[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කර්මය පුනර්භවය හා නිර්වාණය

කර්මය පුනර්භවය හා නිර්වාණය

කර්මය පිළිබඳ වැරැදි අර්ථ කථනයන් හා අතාර්කික මත ගැන අංගුත්තර නිකායේ සඳහන් වේ. නුවණැත්තන් ඒ ගැන පරීක්ෂා කොට පහත සඳහන් මත අත්හැර දැමීම නුවණට හුරු ය.

සියල්ල පූර්ව ජාතියේ කළ ක්‍රියාවන් ගේ ප්‍රතිඵලය යි විශ්වාස කිරීම, උත්තරීතර පාලකයකු ගේ නිර්මාණයන්හි විපාක යැයි ඇදහීම හා සියල්ල පැන නඟිනුයේ හේතුවක් හෝ ඵලයක් හෝ නොමැතිව ය යන විශ්වාස ය.

පුද්ගලයකු මිනීමරුවකු, හොරකු, ස්ත්‍රී දූෂකයකු වීමත් ඔහුගේ ක්‍රියාවන් පූර්ව ක්‍රියාවන් නිසා ඇති වූවක් සේ ද, උත්තරීතර පාලකයකු ගේ නිපදවීමක් හේතු කොට සිදුවන්නක් ද, ඒ ඒ අවස්ථාව අනුව නිකම් සිදුවූවක් ද වේ නම් ඒ පුද්ගලයා ගේ අයහපත් ක්‍රියාවට ඔහු වග කිව යුත්තකු සේ සැලකිය නො හැකි ය. කර්මය පිළිබඳ ව තවත් සදොස් අදහසක් මෙසේ දැක්වේ.

කර්මය ක්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන, ඔහු ගේ ඇදහිල්ල අනුව ය. මිනිසා ගේ ඊළඟ ජීවිතය පිළිබඳ ඉරණම ඔහු තෝරාගත් විශේෂ ආගම මත යන්තමින් හෝ රඳා පවතී යැයි සිතිය නො හැකි ය. ඔහු අදහන ආගම කුමක් වුව ද මිනිසා ගේ ඉරණම මුළුමනින් ම රඳා පවත්නේ ඔහු ගේ කයින්, වචනයෙන්, සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් මත ය. ඔහුට කවර අඩයාලමක් තිබුණ ද යහපත් ක්‍රියාවන්ගෙන් පිරි නො කිලිටි ජීවිතයක් ගත කරයි නම්, ඊළඟ ජීවිතයේ හෝ වාසනාවත් ජීවිතයකට හිමිකම් ලබයි. තම සිතෙහි දුෂ්ට සිතිවිලි රඳවා ගනිමින්, පාප ක්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වන මිනිසා ගේ ඊළඟ ජීවිතය ද කාලකණ්ණි තත්ත්වයට පත් වේ. බෞද්ධයෝ මරණින් පසු සුගතිගාමී වීමට වාසනාව ඇත්තේ තමනට පමණකැයි කිසි විටෙකත් නො කියති. කවර ආගමක් ඇදහුව ද මිනිසා ගේ කර්මානුකූල සිතුවිලි ඔහුගේ ඉරණම මේ තම ජීවිතයේ දී එය තීරණය කරනු ඇත.

කර්මය පිළිබඳ ඉගැන්වීම් පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවල නිර්නායකයක් හෙවත් ප්‍රදර්ශකයක් නො වේ. බුදුරජාණන් වහන්සේ කර්ම න්‍යාය දේශනා කෙළේ ධනවතුන් ආරක්ෂා කිරීමට හෝ දුප්පතුන් සැනසීමට හෝ ඊළඟ ජීවිතයේ දී උරුම වන වාසනා මහිමය පිළිබඳ මනෝ දර්ශකයක් දැක්වීමට හෝ නො වේ.

බුදු සමයට අනුව කර්මය පැහැදිලි කරන්නේ මනුෂ්‍ය වර්ගයා අතර පවතින අසමානතාව යි. මේ විෂමතා ජන්මය, පරිසරය, ස්වභාව ධර්මය මෙන් ම කර්මය හෙවත් අපේ ම ක්‍රියාවන් නිසා වූවකි. ඇත්ත වශයෙන් අපේ ජීවිතයේ ජයග්‍රහණයට හෝ පරාජයට හෝ වගකිවයුතු සාධකයන්ගෙන් කර්මය ද එකකි. කර්මය අදිසි බලවේගයක් බැවින් එහි ක්‍රියාකාරීත්වය මසැසින් දකිනු බැරි ය. කර්මය ක්‍රියාත්මක වන අයුරු අවබෝධ කර ගැනීමට නම් බිජුවට හා සැසඳිය යුතු ය. කර්මයේ ප්‍රතිඵල අපේ උප විඥානයේ හෙවත් භවාංග චිත්තයෙහි තැන්පත් වී ඇත. ඒ කෙසේද යත්? කිසියම් ඇටයක් තුළ ඉන් හටගන්නා ශාකයේ කඳ, අතු, කොළ, මල් ගෙඩි ඇතුළත් වන්නා සේ ය. යෝග්‍ය තත්ත්වයන් තුළ කර්මය ද ඵල දරයි. එනම් තෙතමනය හා ආලෝකය සමඟ කුඩා ඇටය පැළ වී දළු රිකිලි දමා කඳ කොළ අතු පතර සැදෙන්නා සේ ය. කර්මයේ ක්‍රියාකාරිත්වය බැංකු ගිණුමක් හා සැසඳිය හැකි ය. මේ ජීවිතයේ දී සත්පුරුෂයා පින්වතෙකි. ත්‍යාග ශීලියෙකි. ඒ තැනැත්තා ඔහු ගේ යහපත් කර්මයට තව තවත් එකතු කරයි. මෙසේ ලබා ගත් යහපත් කර්මය හේතු කොට ගෙන කරදර රහිත ජීවිතයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.

නමුත් ඔහු ගත් දේ නැවත තැන්පත් නො කළ හොත් ඔහු ගේ ගිණුම හීන වී බංකොලොත් වේ. ඔහු ගේ එවන් දුක්ඛිත තත්ත්වයට වරදකරු වන්නෝ කවුරුද? දොස් පැවරිය හැක්කේ කාට ද? අනුන්ට හෝ තමාගේ ඉරණමට හෝ දොස් පැවරිය නො හැකි ය. ඔහු ම එයට වග කිව යුතු ය. මේ අනුව යහපත් බෞද්ධයකුට පළායන්නකු හෝ ඇඟ බේරාගන්නකු හෝ නො විය හැකි ය. කර්මානුකූල බලවේගය අකර්මණ්‍ය වීමෙන් පාලනය කළ නොහැක්කේ ය. යහපත් ක්‍රියාකාරකම් කෙනකුගේ වාසනාව සඳහා නැතිව ම බැරි දෙයකි පලායෑම දුර්වලයා ගේ සිරිතකි. එසේ පලායන්නහුට “කර්ම න්‍යායයේ විපාකයන්ගෙන් ගැලවෙනු පිණිස සැඟවීමට තැනක් නැත්තේ ය.

