[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ස්වාක්ඛාත ධර්මයෙහි හැසිරීමට කුසීත නොවෙමු

ස්වාක්ඛාත ධර්මයෙහි හැසිරීමට කුසීත නොවෙමු

“ධම්ම” යන්න සෙසු ආගමික ග්‍රන්ථයන්හි මෙන් ම පිටකත්‍රයෙහි ද සුලභ වචනයකි. එ මඟින් විවිධාර්ථ සූචනය කෙරේ. එම නිසා ‘ධම්ම’ යන ප්‍රයෝගයෙන් සෑම තැනක දී ම එකම අර්ථයක් නොගෙන තැනට සුදුසු අර්ථය ගැනීම වැදගත් වේ.

‘ධාරණාර්ථ වාචී ධර ධාතුහු කෙරෙන් පරව රම්ම ප්‍රත්‍ය ප්‍රයෝගයෙන් ධම්ම යන පදය සංසිද්ධ වන අතර, අර්ථ සමූහයක් ගෙන දෙන ගැඹුරු පදයකි.’ එය ව්‍යවහාරානු සාරයෙන් මෙන්ම ශබ්දිකයන් විසින් දී ඇති අර්ථවලින් සූචනය වේ. (වික්‍රමසිංහ, 1996, 239පි)

ධර්මය යන්නෙන් ආගමික සදාචාරාත්මක සමාජයීය යුතුකම් පමණක් නොව නෛතික යුතුකම් ද අදහස් කරනු ලැබේ. ධර්මය රජුන්ගේ රජු බවත්, ධර්මයට වඩා උත්තරීතර දෙයක් නොමැති බවත් ශතපථ බ්‍රාහ්මණයෙහි දැක්වේ. (අරියසේන හිමි, 1997, 51 පි)

එසේම ධර්මය යනු යම් විෂයයක් ධාරණය කරන හෙවත් රඳා පවත්නා ප්‍රතිපත්තිය යි. ධර්මය පිළිබඳ දක්වන බෘහදාරණ්‍යක උපනිෂදයෙහි, බ්‍රහ්මගේ බලය ප්‍රමාණය කළ නොහැකි ය. එබැවින් හෙතෙම උසස් ම ධර්මය, නිර්මාණය කළේ ය. ධර්මය ඉහළතම බලය යි. ධර්මය යනු සත්‍යය යි. රජුන්ගේ යුද්ධ බලයට වඩා ධර්මය ශ්‍රේෂ්ඨ ය. ධර්මය යනු යුතුකම ය (තිලකසිරි, 1961, 215 පි)

එසේම මිනිසාට පූර්ණ තෘප්තිය ලබා දෙන නිත්‍ය තත්ත්වය ධර්මය හෙවත් ධාර්මිකතාව යි. මිනිසාට සාමය මෙන් ම විමුක්තිය ද, මිහිපිට සතුට ද ලබා දෙන්නේ ධර්මය යි. ධර්මය යනු ආගමික නොව සදාචාරමය නීති සංග්‍රහයකි. (කෘෂ්ණන්, 1960, 437 පි).

