UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 16 වන උපාධි ප්‍රදානෝත්සවය 21 වන දා

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

සිය අරමුණ ඉටු කර ගෙන ඇත

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 16 වන උපාධි ප්‍රදානෝත්සවය පවත්වනු ලබන අවස්ථාවේ මහා මහෝපාධ්‍යාය වශයෙන් ප්‍රකාශයක් කිරීමට ලැබීම භාග්‍යයක් යැයි සිතමි.

1981 වර්ෂයේ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරන ලද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ වන විට ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල ව්‍යාප්තියට අනුව ප්‍රතිව්‍යුහ ගත කරමින් පවතී.

මෙහි අධ්‍යාපනය හැදෑරීමට අපේක්‍ෂා කරන විදේශකයිනට අවස්ථා සලසා දෙමින් පැවිදි සිසුන්ට මෙන්ම ගිහි පිරිමි සිසුන්ට ද අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කරමින් අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් මේ වන විට සළසා ඇත. ශ්‍රී ලංකාවේ හා විදේශීය රටවල පාලි හා බෞද්ධ අධ්‍යයනය ප්‍රචලිත කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ මෙම විශ්වවිද්‍යාලය බාහිර හා අභ්‍යන්තර පාඨමාලා රාශියක් ආරම්භ කර පවත්වාගෙන යමින් ද දේශීය හා විදේශීය ගිහි පැවිදි විශාල පිරිසක් ඒ සඳහා යොමු කිරීමට හැකිවීමෙන් ද සිය අරමුණ ඉටු කරගෙන ඇත. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙත්වායි ආශිංශනය කරම්හ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය හා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ


බුදු දහම සහ පාලි භාෂාව ප්‍රවර්ධනය ප්‍රායෝගිකව සිදු කැරේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ වශයෙන් මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 74 දරන පනතින් ස්ථාපනය කරනු ලැබ ආයතන හතරක් වශයෙන් ආරම්භ වී ය. පසුව 1995 අංක 37 දරන පනතින් සංශෝධනය කරනු ලැබ එක ආයතනයක් වශයෙන් හෝමාගම පිහිටුවන ලදී. පනතට අනුව එහි සුවිශේෂී වූ අරමුණු රාශියකි.

එහි නිර්මාතෘ පූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි පරමාර්ථ සටහන් කරමින්, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බුද්ධාගම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම, ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ වර්තමාන ලෝක තත්වයන්ට ගැලපෙන පරිදි එම අධ්‍යයන ක්ෂේත්‍ර නංවාලීම ආදී පරමාර්ථ සමූහයක් දක්වා ඇත.

මෙම පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා හෝමාගම පරිශ්‍රයෙහි භෞතික සම්පත් දියුණු කර ගැනීමට වත්මන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් සහ විෂයභාර ගරු අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාගෙන් ද ලැබෙන අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමි.

අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද විශ්වවිද්‍යාලයේ පරමාර්ථ සාක්ෂාත්කරණයට ඇති කැපවීම අනල්පය. ශිෂ්‍ය ප්‍රජාව ද අනලස් ව විමසුම් සහිතව තම අධ්‍යයන කාර්යයන් නොපිරිහෙලා ඉටු කර ගනිමින් පරිපාලනයට ද සහයෝගය දක්වමින් ක්‍රියාකිරීම විශ්වවිද්‍යාලයේ ප්‍රගතියට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විදේශීය රටවල තම අනුබද්ධායතන රාශියක් පිහිටුවා ඇති එකම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයයි. දැනට සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජර්මනිය, ඕස්ට්‍රියාව , ස්කොට්ලන්තය , එංගලන්තය , ඇමෙරිකාව ආදී රටවල අනුබද්ධායතන දහයක් පමණ පිහිටුවා ඇති අතර එම ආයතන මගින් බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ඩිප්ලෝමා ආදී පාඨමාලා පවත්වයි. එය බුදුදහම වර්තමාන ලෝක අවශ්‍යතානුකූලව හඳුන්වාදීමට හා ආයතනයේ පරමාර්ථ ඉටුකර ගැනීමට යොදාගත් මග විවරකිරීමක් ලෙස හඳුන්වාදීම නිවැරදි වේ. ඉදිරියේ දී මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ හැදෑරීමට සියලු කටයුතු මේ වන විට කෙරෙමින් පවතී.

හෝමාගම පරිශ්‍රයේ ද දේශීය අභ්‍යන්තර සිසුන්ට අමතරව විදේශීය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ද අධ්‍යාපනය ලබති.

