UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ, ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක සූරින්ගේ 40 වන ගුණ සමරුව මෙම මස 11 වනදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

රමක් කැහැපට ගහගෙන බැනියමක් හැඳ සාලුවක් ඔලුව වටේ ඔතාගෙන පාවහනක් පවා දෙපයේ නොමැතිව උදෑසනම ගමේ පාරක් පාරක් ගානේ ඇවිදින පුද්ගලයෙකි. දකින දකින කා සමගත් කතා බහ කරන ඔහු උදෑසන තේ කෝප්පය බොන්නේද අතර මඟ නිවසකදීය. ඔහු නමින් පියසේන නිශ්ශංකය.

ටයිකෝට් පැළැඳ පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී රාජකාරියට යන මාධ්‍යවේදියෙක් දැකිය හැකිය. ඔහුගේ නම ද පියසේන නිශ්ශංකය.

අඩසියවසකට අධික කාලයක් තිස්සේ පුවත්පත් තුනක ආරම්භක කර්තෘ ධූරය දරමින් පුවත් පත් හතරක හා දිනමිණ වෙසක් කලාපයේ ද ප්‍රධාන කර්තෘ ධූරය දරමින් පියසේන නිශ්ශංකයන් තැබූ වාර්තාව ලාංකික මාධ්‍යවේදියෙකුට තබා ලොව කිසිදු මාධ්‍යවේදියකුට වුවද බිඳීය නොහැකි යැයි හැඟේ.

සිළුමිණ, බුදුසරණ හා සුබසෙත පුවත් පත් තුනෙහිම ආරම්භක කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංකයන්ය.

1890 සැප්තැම්බර් 25 දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්කඳවලදී උපත ලද නිශ්ශංකයන් උඩතුත්තිරිපිටිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අතර උඩුගම්පොල ද්විභාෂා විදුහලෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුව වැඩිදුර අධ්‍යාපනය හදාළේය. රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ මඟ පෙන්වීම මත කල්කටාවේ බල්ගේරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. නමුත් සිය පියාගේ අභාවය නිසා යළි සියරට පැමිණි නිශ්ශංකයන් යළි ඉන්දියාවට නොගොස් මෙරටෙහිම රැඳුනේ 1915 ජාතිවාදී කෝලාහලය නිසාය. බෙහෙවින් සමගිය අගය කළ නිශ්ශංකයෝ ජාතිමාමකත්වය ඉහළින්ම අගය කළහ. ඉන්දියාවේදීද අනගාරික ධර්මපාලතුමාගේ ආභාසයෙන් ඔහුගේ මේ හැඟීම් වඩ වඩාත් ඔප් නැංවිණි.

මේ අතර ‘දිනමිණ’ පුවත් පතට භාෂා පරිවර්තකයෙක් ලෙසට ඔහු සේවයට බැඳුණි. එහෙත් ඒ ඔහුගේ අවශ්‍යතාවයටම නොවේ. ඔහුගේ මිත්‍රයකුවන කාටුන් චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා විසින් නිශ්ශංකයන්ගේ නමින් යවන ලද ඉල්ලුම්පතක ප්‍රතිඵලයක් ලෙසිනි. අකමැත්තෙන් වුවද 1918 දී ඔහු දිනමිණ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවයට බැඳුනි. භාෂා පරිවර්තකයකු ලෙස සේවයට බැඳුනද වාර්තාකරුවකු, තීරු ලිපි රචකයකු හා උප කර්තෘවරයකු ලෙස ඉහළ ගිය නිශ්ශංකයෝ ‘දිනමිණ’ කර්තෘ ධූරයට පත් විය.

කිතුණු භක්තිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බණ්ඩාරනායක මහතා මරදානේ රැස්වීමකදී පන්සිල් ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංකයන් විශේෂ වාර්තාවක් ‘දිනමිණ’ ට ලිවීය. බණ්ඩාරනායක මහතා බෞද්ධයකු ලෙසින් ජනතාව අතරට ගියේ එම ප්‍රවෘත්තියෙන් පසුව වීම විශේෂයෙන් වැදගත් වේ.

දිනමිණ පුවත්පතේ ජනප්‍රියත්වයෙන් පසු සති අන්ත ඉරිදා පුවත්පතක අවශ්‍යතාවක් ඩී.ආර්.විජයවර්ධන මහතාට තදින් දැනුණි. ඊට නමක් සොයා ගෙන කර්තෘ පදවියද බාර ගන්නැයි විජයවර්ධන මහතා නිශ්ශංකයන්ට දැන්වීය.