සත්‍ය වචන භාවිතය අවිංහිංසාව වැනි මූලධර්ම හැරුණු විට හැමවිට ම පාහේ ධර්මයේ සමාජමය ගම්‍යයක් ඇත. සමාජය එකට ‘බැඳ තබන බැම්ම එයයි. අප ධර්මය ආරක්ෂා නොකළහොත් සමාජයීය වශයෙන් ව්‍යාකූල වන අතර, ධනය හා ශිල්පය දියුණු නොවනු ඇත. ධර්මය සමාජයෙහි එකමුතුකම දියුණු කරයි. ධර්මයේ පරමාර්ථය සියලු සත්ත්වයින්ගේ යහපත සැලසීමයි. දියුණුවට මාර්ගය වනුයේ සත්‍යය, ආත්ම දමනය, තපස, දානශීලි බව, අවිහිංසාව, ගුණධර්මයෙහි නිරතවීම ආදියෙන් මිස කුලය හෝ පවුල හෝ නොවේ. අමරණීයත්වය සහ ජීවිතය යන දෙකට ම වඩා ධර්මය අගනේ ය. රාජ්‍යය, දරුවන්, කීර්තිය, ධනය යන මේ සියල්ල සත්‍යයේ අගයෙන් දහසෙන් එක් පංගුවක් තරම් නොවටී. ධර්මය යන්නෙන් කිසිදු සුබවාදී හැඟීමක් අදහස් නොවේ. එයින් අදහස් කරන්නේ ආශාවන් තෘප්තිමත් කිරීම නොවේ. අපට උරුම සතුට ලබා දීමට සම්පත්වලට නුපුළුවන. සතුට කෙරෙහි ඇති ආශාව කම්සැප විඳීමෙන් අවසන් නොවේ. ධර්මය වෙනුවෙන් අපට දුක් විඳීමට වුව ද සිදුවිය හැකි ය. නියම සතුටෙහි දුකක් ද නැත. (මහාභාරතය)

කුසගිනි වූ විට ආහාර ගැනීම, නිදිමත වූ විට නිදා ගැනීම, භීතියට පත් වූ විට එයට ප්‍රතිචාර දැක්වීම, ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම මිනිස් තිරිසන් දෙවර්ගයට ම සාධාරණ ය. මෙම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පමණක් මිනිසත් බව අර්ථවත් නොවන බවත්, භෞතික හා ආධ්‍යාත්මික දියුණුව අත්‍යවශ්‍ය බවත් හින්දු දාර්ශනිකයෝ පෙන්වා දෙති.

මිනිසත් බව අර්ථවත් වීම සඳහා අත්‍යවශ්‍ය දෙය ධර්මය යි. මිනිස්, තිරිසන් දෙවර්ගය අතර වෙනස පවත්නේ ධර්මය මත ය.

ආහාර නිද්‍රා භය මෛථුනංච
සාමාන්‍ය මෙතද් පශුභිර් නරාණාම්
ධර්මෙහි තේෂා මධිකො විශේෂො
ධර්මේන හීනඞ පශුභිඞ සමානා

(හිතොපදේශය, 28 ශ්ලෝකය)

විද්‍යාව, තපස, දානය, සීලය, ඥානය හා ධර්මය යන ගුණ යම් පුද්ගලයකු තුළ නොමැති නම් හෙතෙම මනුෂ්‍ය රූපයෙන් ලොව හැසිරෙන තිරිසනෙකි.

යේෂං න විද්‍යා න තපොන දානං
ඥානං න ශිලාන ගුණේ න ධර්මං
තේ මර්ත්‍ය ලොකෙ භුවී භාරභුතා
මනුෂ්‍ය රූපෙන මෘගාශ් චරන්ති

(නීති ශතකය, 13 ශ්ලෝකය)

යථෝක්ත මඟ පෙන්වීමට අනුව ධර්මයට හිමි වන්නේ උසස්, ශ්‍රේෂ්ඨ තැනකි. කෞටිල්‍ය ධර්ම යන පදයට අරුත් තුනක් දක්වයි.

ධර්මය යනු සමාජ යුතුකම හා අයිතිවාසිකම් ය. ධර්මය යනු සත්‍ය පදනම් කොටගත් සදාචාර නීතිය හා ධර්මය යනු සිවිල් නීතියයි යනුවෙනි.

මෙසේ ‘ධම්ම’ යන ප්‍රයෝගය සඳහා විවිධ අරුත් සුචනය වන අතර, ත්‍රිපිටකය හා අටුවා ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ එන නිර්වචන කිහිපයක් ද හඳුනා ගැනීම වැදගත් වේ.

