවෙත් සමුදායක් ද? කඨින සඳහා යොදා ගන්නා වස්ත්‍රයක්
කෙසේ නම් ප්‍රසිද්ධියේ දින ගණන් තැන තැන තැන්පත් කරමින් ශාසන විරෝධි, විනය විරෝධි
පෙරහර කිරීමට හැකි ද? කිනම් ඉගැන්වීමක ද එය සටහන් වන්නේ.?
පන්සලේ හාමුදුරුවන්ගෙන් අසා දැන ගෙන, එහි වත පිළිවෙත තේරුම් ගෙන ම ක්‍රියා කළ යුතු
නොවේ ද? පන්සලේ හාමුදුරුවෝ දායක පක්ෂය වෙනුවෙන් නිවැරැදි පිළිවෙත මහත් ශ්‍රද්ධාවෙන්
අනුශාසනා කරනවා නම් මේ වැරැදි මඟ යනවා ද? මේවා අද දවසේ විමසා බැලිය යුතු නොවේ ද?
එසේ නම්, පන්සලේ හාමුදුරුවෝ තමන් අනුශාසකයෙක් වශයෙන් තම වගකීම නිවැරැදි ව ඉටු කරලා
නැති බව නොවේ ද පෙනෙන්නේ. නොදන්නා පිරිසක් කඨින පින්කම ගැන ඉගෙන ගන්නේ වැරැදි
පිළිවෙතක් නොවේද?
මේ ආකාරයෙන් ම වෙනත් බොහෝ දේ කෙරෙහි ද අප විමසා බැලිය යුතු ව පවතිනවා. ඒ නිසා තමයි
සමාජයක අභිවෘද්ධිය හා මනා ජීවන පැවැත්ම තහවුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ
සිඟාලෝවාද සූත්‍රය දේශනා කර තිබෙන්නේ.
මහා මංගල සූත්‍රය, පරාභව වැනි දේශනාවන්ගෙන් ද පැහැදිලි කර තිබෙන්නේ සමාජයේ මේ කියන
උසස් ජීවන තත්ත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය මාවත හෙළි පෙහෙළි කර දීම යි.
අද බොහෝ දෙනා කතා කරන ගිහි විනය මෙම සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එදා සිඟාල කියන මේ
ගෙහිමියා සදිසාවන්ට නමස්කාර කරන අයුරු දුටු බුදුරජාණන් වහන්සේ එම සදිසාවන්හි අර්ථය
පැහැදිලි කරමින් මේ සූත්‍රය දේශනා කළා. පළමුවෙන් ම පුද්ගලයා සතර කර්ම ක්ලේශවලින්
මිදුණ අයෙක් වෙන්න ඕන. ඒ අනුව සත්ව හිංසනයෙන් තොර වීම, හොරකම් නොකිරීම, කාමයෙහි
වරදවා නොහැසිරීම, බොරු කීමෙන් වැළකීම කියන මේ චර්යාවන්ගෙන් වෙන් ව යම් කෙනෙක් ජීවත්
වෙනවා නම් එවැනි අයගෙන් ගොනු වෙච්ච සමාජයක් කොපමණ නිවැරැදි වෙනවා ද? එහෙත් අද හොරකම
සැම අංශයක ම ඔඩු දුවලා තිබෙන්නේ. එතන වංචාව, දූෂණය, අල්ලස, කප්පම් ගැනීම කියන මේ
සෑම දුෂ්චරිතයක් ම ඇතුළත් වෙනවා. කාමයෙහි වැරැදි ලෙස හැසිරෙනවා කියන්නේ හුදෙක්
පරඅඹු, පරසැමි සේවනය පමණක් නොවේ. මෙයට අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්
පිනවීමත් අයත්. මේ ඉන්ද්‍රිය පිනවීමට ගන්නා උත්සාහය නිසා කොපමණ නම් දුරට සදාචාර
විරෝධි ක්‍රියාවන්ට පෙළඹිලා ද යන්න කාට වුවත් සමාජය තුළින් තේරුම් ගන්නට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ සදිසාවන්ට ආරෝපණය කර දක්වන ආයතන හා පුද්ගලයන් සමාජයක ප්‍රගතිය
පිණිස හේතුවන යුතුකම් ඉටු කිරීම හා වගකීම් දැරීම තුළින් කෙතරම්දුරට සමාජයේ සෑම
අංශයක ම ප්‍රගතිය උදා කර ගන්නට හැකියාව පවතිනවා ද යන්න පැහැදිලි කර ගන්නට ඕනෑ.
සදිසාවන්ට අරෝපණය කර තිබෙන මව්පියන් (නැඟෙනහිර), ගුරුවරු (දකුණ), අඹුදරවෝ (බටහිර),
මිත්‍රයෝ (උතුර) දැසිදස් කම්කරුවෝ(යට) මහණ බමුණෝ(උඩ)මේ එක් එක් කොටසෙන් ඔවුන්ට හිමි
යුතුකම් ඉටු විය යුතු වෙනවා. ඒක තමා බුද්ධ දේශනාව. ඉතින් ඒ අනුව පළමු වැනි කොටස
පමණක් ගත්තොත්, මව්පියන් දරුවන් බිහි කරනවාට එහා ගිය කොපමණ කාර්යභාරයක් ඉටු කළ යුතු
ද? අද සමාජයේ දුරාචාරය දෙස බැලුවොත් මව්පියන් දරුවන් එක මේසයට වී මත්පැන් බොනවා
නම්, වෙනත් දුරාචාරයන්හි යෙදීම හෝ ඊට අනුබල සපයනවා නම් තමන් දරන මාතෘත්වය, පිතෘත්වය
ගැන ඔවුන් අවබෝධයෙන් ක්‍රියා කරනවා ද ? සමාජයේ මත් උවදුර කෙතරම් බහුලද ? ඒ නිසා රටේ
පරිහානිය සාමාජික අංශයෙන් පමණක් නොව ආර්ථික පැත්තෙන් කොතෙක් දුරට පහළ අඩියකට වැටී
තිබේ ද? මේ ගැන සිතිය යුතු නොවේ ද? මේවා සියල්ලෙන් රට මුදවා ගැනීම රජය කියන
සංස්ථාවට පමණක් කළ හැකි දෙයක් ද? සමස්ත රට වැසියාගේ ම ආකල්පමය වෙනසක් කළ යුතු ව ඇත.
එයට අපේ රටේ වැඩිහිටියන් , ගුරුවරුන්, මව්පියන්, පූජ්‍ය පක්ෂය කෙතරම් දුරට සිය
යුතුකම් පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු නොවේ ද?
අප වැරැදි මඟ කියා දුන්නොත් අනුගාමික පිරිස ඒ මඟ ගමන් ගන්නවා. එහෙම වුණහම අප විසින්
සමාජයට සිදු කර ඇති අපරාධය කෙතරම් ශෝචනීය ද? වැරැදි ක්‍රම සහිත, බුදුබණට හාත්පසින්
ම විරුද්ධ අද ඇතම් ස්ථානවල සිදු කෙරෙන, ආගමික ස්වරූපයෙන් ක්‍රියාත්මක වන උත්සව නිසා
ජනතාව කෙතරම් දුරට විකෘති කළ දහමකට අප යොමු කර තිබේ ද යන්න තුළින් මේ කරුණ මුලින් ම
පැහැදිලි කර දුන්නෙත් ඒ නිසයි. |