UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මුඩු හිසක්ඇති පේතියකගේ කථාව

පේත වත්ථු කතා මාලාව - 09

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මේ දේශනාව අර්ථෝත්පත්ති කොට ගළපා දේශනා කළ සේක.

ඈත අතීතයෙහි දඹදිව බරණැස් නුවර මනා රූ ඇති, දැකුම්කළු වූ, පැහැයෙන් මන වඩන විලුඹ තෙක් දික්ව නැවී ගිය කෙස් කළඹක් ඇති ස්ත්‍රියක් වූවාය. ඇයගේ මේ රූප සම්පත්තිය නිසාම වෛශ්‍යාවක් ලෙස කල් ගෙවුවා ය. ඇගේ මේ නිල් වූ දික් වූ මෘදු දෙ අතින් ගෙන හැසරිවිය යුතු වූ කේශ කලාපයම බොහෝ තරුණයන් ගේ සිත් ඇද ගැනීමට සමත් වූහ. මෙයම එහි විසූ අන්‍ය ස්ත්‍රින්ගේ නො ඉවසීමට ඊර්ෂ්‍යාවට හේතු වූහ. මෙසේ වු ස්ත්‍රීන් කීප දෙනෙක් එක් දිනක් කතිකාකොට ඇයගේම සේවිකාවකට අල්ලස් දී පොළඹවා ඒ දාසිය ලවාම ඇයගේ නහනසුණුවලට හිසකෙස් ගැළවි යන බෙහෙතක් කළවම් කළාය. මෙසේ කළවම් කළ නහනසුණු ගා නෑමට දියට බට මැයගේ සියලු හිසගේ ගැළවී ඉදිරී වැටුණේය. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් මෙන් වූවාය. මුදුනෙහි පිහාටු ගැළවී ගත් පරෙවි ධේනුවක් වන් වූ මැය මහත් ලජ්ජාවෙන් වස්ත්‍රයකින් හිස වෙලාගෙන නගරෙන් ඈත වූ ගමකට ගොස් ජීවත්වන්නට වූවා ය.

මද කලක් ගෙවී යන්නේ පහ වූ ලජ්ජා ඇත්තී ජීවනෝපාය සඳහා තල මිරිකාලමින් තෙල් වෙළදාම ද, සුරා වෙළෙදම් කිරීමට ද පටන් ගත්තීය. මෙසේ දිනක් තමාගේ සුරා බී මත් ව වැටී සිටි මිනිසුන් දෙදෙනෙකුගේ හැඳිසිටි වස්ත්‍ර කෙරෙහි ලොල්ව ඒවා සොරා ගත්තී ය. මෙසේ ම එක් දිනක් මහමඟ පිඬු සිඟා වඩිනා රහතන් වහන්සේ නමක් දැක සිත පැහැදී ගෙට වඩමා ගෙන ගොස් තෙල් වැගිරෙන තල කැරැලි පූජා කළාය. රහතන් වහන්සේ ද මැයට අනුකම්පා කොට එහිම වැඩ සිට වළදන්නේ ඇය රහතන් වහන්සේ හිටස කුඩයක් ද අල්ලා ගෙන ගෞරව දැක්වීය. රහත් තෙරුන් වහන්සේ ද වළදා අවසන්හි භුක්තානුමෝධනා බණ වදාරන කල්හි මැය ද මගේ හිසකේ මොළොක්ව සිනිඳුව දිගට වැඩේවායි ප්‍රාර්ථනාවක් ද කළාය.

මෙසේ වූ ඇය ටික කලකින්ම මරණයට පත්ව කරන ලද කුසලාකුසල කර්මයන් අනුව මහසයුර මැද රන්වන් විමානයක හුදෙකලාවම උපන්නීය. ප්‍රාර්ථනා පරිදිම ඇයගේ හිසකෙස් කළඹ ශරීරය වසාලන තරමට දික් වූ මහත් වූ එකක්ම වූවේය. මිනිසුන්ගේ හැඳිවත් සොරා ගැනීමේ විපාකයෙන් නග්නද වූවා ය. මෙසේ වූ ඇය ඒ රන් විමානයෙහිම බුද්ධාන්තර කල්පයක් නැවැත නැවැත ඉපදෙමින් නිර්වස්ත්‍රවම වූවාය.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටු පූජාකළ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කළ සැවැත්නුවර වාසී සියයක් පමණ වූ වෙළෙද පිරිසක් මුහුද තරණය කරන්නේ සැඩ සුළඟට හසුව ඔබ මොබ පාවීයන්නේ මේ විමාන පේතිය සිටින ප්‍රදේශයට පාවී ආවේය. එවිට මේ විමාන පේතිය තමාගේ රන් විමානය සමඟම මෙම වෙළෙඳුනට දිස්වන්නට සැලැස්වීය. ඒ දුටු වෙළෙඳ නායකයා ඇය විමසීය.