බුද්ධ භාෂිතය මූලික වශයෙන් ‘ධම්ම’ නමින් අදහස් කෙරේ. බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ ඉසිපතනයට වැඩම කළේ, ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීමට ය.(ධම්ම චක්කං පවත්තේතුං. මහවග්ගපාලි 1.16 පි) මෙහි දී පැහැදිලි ලෙස ම නිර්වාණය අරමුණු කර ගෙන බුද්ධ වචනය දේශනා කිරීම අදහස් කෙරේ. එසේ ම ස්වභාවය, නියාමය මෙන්ම යම් යම් දේ හා පුද්ගලයන්ගේ ආවේණික ස්වභාවයන් අදහස් කර ගෙන ‘ධම්මතා’ යන ව්‍යවහාරය භාවිත කෙරේ.

‘යම් විටෙක බෝධිසත්ව තෙමේ මවුකුස පිළිසිඳ ගනියි ද එතැන් පටන් කොට බෝසත් මවට කිසිදු ආබාධයක් නො උපදියි. මහණෙනි, මෙය ධම්මතායි”

(ධම්මතා ඒසා භික්ඛවේ, යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තො හොතිඞ න බෝධිසත්ත මාතා කොචිදෙව ආබාධො උප්පජ්ජති. දීනි, මහාපදාන සූත්‍රය, 18 පි.)

‘ධම්ම ශබ්දය ස්වභාවය නීතිය අදහස් කර ගෙන භාවිත වන අයුරු සංයුත්ත නිකායේ පච්චය සූත්‍රයේ දී දැක ගත හැකි වේ. “තථාගතවරුන් උපන් කල්හිත්, තථාගතවරුන් නූපන් කල්හිත්, ධර්මයන්ගේ පැවැත්ම ධම්ම නියාමතාව ප්‍රතීත්‍ය සමුත්පන්න බව පවතින්නේ ය” (උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨීතාව සාධාතු ධම්මට්ඨිතිතා ධම්මනියාමතා ඉදප්පච්චයතා”

“ධම්ම” ශබ්දයෙන් ආචාර විද්‍යාත්මක අර්ථයක් විශේෂයෙන් ප්‍රකට කෙරෙන අවස්ථාවන් මනි සාලෙය්‍යක සූත්‍රයෙන් ප්‍රකට වේ. “මෙහි ධම්මචරීයා, සමචරියා යනු දස කුසල ධර්මය යි. අධම්මචරියා, විසමචරියා යනු අකුසල ධර්මය යි. (ත්‍රිවිධං ඛො ගහපතියෝ කායේන... චතුබ්බධංවාචාය... තිවිධං මනසා ධම්මචරියා සමචාරියානි, කුසල, අකුසල අර්ථයෙන් භාවිත අවස්ථාවක අංගුත්තර නිකායෙන් දැක ගත හැකි ය. “මහණෙනි, කුසල ධර්මයෝ දෙදෙනකු එනම් ක්‍රෝධ නොකිරීමත්, බද්ධ වෛරයෙන් තොර වීමත් ය. මෙ දෙවැදෑරුම් ධර්ම කුසල් වෙති. (ද්වේ මේ භික්ඛවේ ධම්මා කුසලා කතමේ ද්වේ? අක්කොධෝ ච අනුපනාහො චෙ) “මහණෙනි අකුසල් ධර්මයෝ දෙදෙනෙකි. එනම් ක්‍රෝධය හා බද්ධ වෛරය යි. මේ දෙවැදෑරුම් ධර්ම අකුසල් වෙති. (ද්වේ මේ භික්ඛවේ ධම්මා අකුසලා, කතමේ ද්වේ? කොධො ච උපනාහො ච)

ධර්මය පුණ්‍ය යන අර්ථයෙහි වැටෙන අවස්ථාවක් ජාතක පාලියෙහි දිස්වෙයි. ඒ අනුව ධර්මය විසින් ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ඒකාන්තයෙන් රකී. මනාව පුරුදු පුහුණු කරන ලද කුසල ධර්ම සැප එලවයි. පින් කළ තැනැත්තා දුගතියට නොය යි. මේවා මනාව වඩන ලද ධර්මයෙහි සුඛ විපාක හෙවත් ආනිශංසයෝ ය.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
ඒසානිසංසො ධම්මෝ සුචිණ්ණෝ
නදුග්ගතිං ගච්ඡති ධම්මචාරි

සුචරිත ධර්මයෙහි හැසිරෙන්න. දුශ්චරිතයෙහි නොයෙදෙන්න. ධර්මයෙහි හැසිරෙන්න, මෙලොව, පරලොව දෙකෙහි ම සුව සේ වාසය කරන බව ධම්ම පදය පෙන්වා දෙයි.

