UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

බටුගොඩ සංකිච්චායන නා හිමි

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, එම කාරක සංඝ සභාවේ කාරක සංඝසභික මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති, හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය සහ මාවතගම ධර්මවිජයාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ ආශිර්වාද පින්කමක් ඇතුළු ආගමික වැඩසටහන් මාලාවක් දෙසැම්බර් මස 16 වෙනි දින ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරයේ දී පැවැත්විණි.

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරී වශයෙන් හාරිස්පත්තුවේ දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පරිවේනාධිපතින් වහන්සේ නමක් ලෙස ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් පරිපූර්ණ සිසු පරපුරක් ඇති කිරීමට ක්‍රියා කර ඇති බටුගොඩ සංකිච්චායන නා හිමි, මහනුවර මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ පිරිවෙනින් මූලික ධර්ම ඥානය ප්‍රගුණ කර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා මධ්‍යම පළාතේ පිරිවෙන් කිහිපයක ධර්මාචාර්ය වශයෙන් සේවය කර ඇත. මෙයට වසර දහතුනකට ඉහතදී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් කේන්ද්‍රස්ථානය කරගෙන සිරි මහ බෝ පදනම ආරම්භ කිරීමට මූලිකව ක්‍රියා කළ මහා සංඝයාවහන්සේලා අතර බටුගොඩ සංකිච්චායන නාහිමියෝ ප්‍රධාන තැනක් ගත්හ. සිරි සිදුහත් භික්ෂු පදනම ආරම්භ කිරීමත් එහි ප්‍රතිඵලයකි. රටට, ජාතියට ආසිරි පතා රටේ සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් ජයසිරිමහ බෝ සමිඳුන් අභියසදී මහ බෝ වන්දනාව වාර්ෂිකව පැවැත්වීමේ ආගමික වැඩසටහනේ සංවිධාන කටයුතුවල මූලිකව ක්‍රියා කරයි. මෙම ආගමික වැඩසටහන 13 වෙනි වතාවටත් මෙවර 2018 ජනවාරි 20 වෙනි දින පැවැත්වේ.

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය අංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්කර ශ්‍රී සුභද්‍රා දහම් පාසල දියුණු කර උසස් ප්‍රතිඵල දක්වා ඇත. ශාස්ත්‍රවේදී බටුගොඩ, සංකිච්චායන නාහිමිපාණන්ට දීඝායුෂ පතමු.


ඕතලාවේ ඉන්දසුමන හිමි

ඓතිහාසික පුලතිසිපුරවරයේ පිහිටි ඕනෑගම 14 ඇළ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ නිර්මාතෘ හා ආරම්භක විහාරාධිපතීන් වහන්සේ මොරපේ, පේමානන්ද හිමියන් ය. උන්වහන්සේ ඕනෑගම ගම්මානයට වැඩම කොට ,මාස තුනක කාලයක් වස් සමාදන් වී ඇති අතර,ඉන්පසුව ශ්‍රී සුධර්මාරාමය පිහිටි පින්බිමේ කුඩා ආවාස ගෙයක් ඉදිකරගෙන වැඩ සිටිමින් හැකි අයුරින් තම ශාසනික මෙහෙවර සිදුකර ඇත. උන්වහන්සේගේ අපවත්වීමත් සමඟ කඩින් කඩ ස්වාමීන්වහන්සේලා කිහිප නමක් වැඩ සිටියහ.

1971 දී නින්දපැල්ලේ ඉන්දසාර ලොකු හාමුදුරුවන් වැඩම කර ඕනෑගම ගම්මානයේ වසර 15 ක් පමණ වූ කාලයක් වැඩ සිටිමින්, ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය ගොඩනැගීමටත්, ඒ හරහා සිදුකළ අමිල ශාසනික සේවයටත් කාගේත් ගෞරවය හිමිවිය යුතු ය.

එලෙස විශාල වූ ශාසනික මෙහෙවරක් සිදුකරමින් සිටි නින්දපැල්ලේ ලොකු හාමුදුරුවෝ 1986 ජනවාරි මස 17 වෙනි දින අපවත්වූහ. උන්වහන්සේගේ අපවත්වීමත් සමඟ 1989 අගෝස්තු 12 දින සිට මේ දක්වා විහාරාධිපතීන් වහන්සේ ලෙසින් කටයුතු කරනු ලබන්නේ ශාස්ත්‍රපති ඕතලාවේ ඉන්දසුමන හිමියන් විසිනි.