බංග්ලාදේශය , බුරුමය, තායිලන්තය , සිංගප්පූරුව , ඉන්දියාව වැනි රටවල සිසුන් 180 දෙනෙකුට ආසන්න පිරිසක් දැනට අධ්‍යාපනය ලබන අතර ඒ තුළින් ද බුද්ධධර්මය සහ පාලි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු කෙරෙයි.

දේශීය සහ විදේශීය වශයෙන් ආයතනයේ පරමාර්ථ ඔස්සේ අධ්‍යාපනය ලබමින් සාර්ථක ව එය අවසන් කළ හයසියයකට අධික සිසුන් පිරිසකට උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය මෙම මස 21 වෙනි දින මෙම විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සැම දෙනාට ම පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුති කරමි.


ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම අපගේ පැතුමයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවයට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල පාලි හා බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට ආරම්භ කළ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සිය අනන්‍යතාවය තහවුරු කර ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මම මහත් සේ සතුටට පත් වෙමි.

අද ලෝකයට අපට දිය හැකි අගනා දායාදය නිර්මල ථෙරවාදී බුදුදහමයි. ඒ වෙනුවෙන් රජය මහත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන බව පවසන්නේ ඉමහත් සතුටිනි.

ඉන්දියාවේ අතීතයේ තිබූ වික්‍රමශීලා, ආනන්ද, නාලන්ද වැනි විශ්වවිද්‍යාල බෞද්ධ අධ්‍යාපනය ලෝකයට ගෙනයාමට කළ මෙහෙවර අපරිමිත ය. අද ඒ අධ්‍යාපන රටාව සිහි ගන්වමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ක්‍රියාකරනු දැක්ම රටට අනාගතයේ දී මහත් කීර්තියක් අත්පත් කර දීමට හේතුවන බව මම විශ්වාස කරමි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පෙරදිගට පමණක් නොව බටහිර රටවලට ද ව්‍යාප්තව තිබීම අපගේ ඒ විශ්වාසය තව තවත් තහවුරු කරයි.

ඇමරිකාව, ජර්මනිය, සිංගප්පූරුව, මැලේසියා වැනි රටවල විද්‍යාර්ථීන් ද මෙම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සඳහා අධ්‍යාපන ආයතන පිහිටුවා අධ්‍යයන කටයුතු වල නිරත වෙයි. එය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වීමට මහත් රුකුලකි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පර්යේෂණ කටයුතු අතින් ලබා ඇති ප්‍රගතිය ද ප්‍රශංසනීයය. ඒ නිසාම ශාස්ත්‍රපති, දර්ශනපති, ආචාර්ය උපාධි පර්යේෂණවල නිරත වන විද්‍යාර්ථීන්ට පුළුල් ඉඩකඩක් හිමි ව තිබේ.

පැවිදි සිසුන්ට පමණක් වූ සීමාව ඉක්මවා ගිහි පිරිමි සිසුන්ට ද මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව හිමි වීමත්, ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපන කටයුතු සිදුකිරීමත් විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය පෙන්නුම් කරයි.

එසේම බාහිර හා අභ්‍යන්තර පාඨමාලා රාශියක් ආරම්භ කිරීම නිසා දෙස් විදෙස් ගිහි පැවිදි වැඩි පිරිසකට අධ්‍යාපන කටයුතු වලට පදනම දමා තිබීම විශ්වවිද්‍යාලයේ අරමුණ තවදුරටත් සපුරා ගැනීමට පිටිබලයක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම අපගේ පරම පැතුමයි. අද දින උපාධි ලබන ගිහි පැවිදි සිසුන් සැමට මාගේ සුභාශිංසන පිරිනමමි.


 

බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට ගන්නා ප්‍රයත්නය ප්‍රශංසනීය වේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි ලබාගන්නා හත්සියයක් පමණ දෙස් විදෙස් සිසුන් සියලුම දෙනාට ධාර්මික ඇවතුම් පැවතුම්වලින් හෙබි හරවත් සමාජයක් බිහිකිරීමට ස්වකීය උසස් අධ්‍යාපනය මහත් අනුබලයක් ම වනු ඇත.

මනුෂ්‍ය සන්තානය වසා පවතින ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැනි නරක සිතිවිලිවලින් බැහැරව දෙලොවටම වැඩදායක ලෙස චාම් දිවිපෙවෙතක් ගතකිරීමට උපකාරී වන එකම ධර්මය බුදු දහමයි.

