UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මත්ද්‍රව්‍ය භාවිතය සහ එහි හානිකර විපාක

දීඝ නිකාය නම් ධර්ම ග්‍රන්ථයට අයත් සිඟාලෝවාද සූත්‍රයෙහි බුදු රජාණන් වහන්සේ විසින් සිඟාල නම් තරුණ ගෘහපතියා ට දේශනා කරන ලද ධර්මය, ගිහි පින්වතුන් උදෙසා දේශිත විනය පද්ධතියක් ලෙස සැළකෙයි. මෙම සූත්‍ර දේශනාවට අනුව, මත්පැන් හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා මත් වීමටත්, ප්‍රමාදයටත් හේතු වන අනිෂ්ට විපාක හයක් මෙලෙස විස්තර වන්නේය.

1. ක්ෂණිකව ම සිදුවන ධන හානිය
2. වියවුල් අධික වීම
3. සෞඛ්‍ය පරිහානිය ට පාදකවීම
4. අපකීර්තිය ට ලක්වීම
5. අසභ්‍යචර්ය්‍යාවන්ට පෙළඹීම
6. චින්තන ශක්තිය පිරිහීම

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනිත වන මෙකී අනිෂ්ට ප්‍රතිඵල, ශීර්ෂ තුනක් යටතේ සලකා බැලිය හැකි ය.
ශාරීරික බලපෑම - සෞඛ්‍ය පරිහානිය ට පාදක වීම
මානසික බලපෑම – චින්තන ශක්තිය පිරිහීම
සමාජීය බලපෑම – ධන හානිය ට තුඩු දීම
වියවුල් අධික වීම
අපකීර්තියට භාජනය වීම
අසභ්‍ය චය¸ාවලට පෙළඹීම
මත්පැන් සහ ‘ සමාජමය චර්යා ගැටලු

මත්පැන් පානයෙන් ව්‍යාජ ආත්ම විශ්වාසයක් ජනිත කරවන අතර, පවුලත්, සමාජයත් අතර බැඳුණු සාරධර්ම හා සමාජමය ගුණ ධර්ම ඉක්මවා යා හැකි බව මවා පාන, අනාත්මික’නිදහසක්’ ද ඇති වන්නේය. මත්පැන් හේතුවෙන් කෙනෙකු ගේ සැලසුම් කිරීමේ හැකියාවත්, ගැටලු විසඳීමේ හැකියාවත් පහත බසින අතර, ‘ආත්ම සෝදිසිය’ (Self – Awareness)ද ඌණනය වන්නේය. මෙසේ වන විට බේබද්දෝ ක්‍රමයෙන් සමාජ විරෝධී චර්යාවන් ට බසින්නෝය. ගෙදර සණ්ඩු දබර, ‘දරුවන් කෙළෙසීම’ (Child Abuse)ස්වාමි භාර්යා ගැටලු යනාදී ප්‍රශ්න; බේබදු කමත් සමග ශීඝ්‍රයෙන් ඉහළ යයි. එපමණක් ද ‍ෙනාව, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අනෙකුත් සමාජමය ගැටලු ද ඇති වන්නේ ය. ‘පුද්ගලාන්තර සම්බන්ධතා’ (Inter- Personal Relationship( බිඳ වැටීම ඉන් එකකි. නිදසුනක් වශයෙන් අධිකලෙස මත් පැන් පානය කරන අයට සමාජයේ අනිත් අය සමග සාමයෙන්, සහජීවනයෙන් විසීම අසීරු වන්නේ ය. මන්ද, අන්‍යෝන්‍ය වශයෙන් ඉටු විය යුතු යුතුකම් හරියාකාර ලෙස ඉටු නොවන බැවිනි.