ධම්මං චරේ සුචරිතං
නතං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලොකේ පරම්භිච

මේ අනුව ‘ධර්ම’ යන්නෙහි වාච්‍යාර්ථය විවිධ මෙන් ම, ගැඹුරු බව ප්‍රකට ය. සුමංගල විලාසිනි නම් වූ දීඝනිකා අටුවාවෙහි දක්වා ඇති ආකාරයට තමන්ගේ ස්වභාව හෙවත් ස්වාර්ථභාවය දරන හෙයින් “ධර්ම” නම් වෙයි.

අත්තනෝ සභාවං ධාරේතීත ධම්මෝ මජ්ක්‍ධිමනිකා අටුවාව වන පපඤ්චසුදනීය පෙන්වා දෙන ආකාරයට ‘ධම්ම’ නාමයෙන් ස්කන්ධ, ආයතන, ධාතු ව්‍යවහාර කරයි.

සබ්බේ ධම්මා නාලං අභිනිවෙසොයාති ඵත්ථ සබ්බේ ධම්මා නාම පඤ්චක්ඛන්ධො ද්වාසායතනානි, අට්ඨාරසධාතුයො, පපඤ්චසුදනි.)

සියලු සංඛත, අසංඛත ධර්මයෝ ධම්ම නම් වේ. (සබ්බේ ධම්මා ති සබ්බ සංඛතාසංඛත ධම්ම පරියාදානං පටිසම්භිදාමග්ගට්ඨකතා.)

වරෙක ‘ධම්ම’ ශබ්දයෙන් චතුරාර්ය සත්‍යය හඳුන්වයි. (ධම්මන්ති චතුසච්චධම්මං. මහා නිද්දේසට්ඨකතා)

‘ධම්ම’ ශබ්දයෙන් දෘෂ්ටි අදහස් කරයි (ධම්මාති දිට්ඨියො.)

‘ධම්ම’ ශබ්දයෙන් වේදනා දී ස්කන්ධයෝ හඳුන්වති. ධම්මාති වේදනාදයෝ තයො ඛන්ධා, ධම්මපදට්ඨකතා

මේ අනුව ‘ධම්ම’ ශබ්දය වේද වේදාංගේ යුගයෙහි, ත්‍රිපිටකයෙහි මෙන් ම අටුවාවන්හි විවිධාර්ථවත් ලෙස සූචනය වේ.

සද්ධර්මයේ ගුණ

‘සඳුන් රුකැඹුර සැස දමති. මීයෙහි ඉටි හැර දමති. නෙළුම් මලෙහි පිට පෙති හැර දමති. චන්දන සහලෙහි සුණු හැර දමති. මෙසේ ලොවේ එකෙක් ගෙන එකෙක් හැර දමති. නමුත් බුදුන්ගේ බණෙහි අත්හළ යුතු දෙයක් නැත. බුදුන්ගේ සරණ යන්නෝ බුත්සරණ යා යුතුයි. ‘ජන සමාජය තුළ පූජනීයත්වයට, ශ්‍රේෂ්ඨත්වයට පත් සම්පත් හතරක් යථෝක්ත සටහන මඟින් අවධාරිත ය. එනම්, සඳුන් ගසය, මී පැණි ය, නෙළුම් මල ය, චන්දන සහල් ය.