අපේ අත්දැකීම්

කර්ම න්‍යාය අවබෝධය නම් “අපේ සැපතට හෝ විපතට හෝ වගකිව යුත්තේ අප ම ය යනු තේරුම් ගැනීම’ යි අපේ කර්මය ගොඩනඟන්නෝ අපි වෙමු. බුදු සමය පැහැදිලි කර දෙන්නේ මිනිසාට තමාගේ කර්මය හැඩ ගැසීමටත්, ඒ අනුව තම ජීවිතය ගෙන යන දිසාවට කොතෙකුත් බලපෑම් කළහැකි බවත් ය. අනික් අතට මිනිසා තමාගේ ක්‍රියාවනට මුළුමනින් ම යට වූ සිරකරුවකු නො වන බවත් ය. තවද මිනිසා යන්ත්‍රයක් සේ ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන සහජ බලවේගයන් ගේ දාසයෙක් ද නො වේ. එ මෙන් ම මිනිසා ස්වභාව ධර්මයේ සරල නිපැයුමක් ද නො වේ. මිනිසා තුළ කර්මය වෙනස් කිරීමට ශක්තිය ද, හැකියාව ද ඇත. ඔහුගේ මනස කර්මයට වඩා බලගතු බැවින් කර්ම න්‍යාය තමාට සේවාව ලබා ගැනීම සඳහා යොදාගත හැකි ය. මිනිසා තම කර්ම බලවේගයට යටත් නො වී සිටීමට තරම් වූ තමන් සතු ප්‍රාර්ථනා හා ප්‍රයත්නයන් අත් නො හැරිය යුතු ය. පූර්වයෙහි එක් රැස් කළා වූ අයහපත් කර්මයන් ගේ ප්‍රති ක්‍රියාවනට හිලවූ කිරීම් වස් ඔහු වැඩි වැඩියෙන් පුණ්‍ය ක්‍රියා ද මනස විචිත්‍ර කර ගැනීම් ද කළ යුතු ය. එසේ නොමැති ව යැදීම්, වැඳීම, පුද පූජා, ශරීරයට වධ දීම මඟින් තමා ගේ කර්ම විපාකයන් අබිබවා යෑම දුෂ්කර වේ. ඒ අනුව කිව හැක්කේ මිනිසාට තම පාප ක්‍රියාවන් ගේ ඵල විපාක යටපත් කළ හැක්කේ නුවණින් යුතු ව ක්‍රියා කරමින් ආර්ය ජීවිතයක් ගත කළහොත් පමණි.

මිනිසාට දායාද වූ ද්‍රව්‍යයන් ඇතොත් ඒවා තම විශිෂ්ටාර්ථය වර්ධනය කිරීම සඳහා යොදා ගත යුත්තේ ය. ජීවිතය නමැති ක්‍රීඩාවට අදාළ තුරුම්බු පත් අප තුළ ඇත. අපි ඒවා තෝරා බේරා නො ගනිමු. ඒවා අපේ පූර්ව කර්මයට යා කර ඇත. එහෙත් අපේ කැමැත්තට අනුව අපට ජය හෝ පරාජය හෝ ලැබිය හැකි ය. මිනිසුන්ගේ ක්‍රියාවලට කර්ම සමාන කර තිබේ.

මේ ක්‍රියා ධර්මානුකූල ප්‍රතිඵල උපදවයි. නමුත් කිසියම් පරමාර්ථයක් සහිත අපේක්ෂාවකින් තොරව කරනු ලබන ක්‍රියා කුසල කර්ම හෝ අකුසල කර්ම නො විය හැකි ය. එබැවින් බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කර ඇත්තේ චේතනාව කර්මය බවයි.

‘චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ එයින් අදහස් කරන්නේ කවර නම් යහපත් හෝ අයහපත් හෝ ක්‍රියාවක් චේතනාවෙන් තොරව කළහොත් ඊළඟ දිවිය කරා යාමට තරම් ශක්ති සම්පන්න නොවන බව ය. යහපත් හෝ අයහපත්, කර්ම විපාකයන්ගේ ස්වභාවය කුමක් දැයි නො දැනුම, එම ක්‍රියාවන් හිතා මතා සිදු කරන ලද්දේ නම් විපාකයෙන් මිදීමට හෝ තහවුරු කිරීමට හෝ සමාවක් නො වන්නේ ය. කුඩා ළදරුවකුට හෝ අඥානයකුට හෝ නොයෙකුත් පාප ක්‍රියාවන් කළ හැකි ය. එහෙත් එම ක්‍රියාවන් සිදු කරන ලද්දේ හානියක්, අනතුරක් කිරීමේ අටියෙන් නම් ඔවුන් ද කර්මානුකූල විපාක ලැබීමෙන් නිදහස් වෙතැයි කීම දුෂ්කර වන්නේ ය. කුඩා ළමයකු රත් වූ යකඩයක් ස්පර්ශ කළ හොත් ඒ ගිනියම් යකඩයේ රස්නයෙන් ළමයා ගේ අත නො දැවී බේරේ ද?

කර්මයේ ශක්තිය ද නිවරද ව එ ලෙසින් ම ක්‍රියා කරනු ඇත. කර්ම ශක්තිය පක්ෂග්‍රාහී නො වේ. එය ආකර්ශන ශක්තිය මෙන් ක්‍රියා කර යි. කර්ම බලවේගය පාලනය කිරීමට තරම් විභව්‍යතාවක් මිනිසා සතු ව ඇති බවට හොඳ නිදර්ශනය ලෙස අශෝක අධිරායා හා අංගුලිමාලයන්ගේ චරිත ඉදිරිපත් කළ හැකි ය. අංගුලිමාල මිනීමරුවෙකි. ඔහු දහස් ගණන් අසරණ මිනිසුන් මැරුවෙකි. ඔහුගේ බාහිර ක්‍රියාවන් අනුව අපට ඔහු ගැන විනිශ්චයක් දිය හැකි ද? එහෙත් තම ජීවිත කාලය තුළ දීම රහත් බවට පැමිණ ඔහුගේ පැරැණි අකටයුතුකම්වලින් බේරී ගත්තේ ය.

අශෝක අධිරාජයා ද තම අධිරාජ්‍යය පුළුල් කිරීම් වස් යුද වැදී දස දහස් ගණන් මිනිසුන් මැරුවේ ය. යුද්ධයෙන් ජය ගනිත් ම තෙමේ ම පූර්ණ වශයෙන් ප්‍රතිසංශෝධනය වී තම ක්‍රියා කලාපය එදා කොතරම් දුරට ගෙන ගියේ ද යත්? දස දහස් ගණන් රාජරාජ මහා මාත්‍යාදීන් ගේ නාමාවලියෙන් ගහණ වූ ඉතිහාසයේ අශෝක රජුගේ නාමය අදත් තරුවක් ලෙසින් බබළන්නේ යැයි එච්.ජී.වේල්ස් නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පවසයි.

ආධාරක සාධක

කර්ම බලය පාලනය කිරීමට අවසන් වශයෙන් මිනිසා සමත් වෙති’ යි බුදු සමයේ සඳහන් වුව ද සියල්ල කර්මය නිසා සිදුවෙති යි නො කියයි.

ස්වභාව ධර්මය සතු අනෙක් බලවේගයන්ගේ භූමිකා රංගනයන් බුදු සමය නො සලකා නො හරියි. බුදු සමයට අනුව පංච විධ ආකාරයක් හෝ ක්‍රියා පිළිවෙළක් හෝ ස්වභාවික නීතියෙහි (නියාමයන්) ඇත. ඒවා භෞතික හා මනෝ ලෝකයේ ක්‍රියාත්මක වේ.

