UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය

උපතින් බමුණෙකු වූවත් ගති පැවතුම් වලින් බොදුනුවකු වීම වඩා වැදගත් බව එක්තරා බමුණකු උදෙසා බුදුරදුන් වදාළහ. එම තැනැත්තා කවුද? ඒ සඳහා පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.

පිළිතුර

අක්කෝසක භාරද්වාජ බමුණාගේ සහෝදරභාරද්වාජ නම් අයෙක් බුදුරජාණන් වහන්සේ හමුව සංවාදයකින් අනතුරුව පැවිදි විය. මෙයට උරණ වූ අක්කෝසක බමුණා බුදුරදුන් වෙත ගොස් උන්වහන්සේට පරිභව කළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ ඔහුගේ පරිභවය නොසලකා ආහාරපානාදියෙන් ආගන්තුක සත්කාර කොට මෙසේ වදාළහ.’යම් පුද්ගලයෙක් ගැරහීම, අවමානය, වද වේදනා දීම, හිංසනයට පත් කිරීම ආදී සියල්ල අභියෝගාත්මකව ඉවසීමෙන් ජයග්‍රහණය කරන්නේ ද? ඔහු බමුණකු බව කියමියි වදාරා අක්කෝසක බමුණා ප්‍රසන්න සිත් ඇත්තෙකු බවට පත් කරගත්හ. මේ හේතුවෙන් අක්කෝසක ඇතුළු භාරද්වාද සහෝදර සිව්දෙනෙක් ම පැවිදිව රහත් බවට පත් වූහ.


ප්‍රශ්නය

බෞද්ධාගමික ගෘහ නිර්මාණ ශිල්පයේ අපූර්ව නිර්මාණයකි ස්ථූපය හෙවත් චෛත්‍ය නිර්මාණය මෙම නිර්මාණ ශිල්පයේ විවිධ අංග පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර

මෙරට මුල් කාලයේ ඉදිකරන ලද විශාල දාගැබ් ඉන්දියාවේ විශාලතම ස්ථූපයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වූයේ වී නමුත් ස්වරූප ප්‍රමාණයෙන් විශාල වූයේ වී නමුත් ස්වරූපයෙන් ඒවා දඹදිව ස්ථූපයන්ට වඩා වෙනස්ව ගියේ ඉතා ස්වල්ප වශයෙනි. ලංකාවේ දාගැබ් වලට මූලික ආදර්ශ ලැබෙන්නට ඇත්තේ භාරතයේ සාංචි ස්ථූපයෙනි. සාංචි ස්තූපය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ජාත භූමිය වූ විදිසා නගරය ආසන්නයේ වූ බැවින් ඒ පිළිබඳව විශිෂ්ට අත්දැකීම් උන්වහන්සේට තිබෙන්නට ඇත.

වර්තමානයේ මෙන්ම පුරාණයේ ද ස්ථූපයක වැදගත් අංගය, වූයේ අර්ධගෝලාකාර ගර්භයයි. සාංචියේ අර්ධ ගෝලාකාර ගර්භයේ පාදම වටා ඇත්තේ එක් ‘මෙධියක’ හෙවත් පේසාවලල්ලකි. එහෙත් ලංකාවේ දාගැබ් වල අර්ධ ගෝලාකාර ගර්භය නැගී සිටියේ එක මත එක පිහිටි ක්‍රමයෙන් කුඩාවන පේසා වළලු තුනක් මතයි. සාංචියේ මෙය වටා ගල් ගරාදි වැටකි. ලංකාවේ ස්ථූපවල ගර්භය මුදුනෙහි ‘හර්මිකා’ නමින් හැඳින්වෙන හතරැස් කොටුවයි. සාංචියේ හතරැස් කොටුව වටා ද ගල් ගරාදි වැටකි.