බෙන්තර වළල්ලාවිට කෝරළයේ සංඝනායක හිමියන්ගෙන් ‘සිළුමිණ’ යනුවෙන් සති අන්ත පුවත්පතට නම යොදාගත් නිශ්ශංකයන්ට 1930 දී සිළුමිණ කර්තෘ ධූරය දැරීමට වරම් ලැබිණ.

1935 වසරේදී ‘දිනමිණ’ කර්තෘ ධූරය දැරූ ඇලෙක්සැන්ඩර් වැලිවිට මහතා විශ්‍රාම ගිය හෙයින් යළිත් ‘දිනමිණ’ කර්තෘ පදවිය බාර ගැනීමට නිශ්ශංකයන්ට සිදුවිය. නිශ්ශංකයන් අප පෙර කී පරිදි අපූරු ගැමියෙකි. අලුයම 5.00 ට පිබිදෙන නිශ්ශංකයෝ පළමුවෙන්ම ‘දිනමිණ’ කතුවැකිය ලිවීම අරඹති. ඒ අද මෙන් විවිධ වර්ගයේ අලංකාර කළ විදුලි පහනෙන් නොව චිමිනි ලාම්පුවේ උපකාරයෙනි.

කතුවැකිය ලිවිමෙන් පසු සරමක් බැනියමක් හැඳ සාලුවක් ඔලුවේ ඔතා ගන්නා ඔහු ගම වටේ ඇවිදින්නේ පාවහනක් හෝ නොමැතිව.

අතරමගදී හමුවන ළමා ළපටියාගේ සිට මහල්ලා දක්වා කොයි කවුරුත් ඔහු හඳුනති. සැවොම සම¼ග වචනයක් හෝ දෙකක් කතා කිරීම ඔහුගේ සිරිතයි.බොහෝ විට උදෑසන තේ කෝප්පයද අතර මඟ නිවසකින් සප්පායම් වන ඔහු නිවසට පැමිණ කොළ කැඳ පානය කිරීමත් ආනමාලු ගෙඩියක් ආහාරයට ගැනීමත් දිනපතාම සිදු කරයි.

උදෑසන රැවුල කැපීම අරඹන්නේ වත්ත වටේ යමිනි. ඒ සඳහා කිසිදිනක ඔහු මුහුණ බැලීමට කණ්ණාඩියක් භාවිතා කර නැත.

උදෑසන 10.00 ට පමණ ගණේමුල්ල දුම්රිය ස්ථානයට යන ඔහු එතැන්සිට දුම්රියෙන් ලේක්හවුසිය බලා යයි. ඒ යන්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසීගෙනය. දිනමිණ පුවත්පතේ දෛනික රාජකාරි අවසන් කරන ඔහු කාර්යාලයෙන් පිටවන්නේ පළමු මුද්‍රණයේ (ප්‍රාදේශීය මුද්‍රණය) පිටපතක්ද සහිතවය. දුම්රියේ එන අතරමඟදී පුවත්පත කියවන නිශ්ශංකයෝ පුවත් පතේ ඉතිරිය කියවනුයේ නිවසට පැමිණීමෙන් පසුවය. එක් අකුරක හෝ දෝෂයක් තිබුණහොත් මඳක් නුදුරින් පිහිටි ජයකොඩි වලව්වට සිය පුතාද කැටුව යන නිශ්ශංක මහතා ලේක්හවුසියට දුරකතන ඇමතුමක් ලබාදී ඊළඟ මුද්‍රණයේදී එය නිවැරැදි කරන ලෙස දන්වයි. යළි නිවසට පැමිණි පසුව ඔහු රාත්‍රි ආහාරය ගෙන මඳ වේලාවක් සතුටු සාමිචියෙන් පසු නින්දට යයි. මේ අයුරින් නිශ්ශංකයෝ වසර 25 කට අධික කාලයක් ‘දිනමිණ’ පුවත් පතේ කර්තෘ ධූරය දැරූහ. ‘දිනමිණ’ පුවත් පතේ එතරම් කලක් කර්තෘ ධූරය දැරූ වෙනත් අයෙක් මෙතෙක් නැත.

