[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුද්ගල චිත්ත සන්තති ක්‍රියාකාරීත්වයේ ස්වභාවය

පුද්ගල චිත්ත සන්තති ක්‍රියාකාරීත්වයේ ස්වභාවය

මෙම ලිපියේ මුල් කොටස වෙසක් අමාවක පෝදා (26) අන්තර්ජාල කලාපයේ පළ විය

දිවි නසා ගැනීමේ දී පුද්ගල චිත්ත සන්තතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමසීම ද කළ යුතු ය. දිගින් දිගට ම සිතා ගොඩනඟා ගන්නා ලද ප්‍රපඤ්ච විසින් ජීවිත හානි සිදු කර ගැනීම සිදු වේ.

සත්ත්වයාගේ පැවැත්ම පුනර්භවය යි. ඒ අනුව චිත්තක්ෂණයෙන් උත්පාද, ඨිති, භංග වශයෙන් අවස්ථා තුනක් පවතී. එහිදී පළමු චිත්තක්ෂණය අකුසල සිතිවිලිවලින් යුක්ත නිසා එයම පැවතී එයින් ම විනාශ වේ. මෙසේ චිත්ත පරම්පරාව පවතියි. කාලාන්තරයක් පුරා ගොඩනඟාගත් ප්‍රපඤ්චතා මත දිවි තොර කරනවාත් සමඟ චුති සිතට නරක කර්ම, කර්ම නිමිති, ගති නිමිත්ත පහළ වීම වැළැක්විය නොහැකි ය. එයින් නරක ස්ථානයක උපත සිදු වෙයි. මජ්ක්‍ධිම නිකායේ කුක්කරවතිය සූත්‍රය අනුව ගොව්‍රතය සමාදන් වූ පුණ්ණ හා සුනකව්‍රතය සමාදන් වූ සෙනිය යන දෙදෙනාගේ පරලොව ගතියත් ඒ පරිදිම සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාරති. මේ නිසා සත්ත්වයා කර්මය ස්වකීය කොට, දායාදකොට, ඥාති කොට, පිළිසරණ කොට ඇති බව චුල්ලකම්ම විභංග සූත්‍රයෙහි අන්තර්ගතයෙන් තවදුරටත් පැහැදිලි වේ.

ගෝධික, ඡන්න, වක්කලී යන තෙරුන් වහන්සේ පශ්චිමභවික පුද්ගලයෝ වෙති. උන්වහන්සේ තුන් නම ම සියදිවි හානි කර ගැනීමත් සමඟ ම නිවන් දුටුවහ. මෙසේ කෙලෙස් නැසීමත් සමඟ ම මරණයට පත්වන උතුමෝ සමසීසී පුද්ගලයෝ ය. ත්‍රිපිටකාධ්‍යයනයෙහි නියැළුණු විට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සමයේ දී පමණක් සිදුවූ මෙම සිද්ධීන් තුන හැරෙන්නට වෙනත් ප්‍රවෘත්තියක් මෙතෙක් හමුවී නැත. ඉහත ද දාරාධ්‍යාශය ගණයට වැටෙන මෙම ප්‍රවෘත්ති සලකා බැලීමේ දී උන්වහන්සේගේ චිත්ත සන්තතීන්ගේ පුනර්භවය නිර්වාණාවබෝධය පිණිස ම මනාව පුහුණු කර තිබූ ආකාරය එම සූත්‍රවලින් ප්‍රකට කරයි.

නිදසුනක් වශයෙන් සංයුක්ත සූත්‍රයේ මාර සංයුත්තයේ සඳහන් ගෝධික සූත්‍රය පෙන්වා දිය හැකි ය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටින කල්හි ගෝධික තෙරුන් වහන්සේ ඉසිගිලි පර්වතයේ සිටිමින් නොපමා ව කෙලෙස් නසන වීර්යය ඇති ව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති ව භාවනා කරමින් ලෞකික සමවතක් ලැබ එයින් සය වතාවක්ම පිරිහුණහ.