කාලීන නීති (උතු නියාම) භෞතික ඓන්ද්‍රිය ආකාරය. නිදසුන් - සුළඟ, වැස්ස වැනි කාලීන ස්වභාවික සංසිද්ධීන්. ජීව විද්‍යාත්මක නීතිය (බීජ නියාම) විදුලිබල ප්‍රවාහයන්ගේ සංසරණය.

මනෝ නීති ( චිත්ත නියාම) විඥාන ක්‍රියා පිළිබඳ පාලනය.

මේ අනුව කර්මය ලෝක විවිධත්වයට ගැනෙන පඤ්චවිධ ස්වභාවික සිද්ධීන්ගෙන් එකකි.

කර්මය වෙනස් කළ හැකි ද?

බොහෝ විට අවට ඇති තත්ත්වයන් ගේ බලපෑමට කර්මය ද ලක් වේ. හිතකර මෙන් ම අහිතකර බලවේගයන්ගේ විරෝධය නැතහොත් ආධාරය මෙම ස්වයං ක්‍රියාකාරී නීතියට ලැබෙන්නේ ය. එසේ ආධාර හෝ අවහිර ඇති කරන සෙසු බලවේගයන් නම් ඉපදීම, කාලය, තත්ත්වය හා ප්‍රයත්නයන් ය. බුද්ධිය හිතකර ඉපදීම හෝ (ගති සම්පත්ති) අහිත කර ඉපදීම (විපත්ති) කර්මය දැරීම හෝ මර්දනය හෝ කෙරෙයි. නිදසුනක් වශයෙන් පුද්ගලයකු වංශවත් පවුලක උපදිති යි සිතමු. නැතහොත් වාසනාවන්ත තත්ත්වයකට පත් වෙතැයි සිතමු. ඔහුගේ වාසනාවත් ඉපදීම යහපත් කර්මය ක්‍රියාත්මක වීමට අනගි අවස්ථාවක් සැපයෙයි. බුද්ධිමත් අයකු යහපත් කර්මය නිසා රජ කුලයෙහි ඉපදුනහොත් ඔහුගේ වංශවත් දෙමාපිය පරපුර නිසා මිනිසුන්ගේ ගෞරවයට ලක් වේ. එම පුද්ගලයාට ම එතරම් වාසනාවක් නැති උපතක් ලැබිණි නම් පෙරකී ගෞරවය හිමි නොවේ. යහපත් හැඩ රුව (උපධි සම්පත්ති) හා දුර්වල හැඩ රුව (උපධි විපත්ති) කර්මයේ ක්‍රියාකාරිත්වයට ඇති වර්ධක හා මර්දක සාධක දෙකකි. යහපත් කර්ම බලයක් නිසා පුද්ගලයකු යහපත් ඉපදීමක් ලැබුව ද අයහපත් කර්මයක් නිසා අංගවිකල හෝ විරූපී හෝ වී නම් ඔහුගේ යහපත් කර්මය ප්‍රතිලාභීය ප්‍රතිඵල අනුභව කිරීමට නො හැකි වන්නේ ය. සිහසුනට උරුමක්කාරයකු වුව ද ඇතැම්විට ඒ උසස් තැනට නැඟීමට ඔහුගේ ශාරීරික හෝ මානසික හෝ විරූපිත ය ඉඩ නොදේ. රූපලාවන්‍යය එය අයිතිකරු සතු වත්කමකි. දුප්පත්, දෙමව්පියන්ගේ කඩවසම් පුතා අන්‍යයන්ගේ අවධානය ආකර්ශනය නිසා ඔවුන් ගේ බලපෑමෙන් විශිෂ්ට ස්ථානයක් හිමි කර ගනියි. දුප්පත් සැඟවුණු පවුල් පසුතලයන්ගෙන් යුතු පුද්ගලයන් චිත්‍රපට නළුවන්, නිළියන් රූප රාජිනියන් සේ ජනපි‍්‍රයත්වයට හා සම්මානනයට පත් ව ඇති අවස්ථා අපට කොතෙකුත් දකින්නට ලැබේ.

කර්මය ක්‍රියාත්මක වීමට බලපාන සෙසු සාධක කාලය හා අවස්ථාවයි. දුර්භික්ෂයක් හෝ යුද්ධයක් හෝ පවතින කල්හි සියලු පුද්ගලයෝ එකම ඉරණමකට මුහුණ පා පීඩා විඳිති. මෙහි දී සිදු වී ඇත්තේ අයහපත් තත්ත්වයන් විවෘත වී අයහපත් කර්මයට ක්‍රියාත්මක වීමට ඉඩ තැබීම යි. අනික් අතට කර්මය ක්‍රියාත්මක වීමට බලපාන සාධක අතර ඇතැම් විට ඉතා වැදගත් වන්නේ ප්‍රයත්නය නොහොත් බුද්ධිය යි. ප්‍රයත්නයක් නොමැති කල්හි ලෞකික හෝ ආධ්‍යාත්මික හෝ ප්‍රගතියක් නො විය හැකි ය. රෝගයකින් සුවය ලැබීමට හෝ දුෂ්කරතාවන්ගෙන් බේරීමට හෝ ප්‍රගතිය සඳහා නො පසුබට ව ක්‍රියා කිරීමට කිසියම් පුද්ගලයකු ප්‍රයත්නයක් නො දරයි ද? එවිට ඔහුගේ පවිටු කර්මයට අයත් විපාක නිපදවීමට මහඟු අවස්ථාවක් ඇති කරනු ලබන්නේ ය. කෙසේ වෙතත් ඔහුගේ දුෂ්කරතාවන් ඉක්මවීමට ආයාසයක් දරයි ද ඔහුගේ යහපත් කර්මය ඔහුට ආධාර සඳහා එයි.

බෝධි සත්වයෝ පෙර එක් ජාතියක දී සයුර මැද යාත්‍රා කළ නැව අනතුරකට පත් වූයෙන් තම මහලු මව ගේ ද, තමා ගේ ද ගැලවීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූහ. සෙස්සෝ දෙවියනට යාඥා කරමින් තම ඉරණම දෙවියන් අතට පත් කළහ. ප්‍රතිඵලය වූයේ බෝසතුන් බේරීමත්, සෙස්සන් මුහුදුබත් වීමත් ය. මේ අනුව කර්මය ක්‍රියාත්මක වීමට උපත, හැඩරුව, කාලය, පෞද්ගලික වෑයම හෝ බුද්ධිය හෝ උපකාර වන බව හෝ අපකාර වන බව පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් මනුෂ්‍යයාට ක්‍රම හා විධි අනුගමනය කිරීමෙන් කර්මයේ ආසන්න විපාකයන් ජය ගත හැකි ය. එහෙත් ඔහු මේ සංසාරයේ වසන තාක් එම කර්ම විපාකයන්ගෙන් නිදහස් වන්නේ නොවේ. තමා විසින් මර්දනය කරනු ලැබූ කර්ම විපාකයන් තමාට පලදෙන අවස්ථා යළිත් පැන නැඟිය හැකි ය. එය ලෞකික ජීවිතයේ අස්ථිර භාවය යි.