ශිෂ්ට සම්පන්න සමාජයක ගුණ ගරුක මිනිසුන් වශයෙන් ජීවත් වන අය අන්‍යෝන්‍ය වශයෙන් සිදු කළ යුතු යුතුකම් හා වගකීම් රැසක ට බැඳී සිටින බව නොකිවමනා ය. ස්වාමිපුරුෂයකු වශයෙන් කෙනෙක් තම භාර්යාව ට හොඳින් සලකමින් ඇය රැක බලා ගත යුතු ය. යුතුකම් හඳුනන බිරියක් වශයෙන් වනිතාව වෙතද තම සැමියා උදෙසා ඉටු කළ යුතු කාර්ය භාරයක් ඇත. මෙලෙස මවුපියනට තම දරුවන් කෙරෙහි ද සිදුකළ යුතු කාර්ය භාරයක් තිබෙනවා මෙන්ම, දරුවන්ටද තම මවුපියන් උදෙසා කළයුතු කාර්ය භාරයක් ඇත්තේ ය.බීමත්කමට ඇබ්බැහි වූ අයට බොහෝ විට මෙකී යුතුකම් හා වගකීම් පිළිබඳ හැඟීමක් ඇති වන්නේ නැත. එපමණක් ද නොව, එබඳු අය අන්‍යයන් සමග කලහ කර ගන්නා අතර, තම මිනිස් කම ටද නොගැළපෙන අශිෂ්ට වචන ද භාවිතා කරමින් ඉතා අශෝභන චර්ය්‍යා අනුගමනය කරති. නින්දාවට හා අපකීර්තියට පත් වන මෙවැන්නෝ, තම දෙමව්පියන් නොහඳුනති. දූදරුවන්, සොහොයුරු- සොහොයුරියන් හෝ අසල්වාසීන් හෝ නොහඳුනති. මෙවන්ය චර්ය්‍යා කෙළවර වන්නේ පවුල් ඒකකය තුළත්, ඉන් එහාවූ වඩාත් විශාල සමාජය තුළත් බිහිසුණු කැළඹීම් ඇති කරවමිනි.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි උන් වහන්සේ ගේ බලවත් සෘද්ධි ඇති ශ්‍රාවකයකු වූ සාගත නම් වූ තෙර කෙනෙකු ට; තම සෘද්ධි බලයෙන් එක්තරා විෂ ඝෝර නාග රාජයකු දමනය කොට, එම ගම් වැසියන් එකී නාගයාගෙන් සිදුවූ ගැහැටින් මුදවා ගත හැකි විය. කළ ගුණ දත් ගම් වැසියෝ, තෙරුන්ට තමන් අගය කළ මී විතකින් සංග්‍රහ කළහ. ඒ මධු පානයෙන් මත්වූ සාගත තෙරණුවෝ තමන් සතුව තිබූ සෘද්ධි බල වලින් පිරිහුණු අතර, බීමත්කම නිසා කෙළින් සිට ගත නොහැකිව, මහා මාර්‍ගය අසල කසළ ගොඩක වැටී සිටියහ.

මේ දුටු අනික් භික්ෂූහු ඔහු වත්තම් කොට ගෙන බුදු රදුන් හමුවට ගෙන ගොස් හිස බුදුරදුන් දෙසට යොමු කොට බිම දිගා කළහ. එහෙත් වෙරි මත නිසා ඔහු කැරකී බුදුන් දෙසට පා හරවා වැටී සිටියේය. භික්ෂූන් ඇමතූ බුදු රජාණන් වහන්සේ, මේ තත්ත්වයෙන් සිටින සාගත තෙරුන්ට විෂ ඝෝර නාග රාජයකු තබා ගැරඬියකු වත් දමනය කළ හැකි දැයි විමසූ සේක. මත්පැන් පානයෙහි ඇති භයානක කම විස්තර කළ උන් වහන්සේ, ඒ නිසා කෙනකු වැටියහැකි බලවත් ප්‍රපාතය ගැන සඳහන් කරමින් පැවිදි ගිහි දෙපක්ෂය සඳහාම මත් පැන් පානයෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය පැනවූ සේක. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට සහ දුම්පානය වළක්වා ගත හැකි උපක්‍රම

