UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු පුර අටවක 2017.12.26

සිතින් දිළිඳු නොවිය යුතුය

සියලු පව් නොකළ යුතු බවත්, කුසල් කළ යුතු බවත්, සිත පිරිසුදු කරගත යුතු බවත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ය. ඒ දහම් මඟ යන්නෝ ඉන් බැහැර දෙයින් වැළැකී සිටිති. තමන්ට කරදරයක් නොවී, අනුන්ට ද කරදරයක් නොකර, සමාජයට හිතකර වී දෙලොව වැඩ සලසාගන්නෝ එවැන්නෝ ය. ආගම් වෙනසක්, පුද්ගල වෙනසක් නොමැතිව ජීවිතයට හුරු පුරුදු කළ යුතු වුව සමාජයෙන් ම නිතර ඇසෙන, පෙනෙන දේ නිදසුන් දෙන්නේ ඉන් බැහැරව වන ඇවැඩ බොහෝ බව ය. කෙනෙකුට ඉවසීම ඇත්තේම නැත. සුළු දෙයටත් කිපෙති. තමන් ද නොදැනීම ප්‍රශ්න දුර දිග ගෙනයති.

වරද වැටහීම්වන විට බොහෝ අනර්ථ සිදු වී අවසන් ය. විවිධ පව් සිදු වී අවසන් ය. ගෙවීගිය ජීවිත කාලය පුරා ඉවසුම් නොමැති තැන තමන් කළ කී දේ ගැන නැවත ආවර්ජනය කළේ නම් ඒ ක්‍රියාකාරකම්හි නිශ්ඵල බව, අහිමිවීම්, චිත්ත වේදනාවන්, අපකීර්තිය මිස යහපත් කිසිවක් ඉතිරි නොවූ බව වටහා ගැන්ම අසීරු වන්නේ නැත. එසේ වුව ගිය නුවණ ඇතුන්ලවාවත් ආපසු ඇද ගැනීමට නම් නොහැකි ය. උගත යුතු වන්නේ ඕනෑම දෙයක් කරන්නට කියන්නට පෙර වතාවක් නොව දෙතුන් වතාවක් සිතා බැලීම ය. හුරු පුරුදු වහරින් ම කියනවා නම්, පනින්නට පෙර සිතා බැලීම ය.

සිතා බලන්නට ද චිත්ත විවේකයක් ඕනෑ වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ආදී වූ අකුසල සිතිවිලිවලින් ආතුර වූ සිත අවිවේකී ය. අපිරිසුදු ය. ගත වැකුණු කුණු දුහුවිලි පිරිසුදු ජලයෙන් සෝදා පවිත්‍ර කරන්නා සේ සිත වෙළාගෙන ඇති කිළිටි සෝදාහල යුතු වේ. එය පහසුවෙන් කළ හැකි නොවුණ ද ඒ සඳහා අපගේ තථාගතයන් වහන්සේ අපට අපූර්ව දහම් මාවතක් පෙන්වා දී ඇත. කළ යුතු වන්නේ ඒ දහමට වඩ වඩාත් සමීප වීම ය. එපමණක් ද නොසෑහේ. අවබෝධයෙන් තේරුම්ගෙන ජීවිතයට හුරු පුරුදු කළ යුතු වේ. නිරන්තර දහම් ශ්‍රවණයෙන්, දහම් පොත පත කියවීමෙන් ඒ හුරුව ලබා ගන්නට අසීරු වන්නේ නැත.

 

අවිවේකී බව නිසා ම යමක් කළ හැකි තරුණ වයසේත්, මැදි වයසේත් බොහෝ දෙනෙකුට පන්සල මඟ හැරේ. වන්දනාමාන පින්කම් කටයුතු මඟ හැරේ. ඒ මඟහැරීම් තුළ දරුවන්ට ද පන්සල ආගන්තුක වේ. පන්සලේ වැඩ සිටින්නේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ ය. ජීවිතයට යහපත, අයහපත පෙන්වා දෙන, ධර්ම ඥානය ලබාදෙන, ජීවිතය යහපත් මඟට හසුරුවන කල්‍යාණ මිතුරන්වන උන්වහන්සේලාගේ ඇසුර අපගේ දිවිමග නිවැරැදි මාවතකට යොමු කිරීමට සමත් ය. වැරැදි මඟ ගොස් මං මුලා වී රෝගාතුරවන සිත යහපතෙහි රඳවා ගන්නට උන්වහන්සේලාගේ අවවාද උපදෙස් මාහැඟි ඔසුවක් ම වන්නේ ය. මේ නිසා අඩුම තරමේ පොහොය දිනටවත් අනෙක් කටයුතුවලට විරාමයක් දී විහාරස්ථානයට යන්නට, ආගමික කටයුතුවල නිරත වන්නට බණ කතාවක් ශ්‍රවණය කරන්නට කාලය වෙන්කළ යුතුම ය. එය මතු අධ්‍යාත්මික දියුණුවට කරන ආයෝජනයකි.

අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත බොහෝ සරල විය. දකින දකින දේ පසුපස හඹා යමින් අනවශ්‍ය දේ රැස් කරන්නට ඔවුන් තරගයක නියැළුුණේ නැත. ධාර්මික ජීවනෝපායෙන් උපයාගත් දෙයින් සතුටු වූහ. අල්පේච්ඡ වූහ. අල්ප කෘත්‍ය වූහ. ඒ ජීවන ක්‍රියාවලිය ඔවුන්ගේ සිතට නිදහස, විවේකී බව ලබාදුනි. ව්‍යාකූල නොවූ ඔවුන් ප්‍රශ්න විසඳා ගත්තේ ද ව්‍යාකූල නොවන ලෙස ය. ගමේ විහාරයේ භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලැබූ ඔවුහු පවට බිය වූහ. ලජ්ජා වූහ. වරදක් වූයේ නම් වන සමාජ අපවාදයට බිය වූහ. මේ දේ කළොත් රට්ටු මොනවා කියයි දැයි සිතූහ. තමන්ගේ මුවින් ගිලිහෙන වදන්, හැසිරීම් විලාශයන් තමන් අන් අයට හඳුන්වා දෙන කැඩපතක් බව ඔවුහු තේරුම් ගත්හ.

එදා සමාජය අන්‍යෝන්‍ය සුහදබවින්, ගෞරවය, සැලකීම වැනි ගුණධර්මයන්ගෙන් පොහොසත් වූයේ එහෙයිනි. බොහෝ අය ධනවත් වීමට සිතති. ඒ සඳහා දිවා රෑ වෙහෙසෙති. ඒ භෞතික සම්පත් උපයනු සඳහා ය. එහෙත් පොහොසත් විය යුතු වන්නේ ඒ තුළ පමණක් නොවේ. අධ්‍යාත්මය ද දිළිඳු නොවිය යුතු ය. මොන තරම් මිල මුදල් තිබුණ ද සතුට සැනසීම මුදලට ගත හැකි ද? කිසිවෙකුට නො හැකි ය. සතුට උපදින්නේ සිත ක්‍රියා කරන ආකාරය අනුවය. ඒ සඳහා යහපත් ලෙස සිත වර්ධනය කරගන්නට වෙහෙසෙමු.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]