බුදු රදුනට හා රහතුනට පවා ඇතැම් කර්මයනට උන්වහන්සේලාගේ අන්තිම උත්පත්තියේ දී පවා භාජනයවීමට සිදු වී තිබේ. කාලය තවත් වැදගත් සාධකයකි. යහපත් හෝ අයහපත් හෝ කර්ම විපාක බලය පිළිබඳ අත්දැකීම් ලැබීමට මිනිසුනට සිදු වේ. ඇතැම් කර්ම විපාකයන් මේ ලොව ජීවත් වන කාලය තුළ අත්දකින්නට හෙවත් ප්‍රත්‍යක්ෂණය කිරීමට මිනිසුන්ට සිදු වේ. සෙසු කර්ම විපාකයන් ක්‍රියාකාරී විය හැක්කේ ඊළඟ උත්පත්තිය සිදු වූ විගසිනි. තවත් කර්මයන් නිවන් දක්නා ජාති දක්වා සංසාරයේ උපදින තාක් ඔවුන් පසුපස යන්නේ ය. මේ වෙනසට හේතුව මිනිස් සිතෙහි උපදින යහපත් හෝ අයහපත් හෝ ක්ෂණික සිතුවිලි (ජවන චිත්ත) පැන නැඟීම යි. ඒ සමඟ කර්මය ද ඇති වෙයි.

මධ්‍යස්ථ ශක්තිය

කර්මය නම් වූ බල ශක්තියක් නැතැයි විශ්වාස කරන්නවුන් අවබෝධ කර ගත යුතු දෙයක් නම් කර්ම බලය යනු කිසියම් ආගමක අතුරු නිෂ්පාදනයක් නො වන බව ය. බෞද්ධ හා ජෛන සමයන් විසින් පිළිගන්නා ලදුව, පැහැදිලි කර ඇති බල ශක්ති ස්වභාවයක් ද ඇත්තේ ය. මෙය ආගමික හැඳුනුම්පතක් නො ගැසූ, දැනට පවතින සර්වශ්‍ය නීතියකි. මේ නීතිය උල්ලංඝනය කරන්නන්ට ඔවුන් ගේ ආගමික ඇදහිලි කුමක් වුව ද, එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වේ. එකී නීතියට අනුකූල ව ජීවත් වන්නවුනට තම ජීවිතයේ පී‍්‍රතිය හා සැපත ප්‍රත්‍යක්ෂණය කළ හැකි ය. ඒ නිසා මේ කර්ම න්‍යාය පිළිබඳ ව විශ්වාසය ඇතත් නැතත් ආගමක් තිබුණත් නො තිබුණත්, අපක්ෂපාතව ම පවතී. එය පවත්නා විශ්ව නීතියට සමාන වේ. බුදු සමයට ම පමණක් සීමා වූ කරුණක් ලෙස කර්මය ගැන නො සිතිය යුතු ය. කර්මය බලයක් හෝ කිසියම් ආකාරයක ශක්තියක් ලෙස හෝ අප වටහා ගත හොත් එහි ආරම්භයක් සොයා ගැනීම අපහසු ය. කර්මයේ ආරම්භය කොතැන ද? යන විමසීම විදුලියේ ආරම්භය කොතැන ද? යන විමසීමට සමාන ය. කර්මයට ද විදුලියට මෙන් ආරම්භයක් නැත. එය ජනිත වන්නේ එක්තරා තත්ත්වයක් යටතේ ය. ගතානුගතික ව කර්මයේ ආරම්භය චේතනාව යැයි කිව හැකි ය.එහෙත් ඒ කියමන ගඟක ආරම්භය කඳු මුදුනකැයි කීම හා සමාන ය. සාගරයේ එකවිට එක එක පැන නැඟී එන රළපන්තියක් මෙන් එක් විඥාන ඒකකයක් තවත් එවැනි ඒකකයක් වෙත ගලායමින් එය හා මුසු වී එක සිතුවිල්ලක් සේ විඥානගත ව තවත් එකක් බවට පත්වීම කර්මය ක්‍රියාත්මක වීම සේ දැක්විය හැකි ය.

කෙටියෙන් කියතොත් ජීවත් වන සෑම සතෙක් ම බුදු සමයට අනුව ස්වයංක්‍රීය යතුරකින් ක්‍රියාත්මක වන විදුලි ධාරා පැවැත්මක් බඳු ය. කර්මය, බල ශක්ති ආකාරයක් සේ ශරීරයේ හෝ ක්ෂණික විඥානයේ හෝ දක්නට නැත. කෙසේද යත්? අඹ ගසක හට ගන්නා ගෙඩි ඒ අඹ ගසේ කො තැනකවත් තැන්පත් වී නොමැති අතර එක්තරා තත්ත්වයන් කීපයක් මත ඵල දැරීම සිදුවන්නාක් මෙනි. කර්මය ද එසේ ම ය. ගින්දර හෝ සුළඟ හෝ මෙනි. විශ්වයේ කිසිදු තැනෙක ඒවා තැන්පත් වී නැත. කිසියම් තත්ත්වයක් යටතේ වහා ඇති වෙයි.

පසිඳුරන් පිනවීම හා පැවැත්ම සඳහා වූ අසංතෘප්ත ආසාවන් හෙවත් තෘෂ්ණාව පුනරුත්පත්තියට හේතු වේ.

බෞද්ධයන් පුනරුත්පත්ති ධර්මය සලකනු ලබන්නේ කේවල න්‍යායක් ලෙස නොව සත්‍යාසත්‍යතාව සෙවිය හැකි සත්‍යයක් ලෙස ය. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය බුදු සමයේ අංශයක අත්තිවාරමක් සේ සැලකිය හැකි ය. කෙසේ වෙතත් පුනරුත්පත්තිය පිළිබඳ ධර්මය බෞද්ධයිනට පමණක් සීමා වූ එකක් නො වේ. වෙනත් රටවල ද එම විශ්වාසය පවතී. වෙනත් ආගම්වල ද ඇත. නිදහස් චින්තකයන් අතර ද ඒ විශ්වාසය පවතී. පයිතගරස්ට ඔහු ගේ පෙර ආත්මභාවය මතක තිබුණේ ය. ප්ලේටෝ පඬිවරයාට පෙර ආත්මභාව කීපයක් සිහි කළ හැකි විය. ප්ලේටෝ ගේ මතය අනුව මිනිසාට දහවාරයක් පුනරුත්පත්තියක් ඇතැයි විශ්වාස කෙළේ ය.