මේවා වටිනා සම්පත් වුව ද ප්‍රයෝජනයට ගැනීමේ දී කොටසක් අත්හැර කොටසක් පමණක් ප්‍රයෝජනයට ගැනීම සිරිතයි. නිදසුනක් ලෙස වනාන්තරයේ ඇති බොහෝ ගස් අතර සඳුන් ගස ඉතා දුර්ලභ වන්නේ ය. වටිනාකමින් ද ඉතා ඉහළ ය. එහෙත් ප්‍රයෝජනයට ගැනීමේ දී කොටසක් එනම්, පිට පොත්ත සේ ම එලය සැස (අත්හැර) දමන්නේ ය. අරටුව පමණක් ම ගන්නේ ය. මී පැණි ද එසේ ම ය. ඉටි හැර දමා පැණි ටික ගන්නේ ය. නෙළුම් මලෙහි ද පිට පෙති හැර දමා බුදුන් පුදන්නේ ය. චන්දන සහල් කොපමණ වටින්නේ උව ද, සුනු සහල් හැර දමා ප්‍රයෝජනයට ගන්නේ ය. මෙසේ ලොවේ එකෙක් ගෙන එකෙක් අත් හැරීම සිරිත ය. නමුත් මීට දෙදහස් පන්සිය පනස් අට වසරකට පෙර දේශිත සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙහි අත්හළ යුතු දෙයක් නොමැත්තේ ය, යනුවෙන් බුදු බණෙහි ඇති වටිනාකම බුත්සරණ කතුවරයාණෝ ලියා දැක්වූහ.

එසේ ම අට්ඨකතා විවරණයට අනුව “අත්තානං ධාරෙන්තෙ චතුසු අපායේසු වට්ටදුක්ඛේසුච අපතමානේ කත්වා දාරේතීති ධම්මෝ

“එනම් දරන්නා වූ අර්ථයෙන් ධර්ම නම් වේ. දැරීම නම් සතර අපායට වැටෙන්නට නොදී, සංසාර දුක්ඛයට වැටෙන්නට නොදී රැකීම ය. පර්යාප්ති ධර්මය අසා, බලා, සිතින් දරන්නා වූ ධර්මය අනුව පිළිවෙත් පුරන්නෝ ද ලෝකෝත්තර ධර්මයන් ප්‍රතිවේද කළෝ ද, ධර්මය දරන්නෝ ය. ධර්මය තමා දරන්නා වූ සතර අපායටත්, සංසාර දුක්ඛයටත් වැටෙන්නට නොදී ආරක්ෂා කෙරේ. (චන්දවිමල නා හිමි, සූවිසි මහාගුණය, 344 පිට, 2008)

ලෝකයාගේ හිත සුව පිණිස වීදාගම මහා මෛත්‍රීය මහා යතිවරයන් වහන්සේ විසින් විරචිත මහානර්ඝ ග්‍රන්ථය වන්නේ, “ලෝවැඩ සඟරාවයි” මෙම ග්‍රන්ථයේ දී ද උන්වහන්සේ පළමුව සම්මා සම්බුදුන් වැඳ නමස්කාර කොට දෙවනුව ධර්ම රත්නය නමස්කාර කළ සේක. ඒ මෙසේ ය.

ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු

අනතුරුව අපගේ අවධානය යොමු වන්නේ රසවාහිනි නම් ග්‍රන්ථයට ඇතුළත් සද්ධර්මයේ ගුණ ඇතුළත් ගාථාවන් වෙත ය. ඒ මෙසේ ය.

ධම්මො පනෙසො සුගතප්පසත්ථො
තරණීව සංසාර මහණ්ණවස්ස,
බ්‍රහ්මාසුරාදීහි නමස්සනීය්‍යො
රසො රසානං පරමො තිලොකෙ

සුගතයන් වහන්සේ විසින් පසස්නා ලද මේ ධර්මය සංසාර මහාර්ණවයට පසුරක් වැනි ය. බ්‍රහ්මාසුරාදීන් විසින් නමස්කාර කළ යුතු වූ මේ ධර්මය තුන්ලොව ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය ය.

මහාගදො මච්චුජරා පහානො
සබ්බීතිනාසාය විසෙසමන්තො,
සබ්බත්ථ දානෙන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොව ධම්මො

මේ ධර්මය ජරාමරණයන් නැති කරන මහෞෂධයෙකි. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයෙකි. මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක්, සිතුමිණක්, භද්‍රඝටයක් වැනි ය.

