UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2010.10.07

 

සම සංස්කෘතික සබැඳියාව

ගම යනු මිනිසා ගේ අධ්‍යාත්මික සුවය සඳහා ඇති පෞද්ගලික ඇදහීමක් පමණක් නො වේ. එය ඇතැම් විට අදෘශ්‍යමාන දේශපාලන ආයතනයක් ලෙස ද ක්‍රියාත්මක වන බලවේගයකි. මේ සඳහා ඇති හොඳම උදාහරණය 2001 වසරේ සැප්තැම්බර් මස 11 වන දා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යි. එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායමක් වෙත පැවරෙනවා පමණක් නො ව ඊට හේතු වූ කරුණු මෙන් ම ඇමරිකානු ප්‍රතිචාරය ද ආගමික අර්ථයකින් යුක්ත ය. එ පමණක් ද නො ව පසුගිය වසරේ දී ඇමරිකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය පවා ආගමික දේශපාලනයේ එක්තරා ප්‍රකාශනයක් බව දැන් හෙළි වී තිබේ. මුස්ලිම් ජනතාවගේ ආර්ථික හා සමාජ සුබසාධනය සඳහා ඉස්ලාම් ආගම මඟින් හඳුන්වා දී ඇති ඉස්ලාමීය බැංකු සංකල්පය ත්‍රස්තවාදයට මුදල් සපයන මූලාශ්‍රයක් ලෙස මවා පෙන්වමින් බුෂ් පරිපාලනය විසින් එය අඩපණ කරන ලදැයි ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ නමැති කෘතියෙහි ලතීෆ් ෆරූක් සඳහන් කැර ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වූ ඉස්ලාම් බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රය අඩපණ කිරීම ඇමරිකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයට වක්‍රව බලපෑ බවට සැකයක් නොමැත. අදෘශ්‍යමාන දේශපාලන ආයතනයක් ලෙස ආගම ක්‍රියාත්මක වන්නේය යන්න මෙයින් පැහැදිලි නො වේ ද?

බටහිර ලෝකයේ ආගමික දේශපාලනය එ බඳු වූව ද බුදුදහමෙන් පෝෂණය වූ පෙරදිග දේශපාලන චින්තනය අතිශයින් මානව හිතවාදී ව්‍යාපාරයකි. එහෙත්, පෙරදිග ජාතීන් විසින් ම එම යථාර්ථය නො සලකා හැර ඇති බව කනගාටුවෙන් වූවත් කිව යුතු ය. එ බඳු වාතාවරණයක් යටතේ එම යථාර්ථය යම් ආකාරයකට මතුවන විට එය දැඩි සේ වැලැඳ ගැනීමට අපි පසුබව නො වන්නෙමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 65 වන මහා මණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගිය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් ආයතනය පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී එ සේ දැඩි ලෙස වැලඳ ගත හැකි අවස්ථාවක් උදා විය. දැන් අපි ඒ දෙසට හැරෙමු.

එහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන් අසන ලද එක් ප්‍රශ්නයක් වූයේ, ඉන්දියාව හා චීනය යන සතුරු රටවල් දෙකේ ම මිත්‍රයෙක් ලෙස ඔබ ඉන්නේ කොහොම ද යන්න යි.

‘එක්කෙනෙක් හොඳම ඥාතියා, අතින් එක්කෙනා හොඳම මිත්‍රයා. එකිනෙකාට හොරෙන් අනිකා එක්ක මුකුත් කරන්න අපි යන්නෙ නැහැ. ඒක වෙන්න ඇති ඔබේ ප්‍රශ්නයට පිළිතුර යැයි’ ජනාධිපතිවරයා කියා තිබේ.

‘මේ රටවල් දෙක අතර යුද්ධයක් ඇති වුණොත් ඔබ ගන්නෙ කාගෙ පැත්ත ද?’ ඔවුන් ජනපතිගෙන් යළි ප්‍රශ්න කැර ඇත.