චීනයේ හා ඊජිප්තුවේ පුරාණ වැසියන් අතර වූ පොදු විශ්වාසයක් නම් ප්‍රසිද්ධ පෞරුෂයක් ඇති අධිරාජ්‍යයන් හා රජවරු වැනි අය නැවත නැවත උපදින බවයි. ක්‍රි.ව. 185 - 254 අතර ජීවත් වූ ක්‍රිස්තු සමයේ බලවතකු වූ ඔරිගන් නැමැත්තා පුනරුත්පත්තිය විශ්වාස කෙළේ ය. ඔහුගේ මතය අනුව නිරයේ සදාකාලික දුක්විඳීමක් නැත. සොළොස් වැනි සියවසෙහි විසූ ගොරානෝ බෲනෝ සෑම මිනිසකුගේ හා සත්වයකු ගේ ආත්මය එකකුගෙන් අනිකකුට සංක්‍රමණය වීමක් ඇතැයි විශ්වාස කෙළේ ය. ක්‍රි.ව. 1788 සිටි සුප්‍රසිද්ධ දාර්ශනිකයකු වූ කාන්ට් සදාකාලික දඬුවම විවේචනය කෙළේ ය. වෙනත් ස්වර්ග ලෝකයන්හි ද පුනර්භවයක් තිබිය හැකි යැයි හේ විශ්වාස කෙළේ ය. 1788 - 1860 දක්වා ජීවත් වූ ෂොපන් හූවර් නමැති දාර්ශනිකයා ද ජීවත්වීමට අධිෂ්ඨානයක් ඇත්තේ ද එහි ජීවත්වීමක අවශ්‍යතාව ඇත.” යනුවෙන් පවසා ජීවත්වීමේ අධිෂ්ඨානය ම නව රුපකායයන්ගෙන් නැවත නැවත සැමදා දෘෂ්‍යමාන වේ යනුවෙන් පවසා ඇත.

ජීවත්වීමට ඇති අධිෂ්ඨානය බුදු රදුන් පැහැදිලි කර ඇත්තේ (උපධි තණ්හා) ඉපදීමට ඇති ආශාව ලෙස ය.

අපේ පැරැණි ආත්ම භාවයන් ඇති බව මුත් ඒවායේ තත්ත්වයන් නිසියාකාර වග විභාග කිරීමට එතරම් පහසු නොවේ. මනසෙහි තත්ත්වය කෙසේද යත්? බොහෝ ජනයාට ඔවුන්ගේ පෙර ආත්ම භාවයන් පුනරාවලෝකනය කිරීමට ඉඩ නොදේ.

අපේ මනස යටපත් කර ගෙන සිටින පස් වැදෑරුම් බාධකයන් නීවරණයන් මෙසේ ය.

කාමච්ඡන්ද - ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව,

ව්‍යාපාද - ක්‍රෝධ, ද්වේෂ ආදියෙන් සිත වෙනස්වීම,

ථීනමිද්ධ - මැලි බව හා චිත්ත ධෛර්යය පිරිහීම,

උද්ච්ච කුක්කුච්ච - උඩඟුකම හා නො සන්සුන්කම,

විචිකිච්ඡාව - සැකය, දෙගිඩියාව.

මේ නීවරණයන් නිසා අපේ දර්ශනය ලෞකිකත්වයෙන්, බැඳී ඇති බැවින් පෙර උපන් තැන් සිතින් දැකිය නො හැකි ය. දූවිල්ලෙන් වැසුණු දර්ශන තලයකින් ප්‍රතිබිම්බය දැකීම අපහසුවන්නාක් මෙනි. එසේම එ වැනි මනස ද බොහෝ දෙනාට පෙර ආත්මභාවයන් දැකීමට ඉඩ නො දේ. දිවා කාලයේ අහසේ තරු අපට නො පෙනේ. දහවලට අහසේ තරු නොමැති නිසා නොව හිරු තරු අභිබවා දිලිසෙන බැවිනි. ඒ අන්දමින් අපේ පූර්ව භවයන් ද අප ගේ මතකයට කැඳවිය නො හැක්කේ අපේ මනස වර්තමාන සිතුවිලිවලින් එදිනෙදා සිදුවීම්වලින් හා ලෞකික වටාපිටාවෙන් පමණට වඩා පිරි ඇති බැවිනි. මේ මිහිපිට අපේ ජීවිත කාලය ඉතා කෙටි බැව් මෙනෙහි කිරීමෙන් පුනර්භවය පිළිබඳ දැනීම ලබා ගැනීමට අපට ආධාර වේ. ජීවිතයත්, ජීවිතයේ පරමාර්ථයත්, එහි නිෂ්ඨාවත්, මිනිසාට ලබා ගත හැකි විවිධ අත්දැකීම් සමූහයත් අප මෙනෙහි කරන්නේ ද? එවිට අපට නිගමනය කිරීමට සිදුවන්නේ එක් ජීවිත කාලයක් තුළ දී මිනිසාට ස්වභාව ධර්මය අදහස් කර ඇති පරිදි සියලු දෙයක් ම ඉටු කිරීමට හෝ මිනිසාගේ ම ආශාවන් ඉටු කර ගැනීමට හෝ කාලය ප්‍රමාණවත් නො වන බව යි.

අත්දැකීම්වල පරිමානය ඉතා ඉමහත් ය. මිනිසා තූළ විශාල ලෙස විහිදී යා හැකි (පරාසයක්) තුළ එළි නො දුටු ශක්තීන් ඇත්තේ ය. අපට අවස්ථාව ලැබෙතොත් එම ශක්තීන් සංවර්ධනය කළ හැකි බැව් පෙනේ.

විශේෂ පරීක්ෂණයක් කළ හොත් එය සත්‍යයක් බැව් විශේෂයෙන් අද අපට දැන ගත හැකි ය. අප වෙත උසස් ප්‍රාර්ථනයන් ඇති නමුත් ඒවා සාක්ෂාත් කර ගැනීමට කාලය නොමැති බැව් අප විසින් ම සොයා ගෙන ඇත. ඒ අතරතුර කාමරාග ආත්මාර්ථකාමී අරමුණු හා යසස්කාමී බව නමැති හමුදාවන් අප තුළ සටන් වැදී ඇත.

අන්‍යයන් වෙත ද යුද්ධ ප්‍රකාශ කර ඇත. මේ හමුදාවෝ අපේ මරණය තෙක් එකිනෙකා ලුහුබඳිති. මේ සියලු හමුදාවන් සමඟ සටන් වැදිය යුතු ය. ආක්‍රමණය කොට පරදවා ප්‍රයෝජනයට ගත යුතු ය. එක් ජීවිත කාලයක් මේ සඳහා ප්‍රමාණවත් නො වන බව තේරුම් ගත හැකි ය. තවදුරටත් එය මෙසේ කිව හැකි වෙයි. කළ හැකි දේ රැසක් අප හමුවේ ඇතත්, ඒ සඳහා අපට ඇත්තේ එක් ජීවිත කාලයක් නම් ඒවා සංවර්ධනය කර ගැනීමට අසමත් වුවහොත් මේ විශ්වයත්, ජීවිතයත් දෙක ම මහත් විහිළුවක් වන්නේ ය. පුනරුත්පත්තිය පිළිබඳ බෞද්ධ දේශනා හා වෙනත් ආගම්වල සඳහන් අන්තර් සංක්‍රමණය හෝ පුනර් ජන්මය අතර ඇති වෙනස්කම් සොයා බැලිය යුතු ව ඇත.

ස්ථිර හෝ දෙවියන් නිර්මිත ආත්මයක් ඇතැයි හෝ එක් භවයකින් තවත් භවයකට අන්තර් සංක්‍රමණික ව නො වෙනස් වන්නා වූ පැවතිය හැකි යමක් ඇතැයි යන අදහස් බුදු සමය ප්‍රතික්ෂේප කරන්නේ මේ නිසයි.

