UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චෛත්‍යයක ආගමික වතාවත් යාවත්කාලීනව පවත්වාගෙන ගියේ භික්‍ෂූන් වහන්සේගේ දායකත්වයෙනි. මේ නිසා උන්වහන්සේලාට රැඳී සිටීම උදෙසා ආරාම ඉදි විය. දානමාන අවශ්‍යතා සඳහා දාන ශාලා ද පොහොය කිරීම සඳහා උපෝෂතාගාරද ස්නානය සඳහා පොකුණු ද සක්මන් ශාලාද, පුස්තකාලද ආදී වශයෙන් බොහෝ දේ චෛත්‍ය පුදබිම පුරා ගොඩනැඟුණි.

බෞද්ධ පූජා වස්තු අතර චෛත්‍යයට විශේෂ තැනක් හිමිවේ. අපි රට පුරා ඇති පුදබිම් සොයා යමින් චෛත්‍යය වන්දනා කරමු. අපි එහි නිර්මාණයෙන් වශීකෘත වෙමු. අපේ සිත් සතන් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පුරවා ලන එබඳු දෑ ගොඩනැඟූ නරවිරුවන් සිහිපත් කරමු. එහෙත් දාගැබ නිර්මාණය කිරීමේ දී අපේ පැරණි වාස්තු විද්‍යාඥයන් හා කලාකරුවන් දක්වා ඇති අයුරු නිර්මාණ ශක්තිය අගය කිරීමට අපි ප්‍රමාණවත් නැඹුරුවක් නොදක්වමු. එසේම තමන් නිසා තමන් අවට ගොඩනැඟුණ අපමණ වූ විවිධාංග පිළිබඳව චෛත්‍යය නිහඬව පවසන අදහස් ග්‍රහනය කර ගැනීමට අප දරන උත්සාහය ප්‍රමාණවත් නොවේ.

දාගැබට අමතරව එම පුදබිම තුළ දක්නට ඇති වාහල්කඩ සඳකඩ පහන කොරවක්ගල්, මුරගල්, ආරාම, පොකුණ, දානශාලා හා උපෝෂතාගාර ආදී නන්විධ අංගෝපාංග ඇගැයීමට අපේ පෙළඹීම ප්‍රමාණවත් නැතැයි සිතේ.

චෛත්‍ය වන්දනාවෙන් සඟමොක් සුව පතන අපි ඉහත උපාංග පිළිබඳව එතරම් සැලකිලිමත් නොවන නමුදු විදේශීය සංචාරකයෝ ඒවායේ සුවිශේෂ ලක්‍ෂණ හඳුනාගැනීමට වෙහෙසෙති. එයින් අපමණ ආස්වාදයක් විඳිති.

චෛත්‍ය වන්දනාවේ නිරත වන බැතිමතුන් ඒ පුදබිම හා සබැඳි අවට පරිශ්‍රයේ විද්‍යාමාන වන බෞද්ධ මුහුණුවර ගත් බවත් විශේෂාංග නැරඹීමට යොමු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

චෛත්‍යය සිංහල බෞද්ධ වාස්තු විද්‍යාවේ හා ගෘහනිර්මාණ ශිල්පයේ අනගි සංකේතයකි. දාගැබ ස්ථූපය වෙහෙර ආදී පර්යාය නම්වලින් ද හඳුන්වන චෛත්‍යය බෞද්ධ පුදබිමක ඇති වටිනාම අංගයයි. අප විහාරස්ථානයකට ප්‍රවේශ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික පාරිභෝගික හා උද්දේශික වස්තූන් වන්දනාමාන කිරීම සඳහා ය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ඇත්තේ දාගැබේ ය.

මෙවන් ථූප හැම විහාර පුදබිමකම දක්නට ඇත. සොළොස් මහ ස්ථාන වන්දනා කිරීමේ ගාථාවේ ලෝහ ප්‍රාසාදය ශ්‍රී පාදස්ථානය හා දිවාගුහාව හැරුණු විට සෙසු සියලු ස්ථාන දාගැබ් ය. බැති හද උපරිමයෙන් දිනාගන්නා මේ දාගැබට අමතරව යටගිය අතීතය හාරා අවුස්සා බලනු කැමති ඕනෑම කෙනෙකුට එවැනිම ආගමික සුවඳ රැඳුණු තවත් බොහෝ දේ ඒ විහාර පරිශ්‍රය තුළ දැකිය හැකි ය. ඒ හැම දෙයක් ම ඉදි වී ඇත්තේ චෛත්‍යයේම අනුසාංගික උපාංග ලෙස ය.