ධම්මං විනා නත්ථි පිතාච මාතා
තමේව ඨානං සරණං පතිට්ඨා
තස්මාහි භෝ කිච්ඡ මඤ්ඤප්පහාය
සුනාථ ධාරේථ චරාථ ධම්මේ

ධර්මය හැර සත්ත්වයනට මවක් පියෙක් නැත. ඒ ධර්මය ම සත්ත්වයනට ආරක්ෂාව ය. සරණ ය. ප්‍රතිෂ්ඨාව ය. එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසව්, දරව්, ධර්මයෙහි හැසිරෙව්. මෙම ගාථාත්‍රයට අනුව ධර්ම රත්නය,

සංසාර නමැති මහා ඕඝය තරණය කිරීමට පහුරක් වැනි ය.

බ්‍රහ්ම සුරාදීන් විසින් නමස්කාර කළ යුත්තෙකි.

කාම, රූප, අරූප යන තුන් ලොවෙහි ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය වේ.

ජරා මරණයන් නැති කරන මහෞෂධයකි.

සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයකි.

සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකකි. සිතුමිණකි. භද්‍රඝටයකි

දෙලොව සුව සලසන බැවින් මවට, පියාට වඩා උතුම් ය.

සත්ත්වයනට ඇති එකම ආරක්ෂාව ය. සරණ ය, ප්‍රතිෂ්ඨාව ය.

එම නිසා අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසව්, දරව්, ධර්මයෙහි ම හැසිරෙව් යන්න ය.

ධර්මයේ ගුණ ඇතුළත් ධර්ම පාඨය

බෞද්ධ මූලාශ්‍රයන්හි කිහිප තැනක ධර්මයේ ගුණ ඇතුළත් ධර්ම පාඨයක් සඳහන් වෙයි. ඒ මෙසේ ය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකො ඒහිපස්සිකො ඕපනයිකො පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී (අංනි1, දුතියපුඤ්ඤාභිසන්ද සූත්‍රය, 108පි.) පළමුව එහි සරලාර්ථය හඳුනා ගනිමු. ඒ මෙසේ ය.

ස්වක්ඛාතො භගවතා ධම්මො

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන සේ මැනවින් දේශිත ය.

මුල මැද හා අග ද
යහපත් ලෙසට මුනි සඳ
දෙසූයෙන් දහම් කඳ
ස්වාක්ඛාත ය කියා නම් ලද

සන්දිට්ඨිකො භගවතා ධම්මො

ඒ ධර්මය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට තම ජීවිත කාලය තුළ දී තමාට ම දැන දැක ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ගුණවලින් යුක්ත වන්නේ ය.

මෙම අත්බවේ දී ම
පිළිපදී නම් සදහම
ලැබෙනුයෙන් පල හැම
යෙදේ සන්දිට්ඨික ය යන නම

අකාලිකො භගවතා ධම්මො

නිවැරැදි ව පිළිපදින්නා වූ හෙවත් ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයාට කල් නොයවා ඕනෑම කාලයක දී ප්‍රතිඵල අත්දැකිය හැකි බව.

කාලයක් නැතිව ම
මඟපල ලැබෙයි හැමදම
එම අරුත ඇතිව ම
අකාලික නම දරයි සදහම

ඒහිපස්සිකො භගවතා ධම්මො

අන්ධ භක්තියෙන් තොර ව, නුවණින් බලනු කැමැත්තකුට ඇවිත් බල්නැයි (සසුන් පුරා බලන්නැයි) පොළඹවන දහමක් බව.

ඇවිදින් බලනු මැන
අඳ බැතියකින් නොම ගෙන
ඇරයුම් ඇති බැවින
ඒහිපස්සික කියා පැවැසින

ඕපනයිකො භගවතා ධම්මො

සමීපයට පමුණුවන, නිවනට පමුණුවන, තම සිත්හි ලා පිහිටුවිය යුතු දහමක් බව.