මමත්වය හෝ ආත්මයක් නොමැති ව හෝ හේතුඵල ක්‍රමය මඟින් තුලනාත්මක අනන්‍යතාවයක් ඇති කළ හැක්කා සේ මරණින් පසුව ආත්මය පාරසංක්‍රමණය වීමකින් තොරව ප්‍රති සන්ධියක් ඇතිවිය හැකි ය. එක භවයක දී වුව ද සිතුවිලි මොහොතක් ම සත්වයා ගේ ඇතුළත හා පිටත විහිදෙන අතර, එය නැති වී යෑමත් සමඟ එහි අනුප්‍රාප්තිකයා වෙත යොමු වේ. විශේෂ වශයෙන් කිවහොත් සෑම සිතුවිල්ලක ම ක්ෂණික නැඟීම හා බැසීම ඉපදීමක් හා මරණයක් බඳු ය.

මේ අනුව එක ම ජීවිත කාලයක් තුළ සෑම තත්පරයක දී ම අපි අනන්ත වාරයක් මැරීම් හා ඉපදීම්වලට පාත්‍ර වෙමු. නමුත් චේතනා ක්‍රියාවලිය එකම රූපකායයක් දරා සිටින බැවින් සිත හා කය එකට පැවත ගෙන යෑම එක ම ජීවිත කාලයක් සේ සැලකෙයි. අප සාමාන්‍යයෙන් මරණය යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය නැවතීම ය. භෞතික ශරීරය තම සජිවිත්වය නැතිවනවාත් සමඟ ම තව දුරටත් විඥාන ධාරාවට ආධාරකයක් නොවන නිසා මානසික ක්‍රියාවලිය නවතී. නමුත් ජීවිතය කෙරෙහි තව දුරටත් එල්බ ගැනීම ඇතිවිට ජීවත්වීමේ තෘෂ්ණාව ඇතිවිට විඥාන ධාරාව ශරීරය මිය ගිය ද නො නවතී. වැඩිදුරටත් කියතොත් මරණය සිදු වූ විට ශරීරය ද මැරී යයි. ජීවත්වීමේ බලවත් ආශාව මඟින් මෙහෙයවනු ලබන මනෝධාරාව යළි පැන නඟින්නේ නව භෞතික ශරීරයක් ආධාර කර ගනිමිනි.

එම ශරීරය වූ කලි ඒ මොහොතේ ස්ත්‍රී, පුරුෂ බීජයන් නිසා හට ගනු ලබන්නකි. මේ ආකාරයෙන් පුනරුත්පත්තිය මරණය සිදුවීමත් සමග ම ඇතිවන්නකි. ස්මෘති ප්‍රවාහය නතර වීමත් සමග අනන්‍යතා සංඥාව නව අවස්ථාවකට මාරුවෙයි. නමුත් රාශි භූත වූ අත්දැකීම් සමූහය ද, ගති ගුණ ද නව ප්‍රතිසන්ධිය වෙත සම්ප්‍රේෂණය වීමත් සමඟ ජීවන චක්‍රය යළිත් තවත් වාරයක් සඳහා කැරකීම ඇරඹෙන්නේ ය. මරණය සදාකාලික ජීවිතයකට ප්‍රවිෂ්ට වීමක් හෝ පූර්ණ අන්තර්ධානවීමක් ලෙස බුදු සමය නො දක්වයි. එය පුනර්භවයට යන ප්‍රතිහාරයකි. ඒ නව ඉපදීම ද වර්ධනය ජරාවීම අනුව යමින් තවත් මරණයකින් කෙළවර වේ. මරණ මඤ්චකයේ දී නවීකරණය වූ භෞතික හෙවත් ශාරීරික ක්‍රියාත්මක වීම් කිසිවක් අවසන් හුස්ම හෙළන්නකු තුළ සිදු නො වේ. එය හරියට මෝටර් රථාචාර්යකු තම යන්ත්‍රය නැවැත්වීමට පෙර වේගය වැඩි කරන උපකරණය (වේග වර්ධකය) නිදහසේ තැබීම මෙනි. ඒ අනුව යන්ත්‍රයට තව දුරටත් ධාවන බලය නො ලැබේ.

ඒ අයුරින් කර්මානුකූල රූප ස්වභාවයන් පැන නැඟීම තවදුරටත් සිදු වේ යැයි කියනු ලැබේ. වර්තමාන ජීවිතය හෙවත් දැනට ලබා තිබෙන මේ භවය සදාතනික සසැප හා දුක් යන අන්ත දෙකට මැදි වී ඇති ජීවිතයක් වේ යනු ඔප්පු කිරීමට බෞද්ධයින් උනන්දු නො වන අදහසකි. එමෙන් ම සුර දූතයන් පැමිණ දෙව් ලොවට ගෙන යන ලදුව එහි සදාතනික ව නතර කරනු ලබන බව ද විශ්වාස නො කරති. ඔවුන් විශ්වාස කරන්නේ වර්තමාන ජීවිතය අනේක වාර ගණනක් සත්වයන් සේ බිහි වී ජීවත් වන අවස්ථා අතුරෙන් එකක් බවත් හෝ එය මේ ලෞකික ජීවිතයේ එක්තරා සුවිශේෂ කාල පරිච්ඡේදයක් බවත් ය. උපවිඥානයෙන් ඇති චිත්ත බලය නිසා එහි රැඳෙන යහපත් හෝ අයහපත් හෝ කර්මය අනුව සත්වයා යළි උපදී. නිශ්චිත වූ නැතහොත් සීමා සහිත කාල පරිච්ඡේදයක් ජීවත්වන බව ඔවුහු විශ්වාස කෙරෙති. උපවිඥානය පිළිබඳ ව නූතන මනෝවිද්‍යාඥයන් කැරෙන අර්ථකථනය බෞද්ධයන්ගේ උපවිඥානය පිළිබඳ විවරණයත් සමඟ පටලවා නො ගත යුතු ය. එම සංකල්ප දෙක එක හා සමාන නො වේ.

පුනර්භවයට හේතුව

බුදුරජාණන් වහන්සෙස් ගේ දේශනාව නම් අවිද්‍යාව නිසා තෘෂ්ණාව උපදින බව ය. අතෘප්තිකර ආශාවන් පුනර්භවයට හේතු වේ. තෘප්තිමත් නො වූ තදබල ආශාවන් දුරු කෙරෙයි ද? එවිට පුනරුත්පත්තිය නවතී. පුනරුත්පත්තිය නවතාලීම යනු සියලු තද බල ආශාවන් නැසීම ය. එනම් අවිද්‍යාව නැසීමේ අවස්ථාව යි. අවිද්‍යාව දුරු කළ කල්හි පුනරුත්පත්තියේ නිසරු බව අවබෝධ වන්නේ ය. එමෙන් ම එවැනි නිසරු පුනර්භවයන් ඇති කරන තෘෂ්ණාව නැති කිරීමේ පරම අවශ්‍යතාවන් ඇති ජීවන මාර්ගයක් ඇරඹිය හැකි ය.