ලංකාවේ ස්ථූපවල ගඩොලින් කළ හතරැස් කොටුවේ බිත්තිවල බදාමයෙන් කළ තීරු වලින් වැටක ස්වරූපය පෙන්වා තිබේ. හතරැස් කොටුවෙහි මධ්‍යයෙහි සිටුවන ගලින් කළ යෂ්ටියකි. සාංචියෙහි ඇති මේ ලක්‍ෂණය ලංකාවේ පැරැණි ස්ථූප වල ද තිබුණු බව සොයාගෙන තිබේ. යෂ්ටිය මත ගලින් කළත්‍රයකි. ලංකාවේ ස්ථූපවල මේ ලක්‍ෂණ පසු කාලයකදී ඡත්‍රාවලියකට පරිවර්තනය වී තිබේ. චෛත්‍ය පිළිබඳ සඳහන් කරන විවිධ ආකෘති පිළිබඳව ද දැක ගත හැකි ය.

එනම්

1. ඝණ්ඨාකාර – ගණ්ඨාවක හැඩරුව
2. ඝඨාකාර – කළගෙඩියක හැඩරුව
3. බුබ්බුලාකාර – දිය බුබුලක හැඩරුව
4. ධාන්‍යාකාර – වී ගොඩක හැඩරුව
5. ආමලකාකාර - නෙල්ලි ගෙඩියක හැඩරුව
6. පද්මාකාර - නෙළුම් මලක හැඩරුව වශයෙනි.


ප්‍රශ්නය

ශ්‍රාවක ඔබ අප කාහටත් එක්තරා සුවිශේෂ අවස්ථාවකදී අසන්නට ලැබෙන ධර්ම පාඨයකි මේ. ‘මරණං නියතං මරණං නියතං මරණං නියතං - මරණ පරියොසානං මේ ජීවිතං’ මරණය ඒකාන්තය ජීවිතය මරණයෙන් කෙළවර වේ.’ මරණය පිළිබඳව දහම් නය දේශනා පාලියට අනුව විවරණය කරන්න.

පිළිතුර

බුදු දහමට අනුව මරණය නම් එක් පුද්ගල පැවැත්මක නාම, රූප, පැවැත්ම, නැවැත්මයි. ආයු හෙවත් ජීවිතින්ද්‍රිය උෂ්ණය (උස්මා) සිත (විඤ්ඤාණ) යන ඒවා නැතිව යාමය. මරණය නම් සත්වයෙකුගේ උච්ඡේද වීමක් නොවේ. (විනාශයක්) එක් ජීවිත කාලයක් නිම වූ පමණින් මෙතෙක් එය පටවාගෙන ආ ශක්තිය විනාශ නොවන හෙයිනි. විදුලි පහනක ආලෝකය අදෘෂ්‍යමාන විදුලි බලයෙහි දෘෂ්‍යමාන ප්‍රතිඵලය වන්නාසේ අපිද අදෘෂ්‍යමාන කර්මශක්තියෙහි දෘෂ්‍යමාන ප්‍රතිඵලය වෙමු. විදුලි බුබුල බිඳී ආලෝකය නිවීයන්නට පුළුවන. එහෙත් විදුලිය එසේම පවත්නා හෙයින් නව බුබුලක් සවිකොට ආලෝකය ලබාගත හැකි ය. එමෙන්ම කර්ම ශක්තිය නිරුපද්‍රිතව පවත්නා හෙයින් ශරීරය බිඳී ගිය පසුවද වර්තමාන සිතේ ක්‍රියාකාරීත්වය මගින් වෙනත් ජන්මයක නව සිතක් ඇතිවීමට හැකිවෙයි. එහෙත් මෙලොවින් පරලොවට කිසිම නිත්‍ය යමක් නොයන බව සිතිය යුතු ය. (බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ ග්‍රන්ථය ඇසුරෙනි)


ප්‍රශ්නය

අඳ බාලයා පුන පුනා ගැබට පැමිණෙය. ඔහු ඉපිද මැරි මැරී යළි ඉපදේ. නුවණ ඇත්තා නිවන ලැබ පුන පුනා නූපදියි. (සං.නි. බ්‍රාහ්මණ සංයුත්තය)සසර පැවැත්ම පිළිබඳ ධර්මානුකූල විවරණය කරන විට මරණය සිදුවන විවිධ හේතු විවරණ වෙයි. ගණනින් සතරක් වූවත් එකට අනුව මරණය සිදුවෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