චෛත්‍ය සංකල්පය අපේ ඉතිහාසයට එක් වන්නේ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ය. බුදුරදුන් ජීවමාන කාලයේ පවා මේ සංකල්පය භාරතයේ පැවති බව පෙනේ. උදේනි ගෝතමක සත්තුම්භක සාරංදද හා චාපාල ආදී චෛත්‍ය රමණීය බව බුදුන් වහන්සේ විසින්ම දේශනා කළ බව පරිනිබ්බාන සූත්‍රයෙන් පෙනේ. සැරියුත් මුගලන් දෑගසව්වන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට දාගැබ් ඉදිකොට ඇත. බුදු පසේබුදු මහරහත් හා සක්විති රජුන් චෛත්‍ය ඉදිකරමින් ගෞරව ලැබීමට සුදුසු බව වරක් බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට පවසා ඇත.

අපේ රටේ ප්‍රථම ඓතිහාසික ථූපය දෙවැනිපෑතිස්ස මහ රජු විසින් ඉදි කළේ යයි මහාවංශය සඳහන් කරන ථූපාරාමය බව ඉතිහාසඥයෝ පිළි ගනිති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ දී උන්වහන්සේගෙන් ලද කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් ඉදි කළ මයියංගනය මේ රටේ ඉදිවූ ප්‍රථම දාගැබ බව සිතීමට මහා වංශය රුකුල් දෙයි.

සත්සති අවසානයේ බුදුරජාණන් වහන්සේට මී විළඳ පිදු තපස්සු භල්ලුක වෙළඳුන් උන්වහන්සේගෙන් ලද කේශ ධාතු තැන්පත් කොට ඉදි කළේ යයි සලකන තිරියාය දාගැබ ඊටත් වඩා පැරණිම දාගැබ සිතීමට පුරාණ කතා ඉඩ සලසයි. ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් තිරියාය සංස්කෘත ලිපියක එන තපස්සු කෛඞ වලලිකෛඞ වනික් ඝනාඞ යන පාඨය මෙය තහවුරු කරයි.

උත්තිය රජු විසින් මිහිඳු මා හිමියන්ගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට ඉදිකළ මිහින්තලේ අම්බස්ථල දාගැබ මෙරට ඉදිවූ දෙවැනි දාගැබය. දුටුගැමුණු රජු විසින් රුවන්වැලි චෛත්‍යය ඉදි කරමින් මහාථූප ඉදිකිරීමේ කර්මාන්තය පටන් ගත් අතර පසුකාලයේ වළගම්බා හා මහසෙන් රජවරු අභයගිරිය හා ජේතවනාරාමය ඉදිකරමින් ඒ කාර්ය තවත් ඉදිරියට ගෙන ගියහ. ජේතවනාරාමය රුවන්වැලිසෑයට ද වඩා විශාල වූවද මහාථූපය ලෙස බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූයේ රුවන්වැලිය මය.

මේසා විශාල දාගැබ් ඉදි කිරීම දුෂ්කර කාර්යයක් ලෙස සිතූ නිසාදෝ පසුකාලීන රජවරුන් කුඩා දාගැබ් ඉදිකළ අතර ඉහත කී චෛත්‍ය ආශ්‍රීතව තව තවත් විවිධාංග එකතු කළ බව පෙනේ.

දාගැබේම අංගයන් වූ පේසා වළලු සතරැස් කොටුව, දේවතා කොටුව, කොත්කැරැල්ල ආදිය තව තවත් අලංකාර කළහ. ඉන් බැහැරව සිත යොමු කළ රජවරුන් තවත් බොහෝ දේ ඉදි කරමින් චෛත්‍ය භූමිය අලංකාර කළහ.

