[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක පෝ දා 2025-06-03

යහපත දකිමු

ඒ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන කාලයයි. එකල දවසක මුගලන් මහ රහතන් වහන්සේ සහ ලක්ඛන තෙරුන් වහන්සේ ගිජුකුළු පව්වට වැඩියහ. ගිජුකුළු පව්වේ සිට පිණ්ඩපාතයට වඩින දිනෙක මුගලන් මහ රහතන් වහන්සේ දිවැසින් ප්‍රේතයකු දුටුවහ. පිඹුරකුගේ ස්වභාවය ඇති මේ ප්‍රේතයාගේ දිග සියක් ගවු පමණ ය. එක් අවස්ථාවක ඔහුගේ හිසෙන් නැඟෙන ගිනි දැල් සිරුර කෙළවර දක්වා පැමිණේ. තවත් විටෙක සිරුර කෙළවරෙන් නැඟෙන ගිනි දැල් හිස දක්වා පැතිරේ.

මුගලන් මහ රහතන් වහන්සේ දුටු මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට පැවසූහ. මෙවැනි දුක්ඛිත ආත්මයක් ලබන්නට ඒ ප්‍රේතයා කළ පව්කම් මොනවාදැයි භික්ෂූහු බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම විස්තර කළ සේක.

කසුප් බුදුරදුන් දවස සුමංගල නම් සිටුවරයෙක් විය. ඔහු මා හැඟි විහාරයක් කරවා ඒ බුදු රදුන්ට පූජා කළේ ය. දිනක් උදයේ ඒ නුවර සාලාවක මඩ සහිත පා ඇති, කළු රෙදි කැබැල්ලකින් හිස වසාගෙන නිදන සොරකු මේ සිටුවරයා දුටුවේ ය. “මොහු රෑ පුරා සොරකමේ ඇවිද, එළිවෙන තුරු නිදන හැටි” යි පැවසුවේ ය. ඒ හඬින් හිස ඔසවා බැලූ සොරා සිටුවරයා බව දැන ඔහු ගැන වෛර බැඳ ගත්තේ ය. පළිගැනීමට සිතා සිටුවරයාගේ ධනය සත්වරක් ම පැහැර ගත්තේ ය.

සිටුවරයා කසුප් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉතා සැදැහැයෙන් පූජා කළ විහාරය ද ගිනි තබා විනාශ කළේ ය.

මෙසේ වෛරී සිතින්, අයහපත් ක්‍රියාවෙන් සිට මිය ගිය ඒ සොරා අජගර නම් ප්‍රේතව උපන්නේ ය. දැන් ඔහු කළ කර්ම විපාක මේ යැයි පෙන්වා දුන් අප බුදුරජාණන් වහන්සේ අනුවණ පුද්ගලයා තමන් විසින් කරන ලද අකුසල් හි විපාක නොදන්නා බවත්, ඔහු කළ පාප ක්‍රියාවන් නිසා මෙසේ ගින්නෙන් දැවෙන බවත් දේශනා කොට වදාළහ.

ධම්ම පදයේ එන මෙම කතා පුවත පාප කර්මයන් හි නියැළෙන අයට මහත් පාඩමකි. දුර්ලභ ව ලද මිනිස්කමින් යහපත් ප්‍රයෝජන ලබන්නට තිබිය දී පව් රැස් කරමින් මේ ජීවිතය විනාශයට ගෙන යන අය මොන තරම් ද? ඔවුන්ගේ පරලොව ගැන කවර කතා ද?

කෙනෙක් අධික ලෝභය නිසා වැරැදි කරති. තවත් කෙනෙක් ද්වේෂය නිසා රත් වූ සිතින් පළිගැනීම් කරන්නට ගොස් තමන් ද දැවෙති.

අප ජීවත් වන්නේ තථාගත ශ්‍රී සද්ධර්මය ජීවමාන පුණ්‍යවන්ත කාලයකයි. අපගේ ජීවිතය යහපත් ව හසුරුවාගෙන යහපත් ප්‍රතිඵල ලබා ගන්නා මඟ ඒ ශ්‍රී සද්ධර්මයෙහි අන්තර්ගත ය. ඒ නිවැරැදි දහම් මඟ විමසා දැන දහමෙහි හැසිරීමට වීර්යය වඩමු.

පොසොන්  පුර අටවක

ජුනි 02 සඳුදා අ.භා. 08.42
 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ.
 03 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]