අථ ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො
ආතාපි පහිතත්තො විහරන්තො සාමයිකං
චෙ තොවිමුත්තිං ඵුසි. අථ ඛො ආයස්මා
ගොධිකො තාය සාමයිතාය
චෙතිතාවිමුක්තියා පරිහායි

සත්වන වතාවට ද ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමා ව භාවනා කොට පිරිහුණ සමාපත්තිය ලැබ මෙසේ කල්පනා කළෝ ය. මම සය වතාවක් ම ලෞකික සමාපත්තියෙන් පිරිහුනිමියි ආයුධයක් ගෙන ගෙල සිඳ ගත්හ. එහිදී ඇති වූ කටුක වේදනාව කමටහනක් වශයෙන් ගෙන භාවනා කොට නිර්වාණය අවබෝධ කර ගත්හ. ඒ සමඟ ම පිරිනිවන් පෑහ. මේ අවස්ථාව අතිසූක්ෂ්ම බව බුදුරජාණන් වහන්සේ වදාළේ සිත වහා වෙනස් වන සුලු නිසයි. ඒ සඳහා උපමාවකුදු කීම දුෂ්කර බවයි. නිවන් පිණිස උසස් අන්දමින් සාංසාරික වශයෙන් මෙන්ම විශේෂයෙන් ම මේ ආත්ම භාවයේ ද මනාව පුහුණු සිත් ඇති ඉහත තෙරවරුන් පෘථග්ජන වුවත් ආත්ම ඝාතනයක් නිර්වාණාවබෝධයක් එකම මොහොතේ දී සිදු වී ඇත. උන්වහන්සේ මරණීය වේදනාව කර්මස්ථානයක් වශයෙන් ගෙන නිවන් අවබෝධ කොට ඇත. විශේෂයෙන් ම මෙම අසිරිමත් අවස්ථා කීපය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ දී ම සිදු විය. ත්‍රිපිටක අධ්‍යයනයේ නිරත අපගේ දැනීම අනුව මේ ප්‍රවෘත්ති තුන හැර වෙනත් සිද්ධීන් ත්‍රිපිටකය හෝ අටුවාවක මෙතෙක් හමු වී නැත. සෝවාන් වූ භික්ෂුවක් දිවි නසාගෙන ඇති බව මෑත පළ වූ ග්‍රන්ථයක සඳහන් කර ඇත. සෝවාන් පුද්ගලයකුගේ ස්වභාවය අනුව විශේෂයෙන් ම සක්කායදෘෂ්ටිය ප්‍රහීණ වූ බැවින් සෝවාන් පුද්ගලයකු දිවි තොර කර ගන්නේ යැයි කීම සිදුවිය නොහැකි ය. එම නිසා සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමෝ ආත්ම ඝාතනය කර ගන්නේ යැයි පැවසීම ධර්මානුකූල නොවේ. හුදෙක් එය පරස්පර විරෝධී විවරණයකි. චිත්ත සන්තතීන්ගේ පරිණාමීය ධර්මතා අනුව බැලීමේ දී අකුසලයක් වශයෙන් හැඳින්වීම ධර්මානුකූල වේ. ඉහත කරුණු පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ, චිත්ත සන්තතීන්ගේ පරිණාමීය ධර්මතා අනුව සමසිසි පුද්ගලයෝ හැරුණු කොට වෙන කුමන ආකාරයක දිවිනසා ගැනීමක් හෝ ආත්ම පරිත්‍යාගයක් කිරීම අකුසලයක් වන බව යි.

