UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවන මඟ අසීරු ද?

ජීවන මඟ අසීරු ද?

තමන්ගේ ජීවිතයට වටිනාකමක් එකතුකර ගත හැක්කේ තමන්ට ම ය. ඒ සඳහා අප තුළ කැපවීමක් ධෛර්යක්, ශක්තියක් නො පසුබට වීර්යයක් තිබිය යුතු වෙයි. අමාරුවෙන් කන්දක් නැඟගත් විට සුවසේ පල්ලම බැසිය හැකි වෙයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ ශාසනයේ රැකවරණය ලබාගත් බොහෝ දෙනෙකුට අභියෝග බාර ගැනීමේ ශක්තිය, නො පසුබට වීර්යය තිබුණි. නමුත් අද අප තුළ තිබෙන්නේ හීන වූ වීර්යකි. මේ ධර්මය අවබෝධ කර ගන්න අප බොහෝ දෙනෙක් කැමැති යි. නමුත් ඒ වෙනුවෙන් කැප වෙන්නට වෑයම් කරන්නට දැඩි කැමැත්තක් අප තුළ නොමැත. භාග්‍යවතුන් වහන්සේ ගිහි ශ්‍රාවකයා ලෙස අපට හඳුන්වාදුන් නිත්‍ය ශීලය වූ පංචසීලය හෝ රැක ගැනීමට වීර්යයක්, ශක්තියක් ඇත්නම් එය අප ලැබූ විශාල ජයග්‍රහණයකි. එයින් අපගේ ජීවිතය අලුතෙන් පටන් ගැනීමට ශක්තියක් ලැබේ. සිල් පදයක් ඛන්ඩණය වන සෑම විටම සමාදන් වූ සිල්පද කඩවූවා කියා සිතට පණිවුඩයක් දෙන්නට පුළුවන්නම් එය ජයග්‍රහණයකි. අලුත්වීමකි.

මේ සඳහා දිරියක් වෙන්නට ඔබට එක් ග්‍රන්ථයක තිබූ රාජාලියා නමැති පක්ෂියා ගැන සඳහන් කරන්නෙමි.

රාජාලියා යනු දීර්ඝ කාලයක් ජීවත්වන පක්ෂි විශේෂයෙකි. සාමාන්‍යයෙන් රාජාලියාගේ ආයු කාලය වසර හැත්තෑවක් පමණ වන බව කියයි. නමුත් මේ සම්පූර්ණ කාලයම රාජාලියා ජීවත් වන්නේ නම්, ඌට තම ජීවිතයේ ඉතා දුෂ්කර එක් සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු වෙයි. අවුරුදු 40 දී පමණ තමන්ගේ ජීවිතය පිළිබඳව ඒ සතා ගන්නා තීරණය මතයි ඉතිරි ආයු කාලය රඳා පවතින්නේ.

රාජාලියා සතු වන්නේ ඉතා විශාල ඝන පිහාටු ය. වයස අවුරුදු හතළිහ පමණ වනවිට ඌගේ පැරණි පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් පියාඹන්නට අපහසු වෙයි. දිගු හා උල් හොට වකුටු වෙනවා සේ ම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගනී. මෙහි අවසන් ඵලය ඒ සතාට හරිහැටි ගොදුරු ඩැහැ ගැනීමට නො හැකි වීම ය. මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් රාජාලියාට ඇත්තේ විකල්ප දෙකකි. පළමුවැන්න ලෙහෙසි ය. පහසු ය. ඒ රාජාලියා කිසිම උත්සාහයකින් තොරව බඩගින්නේ සිට ජීවිතය අවසන් කර ගැනීම ය.

දෙවැන්න ලෙහෙසි නැති, පහසු නැති දුෂ්කර මාර්ගයකි. උත්සාහයෙන් සාර්ථක කළයුතු මඟකි. මේ සඳහා ගතවන කාලය දින එකසිය පනහකි. එය දැඩි වේදනාකාරි සහ පීඩාකාරී කාල සීමාවකි. මේ වෙනස් වීමේ ක්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා උස් කඳු මුදුනකට පියඹා යයි. අනතුරුව ටිකෙන් ටික තම හොටය සම්පූර්ණයෙන් ගෙවී යන තුරු ගල් තලාවක අතුල්ලයි. හොටය යථා තත්ත්වයට පත්වන තෙක් ඉවසා සිටින රාජලියා ඉතාමත් ධෛර්යවන්තව, ඉවසිලිවන්තව තම දිරාපත් වූ පියාපත් එකින් එක ගලවා දමා තම ස්වරූපය ද සම්පූර්ණයෙන් වෙනස් කර ගනියි.

මාස පහකට පමණ පසු පුනර්ජීවනය ලබන රාජාලියා නැවතත් තම පිහාටු යථා තත්ත්වයට පත්කර ගනියි. දැන් රාජාලියාගේ ආයු කාලය වසර තිහකටත් අධික වන බවයි පිළිගැනීම වන්නේ.

ජීවන මඟ අසීරු යැයි කියා මැසිවිලි නො නඟා නො බියව ඉදිරියට යාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ලක්ෂණය විය යුතු ය. අප මේ ගෙවා දමන ජීවිතය, අප ආ ගමන් මග සුන්දරත්වයෙන් පිරුණු මල් මාවතක් නොවේ. සංසාරය පුරාම මෙන්ම මේ ජීවිතයේදී ද අපට පහසුවෙන් ගමන් කළ හැකි සමතලා බිම් තීර පමණක් හමු නොවේ. සිතීමට පවා දුෂ්කර ගිරිදුර්ග, කටු මාවත් තරණය කරන්න අපට සිදුවෙයි. ඒවා තරණය කිරීමේ දී හඬමින්, ශෝක පරිදේව සහිතව හෝ රාග, ද්වේෂ, මෝහයට සිත යටත් නො කර ගෙන ගමන් කළ හැකිනම් අපි සෙමින් සෙමින් වුවත් දිනුම් කණුව කරා ගමන් කරන්නෝ වෙමු.

එනිසා ඔබ කළ කී දෑ නිසා පසුතැවීම කනගාටුව, සමාව අයැදීම ඔබගේ ජීවිතයේ බහුල වූවානම් ඔබගේ තීරණ දුර්වල ය. සිතින්, කයින්, වචනයෙන් ඔබ කළ ක්‍රියාවන් පිළිබඳව සතුටු විය හැකිනම් ඔබට ඇත්තේ විශ්මිත හැකියාවකි.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]