[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

තෙරුවන් උදෙසා පූජෝපහාර පිදෙන කොළඹ නවම් මහ පෙරහර අසිරිය

ජාතියේ අභිමානය, හෙළ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වමින් දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරය දිනූ උතුම් සංස්කෘතික මංගල්‍යය, කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර අද (05) සහ හෙට (06) උත්කර්ෂවත් ලෙස වීදි සංචාරය කෙරේ. කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ගංගාරාමාධිකාරී ආචාර්ය රාජකීය පණ්ඩිත කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙවර නවම් මහ පෙරහර ලක්වැසි, ලෝ වැසි දනන් වෙත සෙත් ප්‍රාර්ථනා කරමින් ආගමික පූජෝපහාර පුදනු ඇත. ඓතිහාසික වශයෙන් ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ මේ පින්බර පෝදා තෙරුවන් උදෙසා පිදෙන පූජෝපහාරයක් ලෙස ලක්වැසි, ලෝ වැසි දනන්ගේ නෙත් සිත් අමන්දානන්දයටත්, ගෞරවාදරයටත් පත් කරමින් මෙවරත් කොළඹ නවම් මහා පෙරහර අසිරි මවයි. අතීත ශ්‍රී විභූතිය හා සම්බුදු දහමින් සුපෝෂිත හෙළ සංස්කෘතික වටිනාකම් විදහා දක්වමින් වීදි සංචාරය කරන නවම් මහා පෙරහරේ සුවිශේෂත්වයන් අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති සධාතුක කරඬුව වැඩමවීම, බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීම, පන්සාළිස් වසක් පුරා තථාගත ශ්‍රී මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය සංකේතවත් කරමින් ධර්ම පුස්තක වැඩමවීම ප්‍රධාන ය. අලි ඇතුන්ගෙන් සාඩම්බරණීය වන නවම් මහ පෙරහර උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්වලින් හා ජන නැටුම් ඇතුළු විවිධ කලාංගයන්ගෙන් විචිත්‍රවත් වෙයි. නවම් පෙරහරේ ශ්‍රී විභූතිය ඇස ගැටෙන කවරකුට වුව ද ගංගාරාම විහාරස්ථානයේ ආගමික, ශාස්ත්‍රීය හා සාමාජික සේවාවන් අමතක කළ නොහැකි ය. පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් බිහි කළ යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින විහාරස්ථානය ගංගාරාමයයි.


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 04 සෙනසුරාදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා
05 ඉරිදා අ.භා. 11.59 න් ගෙවේ.
05 ඉරිදා. සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]