1965 වසරේදී බෞද්ධ පුවත්පතක් ආරම්භ කිරීමටද ලේක්හවුස් ආයතනයට අවශ්‍ය විය. ‘සිළුමිණ’ සේම එහි කර්තෘ ධූරය දැරීමත් බෞද්ධ පුවත්පතට සුදුසු නමක් යෙදීමත් පැවරුණේ නිශ්ශංකයන්ටමය. ‘බුදුසරණ’ පත්‍රයට නම යෙදීම සම්බන්ධව පියසේන නිශ්ශංකයන් විසින් පවසන ලද කතාව බොහෝ දෙනකු නොදකිනා හෙයින් මෙහි ලිවිය යුතුමය.

නිශ්ශංකයන් නිදා සිටින විට අලුයම් කාලයේ යම් තැනැත්තෙක් සිහිනෙන් පැමිණ ‘බුදු සරණයි’ යනුවෙන් පවසා ඇත. එකිනෙහිම නිශ්ශංකයන්ට විද්‍යාචක්‍රවර්තීන්ගේ ‘බුත්සරණ’ මතකයට පැමිණ ඇති අතර ඒ ඔස්සේ සිතා බලා ‘බුදුසරණ’ නම යොදා ඇත.

නිශ්ශංකයන්ගේ විශ්වාසය වී ඇත්තේ ඔහු සුමන සමන් දෙවියන්ට විශේෂ කැමැත්තක් දක්වන හෙයින් ඒ නම කියන්නට ඇත්තේ සුමන සමන් දෙවියන් බවයි.

‘බුදුසරණ’ පත්‍රය නමේ අරුතින්ම සැමදා ඉදිරියට ගෙනයාමට නිශ්ශංකයෝ උත්සාහ ගත්හ. ඔහු විසින් බුදුසරණ පුවත්පතට අවසන්වරට ලියන ලද මිත්‍ර ධර්මය නම් කතුවැකියෙන් කොටසක් උපුටා දැක්වීම උචිතයැයි සිතමි.

‘නෑයන්ට උතුම්වන්නා මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාය. යස ඉසුරු සම්පත් ඔහුගේය. ශ්‍රී කාන්තාව ඔහු අත හැර නොයයි. මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාගේ අගය අප පිරිත් පොතෙහි එන මිත්තානිසංස සූත්‍රයෙහි වර්ණනා කරණු ලබන්නේ මේ විධියටය. එහෙයින් මිත්‍ර ද්‍රෝහී නොව සෑමදෙනා සමග මිත්‍ර ධර්මයට ග්‍රහනය කිරීමෙන් වාසය කිරීම ජීවත්වීමෙන් අප ලබන උතුම් ඵලයක් වන්නේය.

ක්‍රියාවෙන්, වචනයෙන් මෙන්ම ලේඛනයෙන්ද ඔහු සමාජය යහපතට හැරවීමට උත්සුකවූ අයුරු මින් මනාව පැහැදිලි වේ.

1969 දී සුබසෙත ජ්‍යෝතිෂය පුවත්පත ආරම්භ කිරීමේදී එහි කර්තෘධූරය දැරීමේ වගකීමද ඔහුටම හිමිවිය. ‘දිනමිණ’ වෙසක් කලාපයේද දීර්ඝ කාලයක් ඔහු කර්තෘ ධූරය දැරීය.

මාර්ටින් වික්‍රමසිංහ, ජේ.ඩී.ඒ.පෙරේරා ඇලෙක්සැන්ඩර් වැලිවිට, පණීභාරත වැනි සමකාලීනයන් රැසක් නිශ්ශංකයන්ට සහාය ලබා දුන්හ. නිරතුරුවම නවකයන්ට අතදීමට උත්සාහ ගත් නිශ්ශංකයෝ නවක නිර්මාණ හැකි උපරිම ලෙසත් පළකිරීමට යත්න දැරීය.

මහා ගත්කතුවරයකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් 1970 සැප්තැම්බර් 10 දින ජනතා පුවත්පතට සැපයූ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබුණි.

‘නිශ්ශංක ළඟ ඊර්ෂ්‍යාව, ද්වේෂය ගෑවිලාවත් නැහැ. ඔහු ඉතාම ප්‍රියමනාප කෙනෙක්. මට ඉඳුරාම කියන්න පුළුවනි නිශ්ශංකගේ මනස අසලකටවත් කුහකකම ළංවී නැතිබව.