මහත් සම්පත් විඳින සේ පෙනෙන මුහුදේ වසන ඔබ කවරෙක් ද? අපි ඔබ දකිනු කැමැත්තෙමු. ඔය විමනින් එළියට එනු මැනැවි. එයට පිළිතුරු වදන් දෙන ඇය මම නග්න වෙමි. ස්ත්‍රියක් හෙයින් ලජ්ජා ඇත්තෙමි. මම මගේ හිස පිරුණු කෙස් කළඹින් නග්න සිරුර වසන ලද්දේය. නික්මීමට නො හැක්කෙමි. යි කීවාය. මෙවිට මහ වෙළෙඳුන් පවසන්නේ මා මගේ උතුරු සළුව තිට දෙන්නෙමි ය, එය හැඳ එළියට එන්නේ නම් මැනැවි, යැයි කියා උතුරු සළුව ඇයට දික් කළේය. මෙසේ අතින් අතට දෙන දේ තමන්ට නොලැබෙන බවත්, යමක් දෙනු කැමැති නම් එයට පිළිවෙළක් ඇතැයි ඇය මෙසේ කීවාය. ඔබ වෙළෙඳ කණ්ඩායම තුළ කර්ම ඵල විශ්වාස කරන, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයකු ඇත. ඒ උපාසකයා හට ඔබ ඔය වස්ත්‍රය පූජාකොට (වස්ත්‍රය හන්දවා) එයින් ඔබ ලබාගන්නා දානමය පින මට අනුමෝදන් කරවන්න. එසේ වූ කල්හි මම සුවපත්වන්නෙමි යි’ ඇය පැවැසුවාය. එය ඇසූ වෙළෙඳ නායකයා ඒ උපාසක තෙමේ හඳුනාගෙන ඔහු නහවා සුවඳ ගල්වා ආහාර වළඳවා (සතප්පවා) හඳින සළුවක් හා උතුරු සළුවක් ද යන වස්ත්‍ර දෙකක්ම ඔහුට ඇන්ඳවූහ. උපාසක වෙළෙඳ තෙමේ තමා ලැබූ සංග්‍රහ මුල්කොට ගෙන දීමෙහි අනුසස් දක්වමින් වෙළෙඳ නායකයා ප්‍රධාන පිරිසට දහම් දෙසූහ. කම්පල අදහා දුන් මේ දානයෙන් (දක්‍ෂිණාව) ඔවුහු ලැබූ පින් එකෙනෙහිම ඒ විමාන පේතියට අනුමෝදන් (පත්තානුමෝදනා) කළෝය. ඇය එයින් මහත් සතුටට පත්වූවාය. දිව්‍යමය ආහාරපාන හා දිව්‍ය වස්ත්‍ර ද ලැබි පිරිසුදු සිරුර ඇතිව කසී සළු වලටත් වඩා පවිත්‍ර වස්ත්‍ර හැඳ සිනාසෙමින් විමනින් පිටතට ආවාය.

මෙසේ ඇය දුටු වෙළෙන්දෝ, ඔබගේ මේ විමානය ඉතා රමණීය වේ. සිතුවම් කළ රූ ඇත්තේ, සිත්කළු වූයේ බබළයි. මේ කවර (දානමය හෝ සීලමය හෝ පින්කමක) කර්මයක විපාකදැයි ඇසූහ.

මෙසේ වෙළෙඳුන් විසින් විමසනු ලැබීමෙන් පසු ඕ තොමෝ කියන්නී, මා විසින් කරන ලද්දේ ඉතා සුළු කුසල කර්මයකි. එමෙන්ම කරන ලද අකුසල කර්මයාගේ බලයෙන් අවීචි මහා නරකයෙහි තව නොබෝ දිනකින් ඉපදෙන බව ද මෙසේ ඇයගේ පෙරකථාව කීවාය. පෙර අතීතයෙහි මා එක්තරා මනුෂ්‍ය දුවක් වීම්. මනා රූ ඇත්තා වූ ශරීර වර්ණයෙන් යුත් දැකුම් කළු මා හට ලක්‍ෂණ දිගු කෙස් කළඹක් ද වූවාය. යනුවෙන් ඉහත කී කථා ප්‍රවෘත්තිය ඇය විසින් පැවැසුවාය. මෙසේ වූ මා කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගොස් කරන ලද කුසලාකුසල කර්මයන්ගේ විපාකයෙන් මෙසේ මුහුද මැද හුදෙකලාව විචිත්‍ර සිතුවම් ඇති රමණීය වූ, සිත්කළු වූ රන් විමානයක ඉපිද පැතූ® පරිදි කෙස් කළඹත් ලැබ හැදිවත් සොරකම් කළෙන් නග්නව මේ රන් විමනෙහි නැවැත නැවැත ඉපදෙමින් එක් බුද්ධාන්තර කාලයක් ම මෙසේ වසන බව තම කථා ප්‍රවෘත්තිය කීවා ය.