බුදු දහමට අනුව ජීවිත හැඩගසාගැනීමෙන් යහපත් ගුණගරුක මානව පවුලක් බිහිවේ. එහිලා බෞද්ධ අධ්‍යාපනයට කළ හැකි මෙහෙවර ඉමහත් ය. මහා සංඝරත්නය සහ ධර්මධර ගිහි පින්වතුන්ගේ කැපවීම හා මඟ පෙන්වීම අත්‍යාවශ්‍ය වේ.බෞද්ධ ධර්මය ද්විභාෂාවෙන් ම ලෝක ප්‍රජාව තුළ ප්‍රචලිත කිරීමට හා හරවත්ව ඉගැන්වීමට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගන්නා ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි පතමි.


බෞද්ධ උසස් අධ්‍යාපනයේ හිඩැස පිරවීමට විශාල දායකත්වයක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 16 වන උපාධි ප්‍රධානෝත්සවයට ශුභ පැතුම් පණිවුඩයක් එක්කරන්නේ එහි ආරම්භය සඳහා දායකත්වය ලබාදුන් අයෙක් වශයෙන් හද පතුළින් නැ‍ෙගන සතුටිනි.

උත්තරීතර පරමෝත්තම දේ පිළිබඳව ඇතිවන අදහස සහ අදහීම් සමුදාය, සිතුම්, පැතුම් සහ සංවේදන කෙරෙහි පැතිරී යාමෙන් ඒ මානව හැසිරීම ප්‍රබෝධකරලීම හා මාර්ගෝපදේශ දීමේ මට්ටම ආගමික අධ්‍යාපන මට්ටම යනුවෙන් හඳුන්වනු ලැබේ. යනුවෙන් ඩී. කැමල් වෛකෝන් මහතා කළ විවරණය මෙහි දී සිහිකරනු වටී.

මේ අනුව මෙරට ආගමික අධ්‍යාපනය ඇරඹීයේ ද පරමෝත්තම සත්‍ය ක්‍රි.පූ. 243 දී අශෝක පුත් මහාමහින්ද තෙරුන් විසින් ලක්දිවට වැඩමවීමෙන් අනතුරුවය. පළමුව දෙවනපෑතිස් රජුට ද අනතුරුව තමා වටා රොක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද බුද්ධ ධර්මය බෙදාහළ මිහිඳු පරපුරෙන් පැවතෙන අප රටේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා බිහි වූ ශ්‍රේෂ්ඨ ධර්මායතනයක් වශයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හඳුන්වා දිය හැකි ය. එදා මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය, රුහුණේ තිස්සමහාරාමය සහ මණ්ඩලාරාමය ඇතුළු බෞද්ධ මද්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොවට ම බෞද්ධ අධ්‍යාපනය ලබාදුන් අධ්‍යාපන මධ්‍යස්ථාන වූවා සේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙන්ම අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය මගින් ද ලොව වටා බෞද්ධ අධ්‍යාපනය බෙදාහරින මූලස්ථාන දෙකක් බවට පත් වෙමින් තිබේ. ගම්පොළ, දඹදෙණිය සහ කෝට්ටේ රාජධානි සමයන්හි මෙරට බෞද්ධ අධ්‍යාපනය හිනිපෙත්තට පැමිණි කාලයක් ලෙස හැඳින්විය හැකි අතර යටත් විජිත පාලනයත් සමඟ ක්‍රමයෙන් වියැකුණු බෞද්ධ භික්‍ෂු අධ්‍යාපනය සහ බෞද්ධ උසස් අධ්‍යාපනයේ හිදැස පුරවනු පිණිස බිහිවුණු ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ වන විට ලබාදෙන දායකත්වය ප්‍රශංසනීයයි. 1995 වර්ෂයේ අංක 37 දරන පනත මඟින් අප අපේක්‍ෂා කළ, එනම් එදා දඹදිව පැවති නාලන්දා, තක්සලා වැනි ලෝකප්‍රකට බෞද්ධ මධ්‍යස්ථාන ද්වය මෙන් ශ්‍රී ලංකාව බෞද්ධ අධ්‍යාපනය සඳහා ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ උදාර කර්තව්‍ය සඳහා ත් මානසික ශික්‍ෂණයකින් හෙබි මනුෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීම උදෙසාත් ද උපාධි ලබා ගන්නා උපාධිධාරීන්ට හැකිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.


සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධි ලබති


කොළඹ 12 ඩයස් පෙදෙසේ පූර්වාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංගප්පූරු අනුබද්ධායතනාධිපති ආචාර්ය පාතේගම ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ශාස්ත්‍ර පීඨාධිපති සේවාර්ජිත මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය
අගෝස්තු 19 වනදා බදාදා
අපරභාග 07.00 ට ලබයි.
20 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 3.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
අගෝස්තු 27 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]