මත්ද්‍රව්‍ය භාවිතයටත්, දුම් පානයටත් එරෙහිව සටන් වැදී ඇති කණ්ඩායම් මේ දේවල් සමාජයෙන් තුරන් කිරීම අරභයා විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන අතර, ඒ සඳහා නොයෙකුත් උපක්‍රම ද යොදා ගෙන ඇත. මත්ද්‍රව්‍ය ලෝලයින් හා සුරා සොඬුන්, ඔවුන් පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විධිමත් ක්‍රියාදාමයක් වහාම දියත් කළ යුතු ය යන්න, අපගේ කල්පනාව යි. ඒ අතර ම අපේ අනාගත පරපුර කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු විය යුතු ය. මෙම පරම්පරාවේ බහුතරයක් තවම අර අවාසනාවන්ත තත්ත්වයට පත් වී නොමැති නිසා අනාගතයේ දී එලෙස වීමට ඇති හැකියාව පහසුවෙන් වළක්වා ගත හැකි ය.

මෙහිදී මූලික පියවරක් විය යුතුවන්නේ, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත් පැන් හා දුම්පානය කිරීමෙන් ඇති විය හැකි හානිකර අනිෂ්ට ඵල විපාක පිළිබඳ තොරතුරු නොයෙක් ආකාරයෙන් ප්‍රකට කිරීමයි. දේශනා මගින් හා සාකච්ඡා සමුළු පැවැත්වීම මගින්, පාසල් සිසුන්ට මේ ගැන අවබෝධයක් ලබාදිය හැකි ය.

වැඩි වැඩියෙන් බදු අය කිරීමෙන් මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සහ දුම් පානය අඩුකළ හැකි යැයි ඇතැමෙක් කල්පනා කරති.එය තරමක් දුරට එසේ විය හැකි ය.එහෙත්, එවිට සමහර අය, වඩාත් අහිතකර ද්‍රව්‍ය භාවිතයට පෙළෙඹෙත්. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය මැත්පැන්වල මිල ඉහළ යනවිට, නීති විරෝධී (විස මිශ්‍ර) කසිප්පු නිෂ්පාදනය ද ඉහළ යන්නේ ය. මෙම බීම නොයෙක් තැන්වල පහසු මිලට ලබා ගත හැකි ය. මේවායින් සිදුවන හානිය හා අනිටු විපාක මහජනායා ට, විශේෂයෙන් කුඩා අයට පහදා වටහා දුනහොත් මත්ද්‍රව්‍ය හා මත්පැන් සොයා යෑම ක්‍රමයෙන් පහත වැටෙනු ඇත.

මේ සඳහා ඵලදායී සක්‍රීය පියවර හැකි පමණ ගැනීම ඕනෑම රජයක මූලික වගකීමකි. නිදසුනක් වශයෙන්, ප්‍රාථමික මට්ටමේ සිට සිසුනට මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැඩසටහන් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්නැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට බල කර සිටිය හැකි ය. සිසුන් ගේ නො බිඳෙන අවධානයක් ලැබිය හැකි තරම ට මෙම වැඩ සටහන් ආකර්ෂවත් හා බලවත් විය යුතුය.මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය දැඩි ලෙස පිළිබිඹු වනසේ මේවා සකස් විය යුතුය.

නමුත් දැන් සිදුවන්නේ මෙහි අනික් පැත්ත ය. වර්තමානයෙහි කොම්පියුටර්, අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව ආදී විවිධ ජනමාධ්‍ය මගින් කුඩා අයගේ දෙනෙතට ඉතා අධිකව හා බලවත් ලෙස ඉදිරිපත් කරන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරැට් ආදිය පිළිබඳ සුබ වාදයයි. මේ භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකම හා වගකීම විය යුතු ය.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]