ශාස්ත්‍රපති ඕතලාවේ ඉන්දසුමන හිමියන් මේවන විට පොලොන්නරුව, කාළිංග ඇළ විජයරාජ මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බී.ඒ.ගෞරව ,එම්.ඒ,අධ්‍යාපන ඩිප්ලෝමා යන උපාධි හිමිකර ගත් හිමිනමකි. 2014 දී ධර්මප්‍රචාරක කටයුත්තක් සඳහා ඩුබායි රටට වැඩම කළ උන්වහන්සේට මේ හැම දෙයක්ම සිදුකරන්නට ලක්ෂපාන කමලානන්ද සහෝදර හාමුදුරුවන්ගෙන් විශාල ශක්තියක් ලැබී ඇත.

උන්වහන්සේගේ දැනුම, උත්සාහය හා කැපවීම මත ඕනෑගම පන්සලට අවශ්‍ය සියලු විහාරාංග ලබාදීමට හැකියාව ලැබී ඇත.


රොලව ශ්‍රී විජිත හිමි

බළල්ල දිඹුල්ගිරි රජමහා විහාරය, රොලව ගණේපුරාණ රජමහාවිහාරය, වේරගල කලනඹු රජමහා විහාරය, හීනුග්ගල දන්තපා රජමහා විහාරය, රන්දෙණිගම රජමහා විහාරය, දළදාගම පුරාණ විහාරය, උඩුවේරිය පුරාණ විහාරය, ලියනගම පුරාණ විහාරය යන අටමහා විහාරාධිපති හා බළල්ල දීපාලෝක මහා පරිවේනාධ්‍යක්ෂව වැඩසිට 2012 නොවැම්බර් 21 දින අපවත් වී වදාළ රොලව විජිත නාහිමිපාණන් වහන්සේගේ ගුණසමරා 2017 නොවැම්බර් 21 දින රොලව ගණේපුරාණ රජමහා විහාරස්ථානයේ දී බුදුපාමොක් මහ සඟරුවන උදෙසා මහදන් පිරීනැමීමට කැකුනාවේ අරියවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගමුපිටිගම ජනාරාම හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ දායක සභාව කටයුතු සංවිධානය කර තිබිණි. මින් වසර අසූ පහකට පෙර 1934 මැයි 14 දින කුරුණෑගල දිස්ත්‍රික්කයාබද, වන්නිහත්පත්තුවේ ගන්තිහේ කෝරළයේ රොලව නම් වූ ග්‍රාමයේ විසූ සෝලෝකාර මුදියන්සේලාගේ පිංහාමි පියාණන්ට හා රාජපක්ෂ මුදියන්සේලාගේ මුතුමැණිකා මෑණියන්ට දාව සොලෝකාර මුදියන්සේලාගේ කිරිමුදියන්සේ නම් වූ කුමරුවෙකු මෙලොව ජනිත විය.

එවක බළල්ල දිඹුල්ගිරි රජමහා විහාරය රොලව ගණේපුරාණ රජමහා විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපතිධූරය හා බළල්ල දීපාලෝක මහපිරිවෙන්පති ධූරය දැරූ වන්නි දෙමළ හත්පත්තු දෙකේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුදියන්නෑගම ශ්‍රී ධීරානන්දාභිධාන මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1645 බිනර මස 09 කුජ දින විජිත යන ශාසනික නාමයෙන් පැවිදි විය.