තම සිත් සතන් තුළ
උපදවාගත යුතු බල
ඇති බැවින් සැම කල
ඕපනයික ය දහම නිකසල

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී භගවතා ධම්මො

විඤ්ඤූ පුරුෂයන් විසින් තම තමා විසින් අන් තැනකින් නොව, තමාගේ සිත් තුළින් ම වෙන වෙන ම අවබෝධ කර ගත යුතු විඤ්ඤූ පුරුෂයන්ට ම විෂයය වූ දහමක් බව.

තම තම නැණ මඟින්
දහම දත යුතු මැනවින්
පච්චත්ත වශයෙන්
වේදිතබ්බ ය කියති එබැවින්
ස්වාක්ඛාත දහම් ගුණය

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන සේ මැනවින් දේශිත ය. ‘මැනවින් ප්‍රකාශිත ය’ යනු, මෙම දහම් ගුණයෙහි වාච්‍යාර්ථය යි. භාග්‍යවතුන් විසින් දේශිත ධර්මය මුල මැද අග යන තුන් ස්ථානයෙහි ම යහපත් වන පරිදි මැනවින් දේශනා කොට තිබේ. ඒ බව මූලාශ්‍රයන් අධ්‍යයනය කිරීම මඟින් අනාවරණය වේ.

“සෝ ධම්මං දේසති ආදිකල්‍යාණං මජ්ෙක්‍ධ්කල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සව්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති” යන පාඨය ඒ සඳහා නිදසුන් සපයයි.

ප්‍රථම රහත් ධර්මදූතයන් අරඹයා මෙම සිහි කැඳවීම කිරීම මඟින් උන්වහන්සේගේ අපේක්ෂාව ද පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ භාරතීය සමාජයේ පහළ වන විට බොහෝ ශාස්තෘන්ගේ විවිධ දේශනා පැවති බවට බොහෝ මූලාශ්‍රයයන්හි දැකගත හැකි ය. එහි ම සඳහන් වන්නේ, එම දේශනා වැරැදි ලෙස දේශනා කළ ඉගැන්වීම් ලෙස ය. “වැරැදි ලෙස පැවසූ දහමක් ප්‍රගුණ කළාට වෙහෙස විනා කිසිදු ප්‍රයෝජනයක් නැත. ප්‍රතිඵල වෙහෙස, දුක පමණි. අචෙලකස්සප තිස් අවුරුද්දක් අචේලක පැවිද්ද ගත කළත් ඔහුගේ ප්‍රතිඵලය වූයේ නිරුවත් බවත්, මුඩුහිසත්, වැලිපිසින මොනරපිල් කළඹත් පමණි. කිසිදු ආර්යඥාන දර්ශනයක් නොවීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බුදු සසුනෙහි අනාගාමී උවසවකු වන චිත්ත ගෘහපතියා සමග ය. පැරැණි මිතුරන් වූ මේ දෙදෙනා තිස් වසරකට පසු මුණගැසුණ අවස්ථාවේ ය. එහිදී චිත්ත ගෘහපතිතුමාට ඉබේ ම කියවුණේ ‘තිස් අවුරුද්දක් ගත වීත් මුඩු හිසත්, නිරුවත් බවත්, දූවිලි පිස්නයත් හැර මිනිස් දහමින් මත්තෙහි වූ කිසිදු පහසු විහරණයක් නැති නම්, ඒ සසුනේ ස්වක්ඛාත බව නම් හරි පුදුමයිනේ”

අච්ඡරියං වත භෝ ධම්මස්ස ස්වක්ඛාතෝ යත්‍ර හිනාම තිංසමත්තේහි වස්සේහි න කොචි උත්තරි මනුස්සධම්මා අලමරියාඤාණ දස්සනවිසේසො අධිගතො භවිස්සති ඵාසුවිහාරො අඤ්ඤත්‍ර නග්ගෙය්‍යා ච මුණ්ඩෙය්‍යා ච පාවළනිප්ඵොටනාය චාති යනුවෙනි.

