UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2010.01.23

ජය හා පරාජය

ලෝකයේ දැනට පවත්නා හොඳ ම පාලන ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යැයි පොදු පිළිගැනීමක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 21 (3) වගන්තිය මඟින් ඒ බව තහවුරු කැර ඇත්තේ මෙ සේ ය.

’රජයේ බලතලවල පදනම වන්නේ ජනතාව ගේ කැමැත්ත ය. මේ කැමැත්ත ප්‍රකාශ වන්නේ සර්වජන ඡන්ද බලය අනුව රහසේ දෙන ඡන්දයෙන් හෝ ඊට සමාන ස්වාධීන ඡන්ද විමසීම් ක්‍රම මඟින් කලින් කලට අව්‍යාජ ලෙසින් පවත්වන ඡන්ද විමසීම් මඟිනි.”

යම් යම් වාද විවාද පැවතිය ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක අයුරින් අඛණ්ඩ ව පවත්වා ගෙන ඒමට අපි සමත් වී සිටිමු. ආසියානු ප්‍රජාතන්ත්‍රවාදයේ දුබලතා ලෙස හඳුන්වා දෙනු ලබන වාර්ගික, ආගමික, කුල හා ප්‍රදේශවාදී බෙදීම් ආදිය අප අතර නැතුවා නො වේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය ආරක්‍ෂා කිරීමට තරම් අප පොහොසත් ය.

බ්‍රිතාන්‍යයන් ගෙන් අප ණයට ගත් නූතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පොහොසත්කම අපට ලැබුණේ කෙ සේ ද? මෙය ඇතැම් විට වැරැදි ලෙස විග්‍රහ කැරෙන අයුරු අපි දැක ඇත්තෙමු. යටත් විජිතවාදී අධ්‍යාපනය මඟින් නිර්මාණය කළ අනුකාරකවාදී නායකයන් නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරක්‍ෂා වී ඇතැයි කීම මිථ්‍යාවකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිස් සබඳතා මත පදනම් වූ මානුෂික ක්‍රියාවලියක් බව අප අමතක නො කළ යුතු ය. සියලු දුබලතා මැද මෙය ඉදිරියට ගමන් කැරෙනුයේ එම මානුෂික ගුණය නිසා ම ය.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති මේ මානව සබඳතාව ඉදිරියට ගෙන යෑම සඳහා අනාගමික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව බටහිර දේශපාලන විචාරකයන් අපට නිරන්තරයෙන් කියනු ලැබේ. මෙහි දී ආගම යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ කුමක් දැයි අවබෝධ කැර ගැනීම වැදගත් ය. ඔක්ස්ෆර්ඩ් ඉංගී‍්‍රසි ශබ්දකෝෂයෙහි සඳහන් කැර ඇති පරිදි ආගම යනු විශ්වය නිර්මාණය කොට මිනිසාට මරණයෙන් පසු ව ද නො නැසී පවත්නා සදාකාලික ආත්මයක් ප්‍රදානය කළ දෙවියකු හෝ දෙවිවරුන් පිළිබඳ විශ්වාස යි. එම අර්ථයෙන් ගත් කල, ආගම හා රාජ්‍ය පාලනය අතර සබඳතාවක් පැවතිය නො හැකි ය. එහෙත් බුදු දහම එම ශබ්දකෝෂාර්ථයට ඇතුළත් කළ නො හැකි බව අපි දනිමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නිජබිම ලෙස සලකන බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පාලනය හා ආගම අතර සබඳතාවක් නො පවතී ද? එහි ඇති සැබෑ තත්ත්වය තේරුම් ගැනීම සඳහා බර්ට්‍රන්ඩ් රසල් නමැති ඉංගී‍්‍රසි දාර්ශනිකයා (1872 – 1970) විසින් 1927 මාර්තු මස 06 වන දා පවත්වන ලද දේශනයක ඇතුළත් වූ මේ කරුණ අප පාඨකයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

“මෑතක් වන තුරු ම නිරය පිළිබඳ විශ්වාසය ක්‍රිස්තියානි විශ්වාසයේ ඉතා වැදගත් අංගයක් විය. එංගලන්තයේ තත්ත්වය වෙනස් කරන ලද්දේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තීරණයක් අනුව ය. කැන්ටබරියේ ආච් බිෂොප් වරයාත්, යෝක් හි ආච් බිෂොප් වරායත් මේ තීරණයට එරෙහි වූ හ. එහෙත් එංගලන්තයේ ආගම පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කරනුයේ පාර්ලිමේන්තු පනත් මඟිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආගමික නායකයන් අතික්‍රමණය කළ හැකි ය. එහි තීරණය අනුව නිරය ක්‍රිස්තියානි ආගමේ අත්‍යවශ්‍ය අංගයක් නො වී ය.”

අසිපත මඟින් සියල්ල පාලනය කළ හැකිය යන මේ අපරදිග මතය බුදුදහමෙන් පෝෂිත පෙරදිග දේශපාලනයට අදාළ නො වන බව වටහා ගැනීම පිණිස ධර්මාශෝක අධිරාජයා ගේ සමයේ සිදුවීමක් මෙහි ගෙනහැර දක්වමු.

දඹදිව වැඩසිටි භික්‍ෂූන් වහන්සේ ලා සත් අවුරුද්දක් පුරා පොහොය කිරීම නතර කැර ඇති බව දැනගත් අශෝක මහ රජතුමා, පොහොය කිරීමට සලස්වන ලෙස නියම කොට අශෝකාරාමයට ඇමැතිවරයකු යැවී ය. එම දැනුම් දීම අනුව සංඝයා පොහොය නො කළ හෙයින් කිපුණු ඇමැතිවරයා සිය අසිපත ගෙන භික්‍ෂූන් වහන්සේ කිහිප නමක ගේ හිස් සිඳ දැමී ය. පොහොය කරන ලෙස භික්‍ෂූන් වහන්සේ ට නියම කිරීමට රජුට බලයක් නැතැයි ඒ පිළිබඳ ව සොයා බැලූ රජතුමාට පසු ව දැන ගන්නට ලැබිණ. මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි තුන්වන සංගායනාව සඳහා කටයුතු සම්පාදනය කිරීමට රජතුමා පෙළඹ වූ හේතුව මෙය යැයි කියනු ලැබේ.

මේ කරුණු මඟින් අප තේරුම් ගත යුත්තේ කුමක් ද? අප ගේ ආණ්ඩු ක්‍රම ආකෘතිය බටහිර නිර්මාණයක් වූව ද එහි සාර්ථකත්වය රඳා පවතිනුයේ පෙරදිග සම්ප්‍රදායයන් හි ශක්තිය මත ය. එ බැවින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු නෛතික ලියවිල්ලකට වඩා ගැඹුරට සමාජගත වූ මානුෂික බැඳීමකි. මෙය, තව දින තුනකින් පැවැත්වෙන ජනපතිවරණයේ දී ද ආරක්‍ෂා කැර ගැනීම අවශ්‍ය ය. අප සතු සාර ධර්ම වනසා ලබන ජයග්‍රහණය ජාතියේ පරාජයක ආරම්භය මිස වෙන කිසිවක් නො වේ.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය ජනවාරි 23 වනදා සෙනසුරාදා පූර්ව භාග 04.07 ට ලබයි.
24 වනදා ඉරිදා පූර්වභාග 04.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 23 වනදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 29 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]