ජනක කර්මයෙහි ශක්තිය හීන වී ගිය කල ජීවන ශක්තිය ගැබ්ව පවත්නා රූප කායෙහි ප්‍රධාන කාර්යයන් ඒ ඒ සත්වලෝකයට හිමි පරමායුෂය නිමවන්නවත් පෙරම නවතියි. මෙය ‘කම්මක්ඛය’ මරණය නමින් සඳහන් වෙයි. ජනක කර්මයෙහි අවසානය නිසා සිදුවන්නේ අපායෙහි උපන් සත්වයනට වුවද එය අන්‍ය ලෝකවල වුවද සිදුවිය හැකි ය. වයස්ගතවීමෙන් පරමායු කාලය නිමවීමෙන් සිදුවන මරණය ආයුක්ඛය මරණය නම් වෙයි. කර්ම බලය හා ආයුෂ යන දෙකම නිමවීමෙන් සිදුවන මරණය උභයක්ඛය මරණය ආයු කාලය අවසන් වීමට පෙර කිසියම් බලගතු කර්මයක් අනපේක්‍ෂිත ලෙස ජනක කර්මයෙහි ශක්තියට බාධාකර ජීවිතය අවසන්වීමෙන් සිදුවන මරණය ‘උපච්ඡේදක’ මරණයයි.


ප්‍රශ්නය

සම්මා ආජීව මිච්ඡා ආජීවයෙන් වෙන්කොට හඳුනා ගැනීම සදහා පෙළදහමෙහි දැක්වෙන මිච්ඡා ආජීවයෙහි ගති ලක්‍ෂණ සටහන් වී ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර

මහාචත්තාරික සූත්‍රය (ම.නි) මිච්ඡාජීවයෙහි ලක්‍ෂණ මෙසේ දක්වා ඇත. කතමොච භික්‍ඛවෙ මිච්ඡා ආජීවො, කුහනා ලපනා නෙමිතිතිකතා - නිප්පෙසික තාලාභෙන ලාභං නිජිගිංසනතා අයං භික්‍ඛවෙ - මිච්ඡා ආජීවො.

මෙහිදී කුහනා යන්නෙන් අදහස් කෙරෙන්නේ කුහකකම් කිරීමයි. ලාභාපේක්‍ෂාවෙන් අනුන් සිත් ගන්නා ලෙස හැසිරීමය. කය, වචන දෙකින්ම අනුන් රැවටීම මෙයින් අදහස් කෙරේ. ධාර්මික රැකියාවක් ලෙස සටහන් වන වෙළඳාම මෙවන් කුහක කම්වලින් කෙලෙසා ගැනීම ලාභය ගැන සිතා පාරිභෝගිකයා සූරා කෑමකි.

ඒ නිසා එය සාහසික ක්‍රියාවකි. කුහකකමින් ඈත්වීම අසාහසික බවකි. (අසාහසික) ‘ලපනා’ යනු කතාබහෙන් ඇති තතු මුවහ කෙරෙන අයුරින් තම වාසිය සලසා ගැනීමට උත්සාහ කිරීමයි.

‘තෙමිත්තිකතා’ නම් නිමිති කීමයි. තම ලාභය සඳහා කය, වචනය මගින් ඉරියව් දක්වා ලාභ ලැබීමයි.

‘නෙජපෙසිකතා’ නම් තම ලාභය සඳහා ආත්මාර්ථකාමීව අන් අය හෙළා දැකීමයි.

‘ලාභෙන ලාභං නිජිගිංසනතා’ යන්නෙන් සඳහන් වන්නේ ලාභය එකම අරමුණ වශයෙන් සලකා ව්‍යාපාරය ගෙනයාමය.

මෙම විස්තරයට අනුව වෘත්තියෙන් ධාර්මික වූ පමණින්ම මිච්ඡා ජීවයෙන් වෙන්වීම ප්‍රමාණවත් නොවන බවයි. ‘අසාහසික’ විය යුතුමය. ධම්මෙන භොගෙ පරියෙසත්වා අසාහසෙන (රාසියසූත්‍ර) ධාර්මික බවත් සාහසික නොවන බවත් වෙන වෙනම සඳහන් කිරීමෙන් ඒ බව පැහැදිලි වේ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]