[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිවනින් සැනසිය හැකි මහානීය පින්කම

නිවනින් සැනසිය හැකි මහානීය පින්කම

අනුජානාමි භික්ඛවේ, වස්සං වුත්ථානං භික්ඛුනං අත්ථරිතුං,

‘කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි-දැඩි, කඨෝර, ශක්තිමත් බවක් අඟවයි. මහමෙර සෙලවුණත්, මහ පොළොව කම්පිත වුණත්, වජිර පර්වතය සිඳ-බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නො සිඳෙයි.

ආනන්තරීය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට හෝ යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන් ව හොඳීන් වස් ආරක්ෂා කර ගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට කඨිනයක් ලැබිය හැකි ය. දෙවියකු, මනුෂ්‍යයකු, භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයකු, සාමණේරියක, ශිෂ්‍යමාණවකයකු යන අය විසින් දෙනු ලබන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වෙයි.

වස්ත්‍ර යනුවෙන් සඳහන් කළාට සියලු වස්ත්‍ර වර්ග කඨිනය සඳහා ගැනීම කැප නැත.

“කඨින” යන වචනය කථ ධාතුවෙන් උපන්නෙකි. කථ ධාතුවෙන් පරව ඉන ප්‍රත්‍ය යෙදීමෙන් කථ ධාතුවෙහි ඇති ‘ථ’ හට ‘ඨ’ වී කඨින යන්න සෑදී ඇත.

එසේම විනයත්ථ මංජුසා ටීකාවේ දැක්වෙන්නේ සංගණනාර්ථ කථ ධාතුවෙන් පසු ‘ඉන’ ප්‍රත්‍ය යෙදීමෙන් පසු ‘කථ’ ධාතුවේ ‘ථ’ කාරයට ‘ඨ’ කාරය ආදේශ වීමෙන් කඨින යන්න සෑදුණු බවයි. කථ ධාතුවෙහි අර්ථ දෙකක් ඇතුළත් ව ඇත. එක්රැස් වන සංගණනාර්ථය හා කිසිකලෙක වෙනස් නොවන ස්ථිරාර්ථය ද ඇත.

මෙයින් පළමු වැනි අර්ථය මෙසේ සලකා බැලිය හැකි ය. කඨින චීවරය යනු ඉහත දැක් වූ අර්ථ ද්වය ම එක්කළ අවස්ථාවකි. එහි මුල් අවස්ථාව කුසල චිත්තුප්පාදය පාදක කොට ගත් වස් ආරාධනාවයි. එහි මධ්‍ය අවස්ථාවෙහි හා අවසාන අවස්ථාවෙහි එම කුසලය වර්ධනය වී කාමාවචර මහාකුසල සිත්වලින් ම පිරිසුදු වීමෙන් සංග්‍රහ වන්නේ ය.

එසේ ම පැවිදි පක්ෂය ද, වස් ශික්ෂාපද ආරක්ෂා කර කඨිනයෙන් ලබන ආනිසංස ද සංග්‍රහ වන්නේ ය. මෙසේ ගිහි පැවිදි දෙපක්ෂය ම මහා කාමාවචර කුසල් සිත්වලින් සංග්‍රහ වන හෙයින් කථ ධාතුව එක් රැස්වන සංගණනාර්ථයෙහි යෙදෙන බව පැහැදිලි වේ.

කඨින චීවර පූජාව

ආනිශංසදායි වන්නේ එම පූජාව තුළින් ලද හැකි, ලැබෙන ප්‍රතිඵල පදනම් කොට ගෙන ය. සිත් සමූහයක එකතුව, සමූහයක කායික ශ්‍රමය මේ පින්කම කිරීමට යෙදේ.

භික්ෂූන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ව තමන් සමාදන් වූ ශික්ෂා පදය ආරක්ෂා කරති. මේ කාලයේ දායක දායිකාවෝ ද දැඩි ශ්‍රද්ධා භක්තියෙන් යුක්ත ව උන්වහන්සේට සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විවිධ පින්කම්හි නිරත වෙති. බෝධි පූජා, බුද්ධ පූජා, පිරිත් දේශනා ආදී පින්කම් කරති. දන් දෙති. බණ අසති. සිල් සමාදන් වෙති. භික්ෂූන් වහන්සේ මෙන් ම දායක දායිකාවනුත් වෙනදට වඩා ආමිස ප්‍රතිපත්ති පූජාවල යෙදෙති. මේ සාමූහික චිත්ත ශක්තිය, මේ සාමූහික ශ්‍රමය ගොනු වන්නේ එක අරමුණකට ය. ඒ කඨින චීවර පූජාවට ය.