තවද “නච භික්ඛවේ අත්තානං

පාතෙතබ්බං” මහණෙනි ආත්ම ඝාතනය (සිය දිවි නසා ගැනීම) නොකළ යුතු යි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාළ සේක. මහාචාර්ය ධම්මවිහාරී හිමියෝ මේ ශික්ෂාපදය පිළිබඳ ව දීර්ඝ විවරණයක් සපයමින් සිඛවළඳවිනිස සිට බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පාරාජිකාපාලිය දක්වා මේ ශික්ෂාපදයට සපයන ලද අර්ථය සදොස් යැයි පෙන්වා දෙති. “නච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං” යන අනුප්‍රඥප්තිය පැන වූ සේක. මෙහි සිංහල තේරුම ඉදිරිපත් කරතහොත් “මහණෙනි ගස් ගල් ආදී උඩක සිට බිමට නොපැනිය යුතුයි යනුයි. පාතෙතබ්බං යන පදය සෑදී ඇත්තේ පාලිපත (වැටීමෙහි) ධාතුවේ ප්‍රයෝජ්‍ය ක්‍රියා රූපය වූ පාතෙහි යන්නට තබ්බ ප්‍රත්‍යය යෙදීමෙනි. පතති වැටෙයි. පාතෙති වට්ටවයි. වැටෙන්නට සලසයි යන්නයි. (උඩක සිට බිමට) පනියි යන අරුත මෙහි ගැබ් වී ඇති බව අමුතුවෙන් කිවමනා නොවේ. මෙසේ හෙයින් පාතෙතබ්බ යන පදයෙහි මැරීම හෝ මරවා ගැනීම් අර්ථයක් කිසිසේත් විද්‍යමාන නොවන බව හැඟීමයි. පත ධාතුවෙන් මැරීම්, මැරවීමි අරුත ලබනුයේ එයට පූර්ව අති යන උපසර්ගය පාතෙහි යන ප්‍රයෝජ්‍යයට යෙදීමෙනි.

“මහාචාර්ය ධම්මවිහාරී හිමියන් “පාතෙතබ්බං” යන පදයට සපයන මේ ව්‍යාකරණ රූඩිය පිළිබඳ විවාදයක් නැත. එසේම “පාතෙතබ්බං යන පදය දිවි නසා ගැනීම අර්ථවත් කිරීමට යොදාගත් තැනක් ත්‍රිපිටකයේ නැති බව අපගේ අදහසයි. එසේ වුවත් “න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං” යන අනුප්‍රඥප්තිය සඳහා සිඛවළඳ විනිසෙහි මෙන්ම ඊට පසු සංගෘහිත බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ පාරාජිකාපාලියෙහිද දෙන ලද අර්ථය සදොස් යැයි පවසන මහාචාර්ය ධම්මවිහාරී හිමියන්ගේ නිගමනය වැරැදියි යනු අපගේ ප්‍රාමාණික දැනීමයි.

උන්වහන්සේගේ සදොස් නිගමනය හේතුව හුදෙක් “පාතෙතබ්බං” යන පාලි පදය හුදකලා සන්දර්භයක සිට විවරණය කිරීමට පෙළඹවීම යි. තෙවන පාරාජිකාව වන “මනුස්ස විග්ගහ පාරාජිකාවේ අනුප්‍රඥප්තියක් වශයෙන් අන්තර්ගත මෙම ශික්ෂාපදය පැනවීමේ හේතුව එක්තරා භික්ෂුවක් සසුනෙහි උකටලී වූ බැවින් ගිජ්ඣකූට පර්වතයට නැඟී ප්‍රපාතයට පැනීමයි. මේ භික්ෂුව උකටලී වීමට හේතුව විස්තර කරන අටුවාවෙහි ඒ භික්ෂුව වනාහි කාමවිතර්කාදීන්ගේ බලවත් පැවැත්ම වළකා ගැනීමට නොහැකි වන්නේ සසුනෙහි නො ඇලුණේ ගිහි බවට අභිමුඛ වූයේ ය. එහෙයින් යම්තාක් ශීල භේදයට නොපැමිණියෙහි. ඒ තාක් මැරෙන්නෙමි'යි සිතීය.