මහ දාගැබ්වල දාගැබටම සමීප කරමින් සිව් දිසාවේ ඉදි කොට ඇති වාහල්කඩ මෙසේ එක් වූ නවාංගයක් විය. කනිෂ්ඨතිස්ස රජුගේ සෙල්ලිපියකට අනුව ඒ රජු විසින් අභයගිරි දාගැබේ අයික සතරක් ඉදිකළ බව පෙනේ. ගජබාහු රජු ද අභයගිරියේ අයික සතරක් ඉදිකළ බව සඳහන් වේ. ;ම් අයික යනුවෙන් සඳහන් කර ඇත්තේ වාහල්කඩ ලෙස පිළිගැනේ. මිහින්තලේ කණ්ඨක චේතියේද රුවන්වැලි සෑයේ ද ජේතවනාරාමයේ ද මෙවැනි වාහල්කඩ ඉදි වී ඇත. මේවා විවිධ කැටයමින් අලංකාර කිරීමට ද කලාකරුවෝ පියවර ගෙන ඇත.

වාහල්කඩ දෙකක් අතර මල් පහන් පූජා කිරීම සඳහා මලසුන් ගෙයක් ඉදිවිය. පේසා වළලුවල මල් පහන් පිදීමේ දුෂ්කරතා මඟහැරීමද චෛත්‍ය අලංකාරය පවත්වා ගැනීමද මෙයින් අපේක්‍ෂා කරන්නට ඇත. දාගැබක සලපතල මලුව පිහිටි පොළොව උස්කොට සාදන ලද්දේ ය.

එනිසා දාගැබ වැඳීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට එහි නැඟීම සඳහා පියගැට පෙළක් ඉදිවිය. පියගැට ආවරණය සඳහාත් බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහාත් පිය ගැට පෙළ දෙපස කොරවක් ගල් නිර්මාණය විය.

පසු කාලයේ කොරවක්ගල ආවරණය කරමින් මුරගල් ඉදිකිරීම ඇරඹුණු බව පෙනේ. මෙය විහාරයේ සුවිශේෂ අංගයක් කොට සලකන ලද්දේ ය. සමහර මුරගල් පුන්කලසින් යුතු ය. තවත් සමහර ඒවා වාමන රූපවලින් යුතු ය. ඒවා සංක හා පද්ම සංකේත ලෙස සැලකේ. තවත් සමහර මුරගල් නාග රූපවලින් යුතු ය. මේ හැම දෙයකම අරුත චෛත්‍ය ආරක්‍ෂාව වූවද එයින් චෛත්‍යයට ලැබුණු අලංකාරය අති විශාලය.

පියගැටපෙළ පාමුල ඉදි වී ඇති සඳකඩ පහන අලංකාර අංගයක් වූවද එය දාගැබ වැඳීමෙන් බැතිමතුන් අපේක්‍ෂිත අරමුණ තවත් අර්ථවත් කරන සංකේතයක්ද වේ. පලාපෙති සැරසිල්ලකින් සිංහ, ඇත්, අශ්ව, ගව සත්ව පේලියකින් ලියවැලකින් හංස පේලියකින් හා අඩ නෙලුමකින් යුතු මේ කැටයම භව චක්‍රය නිරූපනය කරන බව මහාචාර්ය පරණවිතාන සූරීහු කියති. දාගැබ නැමැදීමට යන බැතිමතුන් සියලු කෙළෙසුන්ගෙන් බැහැරව එම උතුම් කාර්ය කරන බව ඇඟවීම කලාකරුවාගේ අරමුණ වූ බවද එතුමා කියයි.

තවත් රජවරු මේ මහා ථූපයන් වටා ප්‍රාකාර ඉදිකළහ. එය ඇත් හිස්වලින් හා වාමන රූපවලින් අලංකාර කළහ. රුවන්වැලි සෑයේ වැඩ නිම කිරීමේදී හස්ති ප්‍රාකාරය ඉදි කිරීමේ කාර්යද සද්ධාතිස්ස රජුට පැවරී තිබූ බව මහාවංශය කියයි. අභයගිරියේ හා ජේතවනාරාමයේද මෙවැනි හස්ති ප්‍රකාර පැවති බව මහා වංශයෙන් පෙනේ.