මෙහිදී විශාල කාලයක් මුළුල්ලේ තමන්ගේ පින් සිත පවත්වා ගනී. මේ සාමූහික චිත්ත ශක්තිය, සාමූහික ශ්‍රම ශක්තිය, යහපතෙහි යෙදවූ කාලයෙහි ශක්තිය බලවත් ය. ස්ථිර ය, අචල ය, ශක්තිමත් ය.

වර්තමානයට වඩා පෙර දිනවල මෙම ශ්‍රමාභිමානය වඩාත් මේ පූජාව තුළ දක්නට තිබුණ බව අතීත පුවත් තුළින් හෙළි වේ. පෙර රජ දවස කපු පුළුන් ගෙන, නූල් අඹරා, එදින ම වස්ත්‍රය සකස් කොට එම වස්ත්‍රය තුළින් සිවුරක් සකස් කොට පූජා කළ බව සඳහන් ය. මේ ක්‍රියාදාමයට විශාල පිරිසක් එකතු වෙයි. මෙම සාමූහික ශ්‍රමයේ ශක්තිය නිසා මෙම පින්කම මහානර්ඝ පින්කමක් බවට පත්වූවාට සැක නැත.

එමෙන් ම මෙම පින්කම පදනම් කොට ගෙන විවිධ පින්කම් කළ හැකි ය. වස් තුන්මස තුළ එම ආරාමයේ අභිවෘද්ධිය උදෙසා කැප විය හැකි ය. ආරාමික දියුණුව යනු සම්මා සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම උදෙසා කරන්නකි. මෙම කරුණ පදනම් කොට ගෙන මෙම පින ස්ථිර ශක්තිමත් පින්කමක් වූවාට සැක නැත.

එමෙන් ම කඨින චීවරය පූජා කරන අවස්ථාවේ දී ඊට එක්කර ඕනෑම දෙයක් විහාරස්ථානයට පූජා කළ හැකි ය. එසේ පූජා කළ නොහැක්කේ ගැහැනු දරුවකු පමණි. කෙනකුට අවශ්‍ය නම් තම පිරිමි දරුවා පැවිදි කිරීම උදෙසා මෙම පින්කමේ දී පූජා කළ හැකි ය.

ඊට අමතර ව විහාරස්ථානයට අවශ්‍ය භික්ෂු මහා සංඝරත්නයෙහි පැවැත්මට පහසුකම් සලසන ඕනෑම දෙයක් එහිදී පූජා කළ හැකි ය. ඒ සෑම පූජාවක් සඳහා ම එක හා සමාන පිනක් ලැබෙයි.

මුදල් හෝ බලය තිබූ පමණින් කඨින චීවර පූජාවක් කළ නොහැකි ය. උපසම්පදා භික්ෂුවක් වස් ශික්ෂාපදය සමාදන් වී මහා පවාරණයකින් පවාරණය වූ පසු පමණයි කඨින චීවරයක් පූජා කළ හැක්කේ. එම පූජාව ද චීවර මාසය වශයෙන් හඳුන්වන වප් පෝයෙන් පසු ඉල් පෝය දක්වා වූ මාසය තුළ පමණක් කළ හැකි අතර, අනෙක් පින්කම් සේ ඕනෑම අවස්ථාවක කළ නොහැකි ය. එසේම එක් විහාරස්ථානයක එක් අවුරුද්දක් තුළ එක් කඨින පින්කමක් පමණක් කළ හැක්කේ ය. මෙම කරුණ පදනම් කොට ගෙන කඨින පින්කම අනෙක් පින්කම්වලට වඩා අභිමානවත් වේ. එදිනට වුවත් කඨින නාමයට යොදා සිවුරු රාශියක් පූජා කළ නොහැකි ය. කඨින නාමය ලබන්නේ විනයානුකූල ව මසන ලද එක් සිවුරකි. එහෙයින් ම මෙම පින්කම ශක්තිමත් වේ.