සො කිර භික්ඛු කාමවිතක්කාදිනං
සමුදාචාරං දිස්වා නිවාරෙතුං
අසකෙකානෙතා සාසනෙ
අනභිරතො ගිහිභාවාහි මුඛො ජාතො තතො
චින්තෙසි යාව සීලභෙදං න පාපුණාමි

තාව මරිස්සාමීති” මෙම භික්ෂුව ප්‍රපාතයට පනින්නේ ශාරීරික අභ්‍යාසයකට හෝ ශිල්ප දැක්වීමේ ක්‍රීඩාවකට හෝ නොවේ. එවැනි අවස්ථාවක් නිදාන කොට මේ ශික්ෂාව පැනවූයේ නම් මහාචාර්ය ධම්මවිහාරී හිමියන්ගේ “මහණෙනි (ගෙඩිගල් ආදී උඩක සිට) බිමට නොපැනිය යුතුයි” අර්ථය නිවැරැදි වේ. එම නිසා මෙම ශික්ෂාපදයේ අර්ථාවබෝධය ලබා ගත යුත්තේ ප්‍රකරණ බද්ධතාවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ අර්ථය නෙය්‍යාර්ථ හා නීතාර්ථ යන ප්‍රස්තුතයට අනුව අවබෝධ කළ යුතු බවයි.

මෙවැනි ගැටලු අපණ්ණකපටිපදා න්‍යාය හෙවත් නොවරදින පරිදි ලියා ගැනීමට ගෞරවාර්හ හෑගොඩ ඛේමානන්ද නාහිමියන්ගේ ථේරවාද න්‍යාය මහෝපකාරී වේ. උන්වහන්සේ පෙන්වා දෙන පරිදි අභේදොපචාර භාවිතය නෙය්‍යාර්ථයෙන් ම සිද්ධ වූවකි. කෙසේ වුවත් මෙවැනි ධර්ම කරුණු අවබෝධ කිරීම සඳහා ථේරවාද න්‍යායෙහි අන්තර්ගත උපචාරණය මහෝපකාරී වේ. එනම්, උපචාරණය උපචාර යනු ළඟ හැසිරීමයි. මීට අභේදොපචාරයයි ද කියනු ලැබේ.

වචන දෙකක් එකට කීමේ දී එක් වචනයකින් වාච්‍යාර්ථය නොව, ඒ ඇසුරෙන් ගැනෙන වෙනත් අර්ථයන් ගැනෙන්නේ ය. මෙබඳු තන්හි උපචාරනය යෙදේ. ඒවා රාශියක් උදාහරණය “මුලසුනේ දෙසුමයි”. කියන විට මුලසුනේ සිටින පුද්ගලයන්ගේ දෙසුම බව වැටහේ. අසුන දේශනා කරන්නේ නැත. “එසේම ධර්මප්‍රදීපිකාවේ තාත්ස්ථ්‍යතාද්ධර්මය, තත්සාහචර්ය, කක්සාමිප්‍ය, වශයෙන් සතරකාරයක් ද, සද්දසාරත්‍ථපාලිනියෙහි හේතුපචාරණය, එලොපචාරණය.

ආදී වශයෙන් සයාකාරයක් දක්වා ඇත.

මේ සියලු කරුණුවලින් අප පෙන්වා දෙන්නේ ධර්ම විවරණය කිරීමේ දී අවධාරණය කළ යුතු ව්‍යාකරණ පදනමයි. ශික්ෂාපදයේ අත්තානං යන කර්මවාචක පදයේ අර්ථය පිළිබඳ අවධාරණය කරමින් රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ

“න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං
යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස”

මහණෙනි ආත්මය පර්වතාදියෙන් නොහෙළිය යුතු ය. ජීවිතය නොනසා ගත යුතු ය. යමෙක් එසේ කෙරේ නම්, ඔහුට දුකුළා ඇවැත්වේ ය යනුවෙන් ඉතා සරල ව පැහැදිලි කරති. අවසාන වශයෙන් ඉහත ශික්ෂාපදයේ චිරාත් කාලයක සිට පවත්නා අර්ථය නිරවද්‍ය බවත්, මහාචාර්ය ධම්මවිහාරී හිමියන්ගේ ඉදිරිපත් කිරීම සාවද්‍ය බවත් නිගමනය කළ යුත්තේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

පොසොන්  පුර අටවක

ජුනි 02 සඳුදා අ.භා. 08.42
 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ.
 03 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]