UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ලාංකිකයන් ලෙස සිතීම

කොළඹ නව අගරදගුරු ලෙස පදවි ප්‍රාප්ත වූ මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පිළිගැනීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැති උත්සවයේ දී එතුමන් කළ කතාව මෙ රට බෞද්ධයන් ගේ ප්‍රසාදයට හේතුවන බවට සැකයක් නොමැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන් ම මහා සංඝරත්නය, කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන්, අගවිනිසුරු අශෝක සිල්වා මහතා, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක ගේ සහභාගීත්වයෙන් පසුගිය 10 වන දා පැවැති එම උත්සවයේ දී නව අගරදගුරුතුමන් මෙ සේ පවසා තිබේ.

“මේ රටේ දියුණුව සඳහා කිතුනු බැතිමතුන් පුළුල් දායකත්වයක් ලබා දී තිබෙනවා. අප එ සේ පවසන්නේ කීර්තියක් අත්කර ගැනීමට නො වෙයි. මේ රට බුදු දහම සමග කොතරම් බැඳී තිබෙනවා දැයි අප දන්නවා. එ බැවින් සදාචාරාත්මක නො වන අයුරින් කිතු දහමට හරවා ගැනීම අප අනුමත කරන්නේ නැහැ. මේ රටේ ආගමික සහජීවනයටත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමෘද්ධිය ගොඩනැඟීමටත් මේ මහා සංඝරත්නය සමඟ සිටින බව මතක් කරනවා.”

“එක ම ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා අප ඔබවහන්සේලා සමඟ සිටිනවා. සුඛ විහරණය මුල්කොට ගත් සමාජය නිසා සියලු ආගම් පොදු අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ අවස්ථාවේ අප අතර සිත් නොහොඳකම් ඇති කරගත යුතු නැහැ. මේ රට ආර්ථික සමෘද්ධිය සඳහා ගෙන යන ඕනෑම ව්‍යායාමයක් තුළ ආගමික හා සදාචාරාත්මක මූලධර්ම ගැබ් වී තිබිය යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අගය කරනවා. අප ජනතාව ගේ සමෘද්ධිය අවශ්‍ය නමුත් එය කළ යුත්තේ ආගම හා සදාචාරය බිල්ලට දීම මඟින් නො වේ. තුවක්කුව පිළිබඳ ව විශ්වාසය තැබූ පිරිස් දමිළ ජනතාව සිටියාටත් වඩා අගාධයකට ඇද දමා තිබෙනවා.”

සදාචාරාත්මක නො වන අයුරින් කිතු දහමට හරවා ගැනීම පිළිබඳ ප්‍රශ්නය කිතු දහමේ ක්‍රියාකාරීත්වය ඇසුරින් ම අවබෝධ කැර ගැනීමට අපි උත්සාහ දරමු.

කොන්ස්ටන්ටයින් රජු ක්‍රි.ව. 325 දී කිතු දහම රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කිරීම සමස්ත යුරෝපයේ ම ගමන් මඟ තීරණය කළ සිදුවීමකි. ඒ අනුව ව්‍යාප්ත වූ කිතු දහම යුරෝපීයයන් ගේ ජීවිත හැඩගැස්වීම උදෙසා විශාල කාර්ය භාරයක් ඉටු කැර තිබේ. බෞතීස්ම කිරීම, අභිවෘද්ධි ආලේප කිරීම, පාපොච්චාරණය, විවාහ හා අවමංගල චාරිත්‍ර විධි ආදිය පමණක් නො ව විධිමත් අධ්‍යාපන ආයතන ද ක්‍රිස්තු පල්ලිය ඒ සඳහා යොදාගත් බව නො රහසකි. වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට ළඟාවීමත් සමඟ ක්‍රිස්තියානි පල්ලියේ සෙවණැල්ල ආසියාව මත පතිත විය.

බටහිර අධිරාජ්‍යවාදය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 19 වන සියවස වන විට බුදුදහම හා හින්දු ආගම වැනි විශිෂ්ට ආසියාතික ඥාන දර්ශන හඳුනා ගැනීමේ අවස්ථාව යුරෝපීයයන්ට ලැබිණ. එ සේ හඳුනා ගත් විවිධ ආගම් දෙස උද්වේගයෙන් තොර ව බැලීමේ බටහිර ප්‍රයත්නය අද වන විට සන්සන්දනාත්මක ආගම (Comparative Religion) යැයි විශේෂ අධ්‍යයන ක්‍ෂේත්‍රයක් නිර්මාණය කැර තිබේ.

එහෙත් යුරෝපීයයන් සෙසු ආගම් පිළිබඳ ව දක්වන ආකල්පය යහපත් යැයි කිව නො හැකි ය. එය නිවැරැදි ව තේරුම් ගැනීමට නම්, ශ්‍රී ලංකාවේ දැනට සිදුවන අයථා ලෙස අන්‍යාගමිකකරණය, ගැන සොයා බැලීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. එ විට, ඊනියා දියුණු යුරෝපීයයන් ගේ ආගමික දේශපාලනයේ සදාචාර විරෝධී මුහුණුවර දැක ගැනීමට අපට පුළුවන. එම සදාචාර විරෝධී ආගමික දේශපාලනය නව අගරදගුරුතුමන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂේප කිරීම සතුටට කරුණකි.

සිංහල බෞද්ධයන් සෙසු ආගම් කෙරෙහි දක්වන ආකල්පය යුරෝපීය ජාතීන්ට වඩා බොහෝ නම්‍යශීලී හා මානවහිතවාදී බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. මේ ලක්‍ෂණය අන්‍යාගමික සිංහලයන් ගෙන් පවා දක්නට ලැබෙන්නකි. මර්සලින් ජයකොඩි පියතුමා එයට උදාහරණයක් ලෙස ගත හැකි ය. පන්සලේ පියතුමා යැයි විරුදාවලි ලත් මර්සලින් ජයකොඩි පියතුමා සිංහල බෞද්ධ සංස්කෘතියට බෙහෙවින් ගරු කළේ ය. එම විශිෂ්ටත්වය මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් ප්‍රකට කිරීම සතුටට කරුණක් නො වේ ද?

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]