නොමනා කොට පවසන දහමක කොතරම් උත්සාහ කළත් පලක් නැත. දුක පමණි. (දුරක්ඛාතේ භික්ඛවේ ධම්මවිනයේ යො ආරද්ධවිරියෝ සො දුක්ඛං විහරති බොහෝ පව් ද රැස් වේ. (බහුං අපුඤ්ඤං පසවන්ති නිදසුනක් ලෙස පූර්ණකස්ස ශාස්තෘවරයාගේ දහම පෙන්වා දීම ප්‍රමාණවත් වෙයි.

“යම් ක්‍රියාවක් කිරීම, අනුන්ගේ අත් පා ආදිය සිඳීම, අනුන් පෙළීම, තැවීම, වෙහෙසට පත් කිරීම, කම්පාවට පත් කිරීම වැනි ක්‍රියා කිරීමෙන් හෝ කරවීමෙන් හෝ පර සන්තකය පැහැර ගැනීම, ගෙවල් බිඳීම, මං පැහැරීම, පර අඹුවන් කරා යෑම, බොරු කීම වැනි ක්‍රියා කිරීමෙන් කිසි විටෙකත් පව් කිරීමක් සිදු නොවේ.” (කරොතො ඛො මහාරාජ කාරයතො ඡින්දයතො ඡේදාපයතො පචතො පාචයතො.... දී.නි. සාමඤ්ඤඵල සූත්‍රය, මොහු පුද්ගල ක්‍රියා හොඳ නරක වශයෙන් ප්‍රතික්ෂේප කළ ශාස්තෘවරයෙකි. මේ දහම ඉදිරිපත් කළ ඔහු ද, එය පිළිගන්නා ශ්‍රාවකයා ද, දුගතියට මිස සුගතියට නම් නොයයි. මේ එක් නිදසුනක් පමණි.

ධර්මය ස්වක්ඛාත නම්, මැනවින් ප්‍රකාශිත නම් එහි වීර්යාරම්භ කිරීම ප්‍රතිඵලදායක ය. එය සුව සේ විසීමක් වේ. කුමක් නිසා ද ධර්මය ස්වක්ඛාත නිසා ය. (ස්වක්ඛාතේ ධම්මවිනයෙ ආරද්ධවිරියො, සො සුඛං විහරති. තං කිස්ස හේතු ස්වයක්ඛාතත්තා භික්ඛවේ ධම්මස්සාති” අංගුත්තර නිකාය. එම ස්වක්ඛාත ධර්මය පිළිගෙන දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබුවෝ බොහෝ වෙති. ඇතැම් තිරිසන්ගත සතුන් පිළිපැදීමකින් තොරව, ඇසීම් මාත්‍රයකින් ම ශාන්තිය ලැබූ ආකාරය බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවත් මඟින් අනාවරණය කෙරේ. (බණ ඇසූ මැඩියා (මණ්ඩුක දිව්‍ය පුත්‍රයා) බණ ඇසූ ගැරඬියා (දුටුගැමුණු රජුගේ ඇමතියකුගේ නිවසේ ඉපිද, දිව්‍ය සම්පත් ලැබීම) ධර්මය දේශනා කරන අවස්ථාවේ සාධුකාර දීමේ පිනෙන් මුවින් මානෙල් මල් සුවඳ විහිද වන බව බුදුන් වහන්සේ දේශනා කළහ. “මහරජ, ඒ භික්ෂුව අතීතයෙහි දහම් අසමින් පී‍්‍රතියෙන් සාධුකාර දුන්නේ ය. ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ ය.”

මේ අනුව තථාගත ධර්මය ඇසීම් මාත්‍රයෙන් හා සාධුකාර දීම් මාත්‍රයෙන් ද එසේ කරන්නවුන්ට නොයෙක් අනුසස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හෙවත් ස්වක්ඛාතභාවය නිසා ය.

පොසොන්  පුර අටවක

ජුනි 02 සඳුදා අ.භා. 08.42
 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ.
 03 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]