තවද රහතන් වහන්සේ උදෙසා කළ පූජාවෙන් වූ ඒ කුසල කර්මයාගේ විපාක වශයෙන් බොහෝ කලක් මේ විමාන සුව අනුභව කරමි. ඒ පුණ්‍ය විපාකයෙහි ද දැන් ශේෂ වී ඉතිරිව ඇත්තේ අල්පයකි. තවත් සිවුමසක් ගියතැන මා මෙයින් චුතව ඒකාන්තයෙන් මහත් කටුක දුක් ඇති අවීචි මහා නිරයට වැටෙන්නෙමි ය. මේ නිරයෙහි කොන් සතරෙකි. දොරවල් සතරෙකි. කොටස් වශයෙන් බෙදන ලද්දේ ය. ප්‍රමාණ කර ඇත්තේ ය. යකඩ පවුරකින් වටකරන ලද ය. එසේම යකඩ පියනකින් වසන ලදී . මේ අවීචි නිරයෙහි යකඩ වූ පතුල දිලිසෙන්නේ ය. මෙහි සිට නගින ගිනිදැල් හාත්පස අවුරමින් යොදුන් සියයක් (උසට) පැතිර යෙයි. මම ඒ මහා නිරයෙහි දිගුකලක් දුක් වේදනා විදින්නෙමි ය. ඒ මා කළ පව් කම්හි විපාක විදීමටය. එහෙයින් මම බොහො සේ ශෝක වෙමි.

මෙසේ මේ මුහුදු විමාන දෙවඟන තමා කළ පව්කම් වලට මත්තෙහි නිරයෙහි උපදින බව ප්‍රකාශ කරන්නේ එහි සිටි උපාසක තෙමේ කරුණා සිත් ඇත්තේ ඇයට පිහිට වනු පිණිස මෙසේ කීවේ ය. පින්වත් දෙවඟන, හුදෙකලා ව මට මේ වෙළෙඳ පිරිස දන්දීම් වශයෙන් ලබාගත් පින් අනුමෝදන්ව මේ දිව්‍යමය සම්පත් ඔබ ලැබීය. දැන් ඔබ විසින් දානයක් දී බුදුගුණ සිහිපත් කරන්න.එයින් ඔබ නිරයෙහි උත්පත්තියෙන් මිදෙන්නිය. ඕ තොමෝ මෙය අසා මහත් සේ සිත් සතුටුව මැනැවැයි කියා දිව්‍ය ආහාර පානයෙන් හා දිව්‍ය වස්ත්‍රයෙන් උපාසක තෙමේ සතප්පවා නොයෙක් රත්න ජාති ද දුන්නා ය. එසේම භාග්‍යවතුන් වහ්නසේ උදෙසා දිව්‍යමය වූ වස්ත්‍ර දෙකක් ඔවුන්ගේ අත්වලට දී ස්වාමීනි, එක්තරා විමානපේතියක් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරි පා සිරසින් වඳී යැයි කියා බුදුරජාණන් වහන්සේට මාගේ වචනයෙන් සැවැත්නුවරට ගොස් වඳීවා යැයි කියා වස්ත්‍ර යුගලය සමඟින් වැඳීමද යැවීය.

පසුව පිරිස සමඟ වූ ඒ නැවද විමාන පේතියගේ සෘද්ධි බලයෙන් ඔවුන් විසින් ද පැතූ® ආකාරයෙන් එදිනම සැවැත් නුවරට සේන්දු විය. එහි දී ඒ වෙළෙද පිරිස ද ගොඩබට වරායේ සිට සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් ඒ පිළිසඟල භාග්‍යවතුන් වහන්සේට පූජාකොට නමස්කාර පූර්ව වැඳීම ද දන්වා සියලු විස්තර බුදුරජාණන් වහන්සේ හමුවෙහි කියා සිටියහ. මෙහිදී බුදුරජාණන් වහන්සේ ද මේ සිදුවීම අර්ථෝත්පත්ති කොට පැමිණි සිටි පිරිසට විස්තර වශයෙන් ධර්ම දේශනා කළ සේක. මෙය බොහෝ ජනයාට සැප එළවූහ. එසේම ඒ උපාසකයෝ දෙවන දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහදන් දී විමාන පේතියට ද පින් අනුමෝදන් කළහ. ඒ පිනෙන් ඇය පේත ලෝකයෙන් චුතව තව්තිසා දෙව්ලොව රන් විමනෙක දහසක් අප්සරාවන් පිරිවරා උපත ලැබුවාය.

ඛල්ලාටිය පේත වත්ථුව ඇසුරෙනි

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]