අනතුරුව ගුරුදේවයන් වහන්සේගෙන් මූලික හෙරණ බණ දහම් ප්‍රගුණ කර සඳලංකාවේ හෙන්ඩියගල ශාස්ත්‍රෝදය මහ පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීය. සපිරි විසිවයස් ඇති විජිත හෙරණපාණේ මහනුවර මල්වතු මහා විහාරඋපෝසථාගාරයේ දී එවකට මහ පදවිය හෙබවූ පරමපූජනීය රඹුක්වැල්ලේ සෝභිත මහ නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායත්වයෙන් මුදියන්නෑගම ධීරානන්ද, පළමුගෙදර සොමානන්ද, නෙල්ලියේ සුමංගල යන නාහිමිපාණන් වහන්සේලා ඇදුරු කොටගෙන උපසම්පදාසීලයෙහි පිහිටි සේක. ස්වකීය ගුරුදේව නෙල්ලියේ සුමංගල නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව 2008 ජූනි 04 දින සිට බළල්ල රජමහා විහාරය ඇතුළු විහාරගණයෙහි ආධිපත්‍යය විජිත මාහිමියන්ට බාරගන්නට සිදුවිය. එතැන් පටන් එම විහාරස්ථාන දියුණුවට පත්කරමින් සතර පේරුවේ දායක දායිකාවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් දීපාලෝක පිරිවෙන්වාසීව සිසු භික්ෂූන්ගේද අභිවෘද්ධිය හා ගුණදම් වඩමින් වසර ගණනාවක් ලෝසසුන් සේවා වැඩ වැඩූහ.


තෙබුවන පියනන්ද හිමි

කළුතර තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනේ ප්‍රධානාචාර්ය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියෝ මේ මස 20 වන දින සිය පැවිදි දිවියේ 53 වෙනි වසරට පා තැබූහ. එසේම 63 වෙනි ජන්ම දිනය ද දෙසැම්බර් 31 වෙනි දිනට යෙදී ඇත.

1954 දෙසැම්බර් 31 වෙනි දින තෙබුවන ග්‍රාමයේ දී ජන්ම ලාභය ලැබූ ඒ හිමියෝ වසර අවුරුදු 10 දී පැවිදි දිවියට ඇතුළත්ව ඇත. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට වසර 100 ක් පිරීම නිමිත්තෙන් 1964 දෙසැම්බර් 20 වන දින කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී කුල දරුවන් 500 ක් පැවිදි කිරීමේ උත්සවයේදී ය.

අනතුරුව තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ ඒ හිමියෝ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් හා පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

1976 දී කළුතර දී පැවති රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සවයේ දී උපසම්පදා වූ උන්වහන්සේ 1978 තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනේ ආචාර්යයවරයෙකු ලෙස පත්ව එහි පරිවෙනාධිපති ලෙසද සේවය කර තිබේ. 1985 දී දොඩන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ උන්වහන්සේ එහි ලේඛකාධිකාරී ලෙසද දොඩන්ගොඩ සමථමූල මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

1976 දී තෙබුවන ග්‍රන්ථාකර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය භාරගෙන දැනට එහි කටයුතු කරති. 2010 දී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙස පත්වූ පියනන්ද හිමියෝ මේ දක්වාම එම ධූරයේ කටයුතු කරති. ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, නේපාලය, කැනඩාව, ඊජිප්තුව, වියට්නාමය සහ චීනය යන රටවල ධර්මප්‍රචාරක කටයුතු සහ අධ්‍යයන කටයුතුවල ද ඒ හිමියෝ නිරතව ඇත. පළාත් සභා ජනතා නියෝජිතයෙකු ලෙස කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමටත් එහි අභිවෘද්ධියටත් උන්වහන්සේ සුවිශාල වැඩ කොටසක් ඉටුකර තිබේ.

එසේම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන හා යටිතල පහසුකම් සංවර්ධනයට ද තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට ද ඒ හිමියෝ ක්‍රියාකාරීව දායකත්වය ලබා දී ඇත. ආගම දහමට මෙන්ම සමාජ සේවයට ම තම දිවිය කැප කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වූ පියනන්ද හිමියන්ගේ 63 වෙනි ජන්ම දිනය හා පැවිදි බව ලබා 53 වසරක් පිරීම නිමිත්තෙන් ප්‍රදේශයේ ගැබිනි මාතාවන් 100 දෙනෙකුට දිවා ආහාරය ලබා දී ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදිය පිරිනැමීමටත් වඩුගම විහාරස්ථානයේ දී අක්ෂි සායනයක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබේ.

පියනන්ද හිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]