මිනිසාට ඇත්තේ එකම ජීවිත පැවැත්මකි. එම ජීවිත පැවැත්ම අනුව යන්නා වූ සදාතන පී‍්‍රතියක් හෝ පසු තැවීමක් හෝ ඇතැයි යන මතය මිථ්‍යාවකි. එම සාවද්‍ය දර්ශනය හා සෙසු මායාකාරී දර්ශනය ද, තාර්කික නො වූ අදහස් ද අවිද්‍යාව නිසා බිහි වන්නේ ය. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයෙන් මිස වෙනත් මඟකින් අවිද්‍යාව දුරුවීමක්, දුක් බැහැරවීමක් නො කළ හැකි බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. අවිද්‍යාව බැහැර කිරීම වස් කෙනකු විසින් අධිෂ්ඨාන පූර්වක ව ප්‍රගුණ කළ යුත්තේ සියලු සත්ත්වයන් ගේ සුබ සිද්ධිය හා යහපත සඳහා වූ හැසිරීමකි. බුද්ධිමත් අවබෝධයකි.

එලෙස ම ආත්මාර්ථකාමී පෞද්ගලික පී‍්‍රතිය ද තෘෂ්ණාව ද ප්‍රහීණ කළ යුතු ය. පුනරුත්පත්තිය කෙසේ සිදු වේ ද? මේ භෞතික ශරීරය තව දුරටත් ක්‍රියාකාරී තත්ත්වයෙන් සිටීමට නො හැකි වූ සැනින් ශක්තීන් මිය යෑමත් ඒ සමඟ සිදු නොවේ. ඒ වෙනුවට වෙනත් ආකාරයක් හෝ හැඩයක් ගනු ඇත. එය අප හඳුන්වන්නේ වෙනත් භවයක් හෙවත් ජීවිතයක් සේ ය. කර්මානුකූල බලය මිනිස් රුවින් විද්‍යමාන වූ නමුත්, තිරිසන් රුවක් සේ දෘෂ්‍යමාන විය හැකි ය. මිනිසාට තම කර්මානුකූල බලය විධිමත් ලෙස සංවර්ධනය කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා එසේ සිදු විය හැකි ය. එම ශක්තීන් එනම් තෘෂ්ණාවන් විවිධ ප්‍රබල ලැදිකම් අධිෂ්ඨාන හා ජීවත්වීමට ඇති පිපාසයන් ශරීරය ක්‍රියා විරහිත වීමත් සමඟ අවසන් නො වේ. දිගින් දිගට විවිධ ආකාරයෙන් විද්‍යමාන වන අතර පුනරුත්පත්තිය නමින් හඳුන්වනු ලබන එක්තරා ස්වරූපයක් දෘෂ්‍යමාන වනු ඇත.

අද ලෝකයේ බොහෝ රටවල වෙසෙන ඇතැම් ජනයාට නෛසර්ගික ලෙස තමන් ගේ පූර්වභවයන් පිළිබඳ වර්ධනය කර ගත් මතකයන් ඇත. ඒ පුද්ගලයන්ගේ ඒ අත්දැකීම් ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියෙහි මනා ලෙස ලේඛන ගත ව තිබේ.

සමහරු තම පූර්ව ජන්මයන් පිළිබඳ ව තම ස්මෘතියට එනතුරු පුනර්භවයක් ඇති බව නො පිළිගත්හ. ඔවුන් අනාවරණය කළ පූර්ව භවයන් පිළිබඳ බොහෝ තොරතුරු පරීක්ෂණයට ලක් කරන ලදුව වළංගු සේ පිළිගැනේ. වශී කරණය හෙවත් මෝහනය තුළින් සමහරු තම පූර්ව ජාති පිළිබඳ පුවත් එළිදරව් කිරීමට සමත් වී ඇත. උපවිඥානය තුළට පිවිසීමට සමත් වූ ඇතැම් මෝහන අවස්ථාවනට පූර්ව භවයන් ස්මරණය කිරීමට හැකියාව ලැබී ඇත. පුනර්භවය හෙවත් නැවත නැවත ඉපදීම ස්වභාවික සිදුවීමකි. එය කිසියම් ආගමක් විසින් හෝ දෙවියකු විසින් හෝ නිර්මිත වූවක් නො වේ.

පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය හෝ අවිශ්වාසය හෝ පුනර්භව ක්‍රියාවලියට හෝ එය මඟහැරවීමට බලපෑමක් කළ නොහේ. ජීවත්වීමට ඇති ආශාව ලෞකික සැපතට ඉන්ද්‍රියයන් පිනවීමට සිත බැඳී ඇතිතාක් කල් පුනරුත්පත්තිය සිදු වේ. එවැනි සවිමත් චිත්ත ශක්තීන් මේ ලෝක ධාතුවේ වසන සියලු සත්වයන් වෙත තිබිය හැකි ය.

තව දුරටත් මෙලොව නො ඉපදේවයි සිතන, පතන, යදින සියලු දෙන ම සිහියේ තබාගත යුතු කරුණක් ඇත. එනම් ඔවුන් සිතන, පතන, යදින පරිදි කටයුතු සිද්ධවීමට නම් ඔවුන් ගේ සිත් තුළ ඇති ක්ලේශ බාධකයන්ගෙන් සිත නිදහස් කර ගැනීමට අවංක ප්‍රයත්නයක් දැරිය යුතු ය. නැණවත් ජනයා ලෞකික තත්ත්වයන් යටතේ පවතින මේ ජීවිතයේ නිසරු බව, අවිනිශ්චිත බව දැකීමෙන් හා ප්‍රත්‍යවෙක්ෂණයෙන් පසු නැවත නැවත සිදුවන්නා වූ ඉපදීමෙන් හා මරණයෙන් නිදහස්වීම සඳහා නියමිත මාර්ගය අනුගමනය කෙරේ. හිතේ පිරිසුදුකම දියුණු කර ගත නොහෙන ජනයා මේ ජීවිතයේ නිසරු අවිනිශ්චිතතා හා බැඳි පවත්නා අවිචේඡද ඉපදීම් හා මරණ සංඛ්‍යාත පුනර්භවයට මුහුණ දීමට සූදානම් විය යුතු ය.

පුනර්භවය පිළිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක්වර ම සිදු වන්නක් ද? නැද්ද? යන්නයි. බෞද්ධ ආචාර්යවරයන් අතර පවා මත භේදයට ලක් වී ඇති කරුණකි මෙය. අභිධර්මයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයකු ගේ මරණය සිදුවීමත් සමග ම අතර මැදි තත්ත්වයක් නොමැති ව සිදු වන්නක් බවයි. එසේ ම තවත් අය විශ්වාස කරන්නේ පුද්ගලයකු මිය යෑම සමඟ ඔහු කිසියම් භූත තත්ත්වයකට පත් වී දින ගණනක් ගිය පසු පුනර්භවයක් සිදු වන බව ය. එම විශ්වාසය පිළිබඳ ව තවත් අර්ථ කථනයක් ද වේ. එනම් මිය ගිය පුද්ගලයාගේ භූත ස්වරූපය නොව ඔහුගේ චිත්ත ශක්තිය බවත් ය. කෙසේ වෙතත් පුනරුත්පත්තිය පමා වී හෝ පමා නො වී හෝ සිදුවන්නේ යැයි කියති.