‘එහෙම එකක් වෙන්නෙ නැහැ. අපේ රටවල් තුනේ ම සංස්කෘතික පදනම බෞද්ධ දර්ශනයයි. මට විශ්වාසයි යුද්ධයක් ඇති වෙන්නෙ නැහැ කියලා.’ ඊට ජනපති දුන් පිළිතුරයි.

මෙය ඉතා ගැඹුරින් විමසා බැලිය යුතු කරුණකි. ආර්ථික, ජනවාර්ගික, ආරක්‍ෂක හෝ වෙනත් ප්‍රාථමික වුවමනාවන් මත ගොඩනැඟුණු බලකඳවුරු දේශපාලනය ඉක්මවා ගිය විශිෂ්ට මානව බැඳීමක් එම පිළිතුරෙහි ගැබ් ව තිබේ. මහින්දාගමනයෙන් ඇරැඹි මේ අධ්‍යාත්මික රාජ්‍යතාන්ත්‍රික සබඳතාව නිසා එ සේ ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබී ඇත. ක්‍රි.ව. 399 දී සිදු වූ ෆාහියන් හිමියන් ගේ භාරත දේශාටනය මේ ගමනේ ඉදිරි පියවරකි.

බෞද්ධ විනය ග්‍රන්ථ සෙවීම සඳහා කළ එම දේශාටනය සමාප්තියට පත් වූයේ මහා සාංඝික හා සර්වාස්තිවාදී විනය පුස්තක රාශියක් රැගෙන ක්‍රි.ව. 413 දී උන්වහන්සේ යළි චීනයට වැඩම කිරීමෙනි. සිරිලක අභයගිරි විහාරයේ ද වැඩ සිටි උන්වහන්සේ ගේ දේශාටනයේ 1600 වන සංවත්සරය පසුගිය දා අප සැමරූ බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය.

චීනයේ මහා දේශාටන තෙරුන් වහන්සේ ලෙස සැලැකෙන හියුං සාං (ක්‍රි.ව. 596 – 664 ) හිමියන් පිළිබඳ ව සිහිපත් කිරීම අප ගේ යුතුකමකි. උන්වහන්සේ විසින් ලියන ලද ‘බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා’ නමැති විශිෂ්ට ග්‍රන්ථය අතිශයින් සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලංකාව ගැන ද එහි සඳහන් ය.

ඉන්දියාව මෙන් ම චීනය ද ඉපැරැණි මහා සංස්කෘතික උරුමයන් ලොවට දායාද කළ රාජ්‍ය දෙකකි. බුරුමය, තායිලන්තය (සියම), කාම්බෝජය, වියට්නාමය, ලාඕසය හා මලයා අර්ධද්වීය ඇතුළත් අග්නිදිග ආසියාවේ අර්ධද්වීපික ප්‍රදේශය ඉන්දු – චීනය ලෙස හැඳින්වීමට හේතුව මේ ඉපැරැණි සංස්කෘති දෙකෙහි බලපෑමට ලක් වූ ප්‍රදේශයන් වීම ය. පොදුවේ ගත් කල, ඉන්දු – චීනය තවමත් බුදුදහම අදහන භූගෝලීය කලාපයක් යැයි කිව හැකි ය.

කෙ සේ වූව ද 1962 දී ඉන්දු – චීන දේශසීමා ගැටුම නිසා දෙරට අතර සබඳතා බිඳ වැටිණ. එම අමිහිරි මතකය දෙරටින් තුරන් කිරීමේ හැකියාව මේ කුඩා දිවයින සතු බව ලෝක බලවතුන් ගේ ප්‍රතිචාර වලින් ද පැහැදිලි වන කරුණකි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉතා නිවැරැදි ව පෙන්වා දී ඇති පරිදි එම හැකියාව අන් කිසිවක් නො ව, බුදු දහමෙන් පෝෂිත සම සංස්කෘතික සබැඳියාවයි.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]