හෙළයේ මහා ගත්කතුවරයාගේ මේ ප්‍රකාශයම නිශ්ශංකයන්ගේ ගුණ මහිමය ගැන තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

කිසිදිනක පුවත් පතට තම නම භාවිතා නොකළ නිශ්ශංකයෝ ‘බාසුරු’ යන නම බොහෝවිට භාවිතා කෙළේය.

පත්තර මහගෙදරදී පමණක් නොව ඉන් පිටත මාධ්‍යවලදී පවා ‘ලොකු සර්’ යනුවෙන් හැඳින්වූයේ පියසේන නිශ්ශංකයන්ය. ඔහුගේ ප්‍රතාපවත්, ගාම්භීර බව නිසා පිරිසක් අතර ඔහුගේ කැපී පෙනීම පැහැදිලිව දිස්විය. ඔහුට ඇතැමෙක් ‘මහ කළු සිංහලයා’ යැයි කීවේ සතුටින් ගෞරව පිණිස මිස අගෞරවයකට නම් නොවේ. කිසිවිටක දේශපාලනයට සම්බන්ධ නොවුවත් සමීප මිතුරකු වූ නිසා ජේ.ආර්.ජයවර්ධනයන්ට ඔහු මිතුරකුගේ යුතුකම් ඉටු කළේය.

එහෙත් මැතිවරණය දිනීමෙන් පසු සෙසු විහාරස්ථානවලට ගියත් නිශ්ශංකයන්ගේ හැවිනිවල විහාරස්ථානයට ජේ.ආර්.පැමිණියේ නැත. ඒ ගැන සිත් තැවුලට පත් නිශ්ශංකයන් ජේ.ආර්.ට මෙසේ කවියක් ලියා යැවිය.

’කැළණි වෙහෙර වැනි දාගැබ් උසට නැතත්
පරණ ගල් ගුහා සැතපෙන පිළිම නැතත්
ගැබිණි විලස මහ ලොකු ධනවතුන් නැතත්
හැවිනි වලෙත් ඉඳගෙන බුදු පැටව් සිටිත්

පසුදිනම පැමිණි ජේ.ආර්.නිශ්ශංකයන්ට කනගාටුව පළකර හැවිනිවිල විහාරයට ගියේය.

අවිවේකී මාධ්‍ය දිවියේ වුවද වදුල, ගිනි සිසිල, හීන් හාමිනේ, ඔයබඩගෙදර දිවමල් දිව සළු, සමදරා ආදී කෘතීන් නිශ්ශංකයන්ගෙන් බිහිවිය. මේ බොහෝ කෘති ගැමි දිවිය හා සම්බන්ධ ඒවා වේ.

1965 දී ඇරැඹි පත්‍ර කලා සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ නිශ්ශංකයෝ මියයන තෙක්ම නිතරගයෙන් එහි සභාපති ධූරයට පත්විය. කිසිවිටක ගෞරව නම්බුනාම සොයා නොගිය නිශ්ශංකයන්ට විද්‍යෝදය සරසවියෙන් විශේෂ උපාධියක් ලබා දෙන ලද්දේ කලුකොඳයාවේ ප්‍රඥාසේකර හිමියන්ගේ මඟ පෙන්වීම යටතේය.

’මිනිසුන්ගේ සුබවාදී පැත්ත බලන්න පුළුවන් හැටියට මිනිසුනට උදව් කරන්න. ආපිට යමක් ගන්න බලාගෙන කිසිවක් කරන්න එපා’ ඒ නිශ්ශංකයන්ගේ දර්ශනයයි.

මාධ්‍යවේදීන්ටද ඔහු හොඳ උපදෙසක් ලබාදී ඇත.

පුවත්පත් කලාවට බසින තරුණ තරුණියන් කවුරුත් තමන්ගේම ස්වාධීනත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ ගන්න ඕන. අනුන්ගේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමත්, මිනිසුන්ට අපහාස කිරීමත් චරිත ඝාතක කටයුතුවල යෙදීමත් පුවත්පත් කලාවේදීන්ට ඔබින්නේ නැහැ’ නිශ්ශංකයන්ගේ ඒ කියමන එදාට මෙන්ම වසර 40 කට පසු අදටත් මාධ්‍ය ලෝකයට මැනවින් ආදර්ශමත් වේ.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]