චෛත්‍ය අව්වැසි පින්නෙන් ආරක්‍ෂා කිරීම මහා පිනකැයි සිතූ සමහර රජවරුන් දාගැබ් වටා ශිලාස්තම්භ සිටුවා වහලක් යොදමින් චේතිය ගෘහ ඉදි කළහ. ථූපාරාමයේත් අම්බස්ථල දාගැබේත් මෙවැනි අංගයක් වූ බව පෙනේ.

වසභ රජු ථූපාරාමයට ථූපඝරයක් කළ බව මහා වංශයේත් වටදාගෙයක් කළ බව පූජාවලියේත් සඳහන් වේ. දාගැබේ ගර්භයේ තැන්පත් කළ සර්වඥධාතු බැතිමතුන්ට දැක බලා ගැනීමේ වාසනාවක් නොවී ය. මේ අඩුව සපුරාලනු සඳහා සර්වඥධාතු දෘෂ්‍යමාන වන අයුරින් තැන්පත් කොට ධාතුඝරයක් ඉදිවිය.

දාගැබ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කළ තැනය. බුද්ධ වන්දනාව සම්පූර්ණවීමට නම් තවත් පූජ්‍ය වස්තු දෙකක් වන්දනා කළ යුතු ය. ඒ පාරිභෝගික හා උදේශික වස්තූන්ය. දාගැබ් පරිශ්‍රය තුළම මේ අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කොට ඇති බව පෙනේ.

බෝධිඝරයක් ඉදිකොට බෝධි වෘක්‍ෂයක් රෝපණය කෙරුණේ මේ අවශ්‍යතාව සපුරා ගනු සඳහා ය. මේ නිසා විසිතුරු කැටයමින් යුතු බෝධිඝරය බෝධි වෘක්‍ෂයම ආරක්‍ෂාව සැලසුවා පමණක් නොව බැතිබර හදවත් සනසා ලන්නට ද සමත් විය. දාගැබ් පුදබිම උද්දේශික පූජාවට ද සුදුසු තැනක් පත්කර ගැනීමේ අපේක්‍ෂාව ඉටුකර ගත්තේ ප්‍රතිමාඝර ඉදිකරමිනි.

බෞද්ධයන්ගේ ආරම්භක පූජනීය කේන්ද්‍රස්ථානය වූ චෛත්‍ය පුදබිම මේ ආකාරයෙන් විවිධාංගිකරණය වීමෙන් විහාරයක් බවට පත්විය. මේ අනුව චෛත්‍ය වන්දනාව සංකීර්ණවත්ම එම පුදබිමද විවිධාකාර නිර්මාණයන්ගෙන් සංකීර්ණ විය. චෛත්‍යයක ආගමික වතාවත් යාවත්කාලීනව පවත්වාගෙන ගියේ භික්‍ෂූන් වහන්සේගේ දායකත්වයෙනි. මේ නිසා උන්වහන්සේලාට රැඳී සිටීම උදෙසා ආරාම ඉදි විය.

දානමාන අවශ්‍යතා සඳහා දාන ශාලා ද පොහොය කිරීම සඳහා උපෝෂතාගාරද ස්නානය සඳහා පොකුණු ද සක්මන් ශාලාද, පුස්තකාලද ආදී වශයෙන් බොහෝ දේ චෛත්‍ය පුදබිම පුරා ගොඩනැඟුණි.

අද අපට අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ විහාර පුදබිමකට පිවිසුන විට චෛත්‍යයට අමතරව වටපිටාව ඉහත කී උපාංග අඩු වැඩි වශයෙන් දැක ගත හැකි ය. ඒ අනුව බලන විට සිංහල වාස්තු නිර්මාණ ශිල්පියාගේ ගණිත මිනිත හැකියාවන්ද කලා ශිල්පියාගේ කලා කුසලතාද හඳුනාගැනීමේ කෙම් බිමක් ලෙස චෛත්‍ය පරිශ්‍රය දැක්විය හැකි ය. ඒ සඳහා චෛත්‍යයෙන් ඉටු වී ඇත්තේ ප්‍රශස්ත දායකත්වයකි.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]