කොතරම් සිවුරු පූජා කළත් කඨින චීවර පූජාවේ ආනිසංස ඉක්මවා යා නොහැකි ය. මෙම මහඟු පින්කම කෙතරම් වස්තුව, බලය, ශක්තිය තිබුණත්, පිරිවර සිටියත් කිසිවකුට සිතෙන සිතෙන අවස්ථාවක සිදු කර ගත නොහැකි පින්කමකි. තවද, එක් විහාරස්ථානයක මෙම පින්කම සිදුකළ හැක්කේ වසරකට එක වරක් පමණි. එය ද කළ හැකි වන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේනමක් තුන් මාසයක් එහි වස් වසා, වස් සික පද කඩ කර නොගෙන ආරක්ෂා කර ගෙන සිටියහොත් පමණි.

කඨින නාමයෙන් පූජා කළ හැක්කේ ද එක සිවුරක් පමණි. විනය කර්මයක් මඟින් සංඝරත්නය වෙත පැවරීම සිදු කරන්නේ මේ කඨින චීවරය යි. පූජා කරන සැදැහැවතුන්ටත්, කඨින චීවරය ලබා ගන්න භික්ෂුන් වහන්සේටත් මහත් වූ ආනිසංස ලැබෙන උදාර පින්කම ද මෙයයි.

මහපොළව අකම්පීය ගුණයට උපමාවකි. මහපොළව බුදු කෙනකුන් ලොව පහළ වීම වැනි ආශ්චර්යවත් සංසිද්ධීන් හැරුනු කොට වෙනත් කිසිදු අවස්ථාවක කම්පා නොවෙයි. භූමි කම්පාවක් සිදු වුණත් ඒ සමස්ත මහපොළව නොවේ. කුඩා ප්‍රදේශයකි.

කඨින චීවර පූජාවෙන් ලැබෙන පිනත් මහපොළව වගේ අකම්පිය ගුණයෙන් යුක්තයි. ස්ථිරයි.

මහාමේරුව නම් වූ සංකල්පීය පර්වතය නිශ්චල බවේ සංකේතය යි. කල්ප අවසානයේ දී හමන වේරම්භ වාතයට විශාල කඳු පවා පුංචි ගල්කැට සමාන ව ඉදිරී, සුළඟේ පාවී යයි. එහෙත් මහාමේරු පර්වතය වේරම්භ වාතයට සෙලවිය නොහැකි ය. කඨින චීවර පූජාවෙන් ලැබෙන පින ද එසේ අචංචල වේ.

පාෂාණ අතර ශක්තිමත් ම පාෂාණය දියමන්ති වේ. ශක්තිමත් දළ ඇති නාඹර හස්ති රාජයකුට ද දළින් ඇන දියමන්තිය කඩන්නට තැත් කළොත් දළ කැඩුණත් දියමන්තියෙන් බිඳකදු කඩා ගත නොහැකි ය. දියමන්තිය එ තරම් ම ශක්තිමත් ය. කඨින චීවර පූජාවෙන් ලැබෙන පින ද ඒ ලෙස ම ශක්තිමත් ය. අකම්පිය ගුණය, නිශ්චල ගුණය හා ශක්තිමත්භාවය පදනම් කොට ගෙන ම “කඨින” යන ව්‍යවහාරය මේ සඳහා ගෙන ඇත.

මේ කඨින චීවර පූජා කරන සමය යි. මෙකල බොදුනුවෝ මේ පින්කමෙහි නිරත වෙති. ඒ නිසා ම විවිධ අය මෙම පූජාව පිළිබඳ ව විවිධ අදහස් දක්වති. මෙය මහා පින්කමක් නොවන වගත්, මෙයින් නිවන් දැකිය නොහැකි බවත් මේ අය ප්‍රකාශ කරති. කවුරු කෙසේ කීව ද මෙම පින්කම කාමාවචර පින්කම් අතර මහා පින්කමකි. ලෞකික සැප සම්පත් උපරිමෙන් ලැබිය හැකි පින්කමකි. එමෙන් ම නිවනින් සැනසිය හැකි පින්කමකි.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]