භූත ස්වරූපයෙන් (ප්‍රේත) එසේ අභව්‍ය ලෙස ඉපදීම ලබන්නෝ අවාසනාවන්තයෝ ය. පෙනෙන ශරීර කායයෙන් තොර වූ ඔවුන් ගේ ජීවිතය ද අනිත්‍ය වන්නේ ය. එය ද තාවකාලික පුනරුත්පත්ති ක්‍රමයකි. බොහෝ දෙනාට තේරුම් ගත නො හැකි වෙනත් සංකල්පයක් නම් පුනර්භව ක්‍රියාවලියට අනුව මිනිසකුට තිරිසනකු වී ඉපදිය හැකි ය. එසේ ම තිරිසනකුට මිනිසකු වී ඉපදිය හැකි ය. මිනිසා තුළ වූ තිරිසන් ගති ද, තිරිසන් ජීවන ක්‍රම ද ප්‍රගුණ වී තිබිණි නම් තිරිසන් ව ඉපදීමේ තත්ත්වයන් ඇති කෙරෙයි. චිත්ත ස්වභාවය හා මානසික හැසිරීම ඊළඟ භවය කෙරේ වග කියන්නේ යැයි විශ්වාස කෙරෙති. අනික් අතට කිසියම් පුද්ගලයකු පූර්ව ජාතියේ කළ අකුසල් නිසා තිරිසන් භවයේ උපත ලැබුව ද තිරිසන් බැව් හි දී බරපතළ අකුසල කර්මයන් නො කළේ ද? යළි මිනිසත් බව ලැබිය හැකි ය. ඇතැම් තිරිසන් සත්වයන්ට හොඳ අවබෝධයක් හා මනා සිහිකල්පනාවක් ඇති බැව් කවුරුනුත් පිළිගන්නා කරුණකි. තිරිසන් අත් බවෙක ඉපදුණු පුද්ගලයකු නැවත මිනිසත් බව ලබා ඉපදීමත් ඔහුගේ අයහපත් කර්මය ගෙවී ගොස් යටපත් ව තුබු යහපත් කර්ම බලය ප්‍රබල වීම නිසා සිදුවිය හැකි ය.

මරණාසන්න මොහොත

මරණාසන්න පුද්ගලයකුගේ විඥානය තුන් ආකාර විඥානයක් ලෙසින් ක්‍රියා කරයි.

ප්‍රති සන්ධි චිත්තය හෙවත් පුනර්භවය සම්බන්ධ සිතිවිල්ල ඉන් එකකි. වර්තමාන ජීවිතයෙන් වෙන් වී යන විඥානය (චුතිචිත්තය) හා වර්තමාන ජීවිතයේ පැවැත්ම හා සම්බන්ධ වූ අකර්මණ්‍යභාවයට පත්වන විඥාන ධාරාව (භවාංග සිත) අනික යි. පුද්ගලයකු ගේ අවසාන මොහොතේ දී ඇතිවන සිත (ප්‍රතිසන්ධි චිත්තය) එනම් පුනරුත්පත්තිය හා බැඳුන සිත සලකුණු තුනක් අරමුණු කර ගෙන පැන නඟී. ප්‍රතිසන්ධි චිත්තය පසු වැදෑරුම් සියුම් චේතනාවන් පසක් කෙරෙන මඟක් ගනියි. එනම් ජවන සිත භවාංග සිත තුළ ගිලී යයි. භවාංග සිත කෙළවර කොට චුති සිත පහළ වෙයි. වර්තමාන ජීවිතය වෙන් කරමින් යළි භවාංග සිතෙහි ගිළී යයි. ඒ මොහොතේ දී වර්තමාන ජීවිතය අවසන් වෙයි. ඒ භවාංග සිත කෙළවර වත් ම ඊළඟ භවයේ දී වෙනත් ප්‍රතිසන්ධි සිතක් පහළ වෙයි. ඒ මොහොතේ සිට නව දිවිය පටන් ගැනේ. බුදු සමයට අනුව ඉපදීම හා මරණ ක්‍රියාවලිය මෙසේ සිදු වන්නේ ය. මේ ස්වභාවික සිදුවීම් මාලාව සවිස්තර ව හා සියුම් ලෙස පැහැදිලි කර ඇත්තේ බුදු සමයේ පමණි.

බෞද්ධයා මරණයට මුහුණ දෙන්නේ ජීවිතයේ අති උග්‍ර අවස්ථාවක් ලෙස සලකා නොව සාමාන්‍ය සිදුවීමක් ලෙස ය. මන්ද? ඉපදුනු කවරකු වුව ද ජරා මරණ විඳිය යුතු බැව් බෞද්ධයා දන්නා බැවිනි. යම් කිසිවකු විසින් උචිත ලෙස ප්‍රකාශ කර ඇති පරිදි සෑම කෙනකු ම උපදින්නේ උපතේ දී ම තම මරණ සහතික පත්‍රය ද සමඟ ය. අප සෑම දෙනාට ම මරණය දෙස බුද්ධිමත් ව හා විචාරාත්මක ව බැලිය හැකි නම් අප ජීවිතයට මෙතරම් හිතා මතා එල්බී නො සිටිනු ඇත.

“අයමන්තිමා ජාති

නත්ථිදානි පුනබ්භවො”

මේ මාගේ අවසන් ඉපදීම යි. මින් පසු තවත් ඉපදීමක් නැත.

නිර්වාණය

නිවන උසස්තම සුවය යි. එය සදාතනික ලෝකෝත්තර සුවයකි. නිවන් සුවය ඉඳුරන් පිනවීමෙන් විඳිය නො හැකි ය. ඉඳුරන් නිවීමෙන් ලද හැකි ය.

බුදු සමයේ අවසන් නිෂ්ඨාව නිවන යි. එසේ නම් නිවන යනු කුමක් ද? නිර්වාණය මෙබඳු යැයි දැක්වීමට වඩා නිර්වාණය නො වන්නේ කුමක් දැයි දැක්වීම වඩා පහසු වේ. නිර්වාණය යනු කිසිවක් නොමැති ශුන්‍යතාවක් නො වේ. බුදු රදුන් සිය රජ පවුල රාජධානිය, හැර පියා හතළිස් පස් වසරක් දේශනා කෙළේ ශුන්‍යතාවක් සඳහා ද? නොවේ මැයි, නිර්වාණය පාරාදීසයක් ද නො වේ. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් ගණනකට පසු ඇතැම් බෞද්ධ නිකායිකයෝ නිවන පාරාදීසයකැ යි විග්‍රහ කිරීමට තැත් කළහ. ඔවුන් ගේ අපේක්ෂාව වූයේ නිවන දෙව් ලොවකට සම කිරීමෙන් නූගත් ජනයා සිය නිකායකයින් කෙරෙහි ආකර්ශනය කරවීමට ය. නිවන් සෙවීම යනු සදාතනික සැපතින් පිරි, දැකුම්කළු, මොනම දෙයින් හෝ අඩුවක් නොමැති, ජීවත්වීමට යෝග්‍ය මාහැඟි තැනක් සොයා ගැනීමක් මෙන් ඔවුන් පෙන්වා දෙන ලදී. එය සුව ඵලවන සුරංගනා කථාවකි. බුදුරදුන් සාක්ෂාත් කොට ඉදිරිපත් කළ නිර්වාණය එය නොවේ. පැරැණි ඉන්දියානු ආගම් ඉදිරිපත් කර තිබූ පාරාදීසයන් පිළිබඳ සංකල්පයන් බුදුරදුන් දවස පැවැති නමුත් උන් වහන්සේ ඒවා නැති කිරීමට ගියේ නැත.

නිවනට මඟ දෙව්ලොවට ඉහළින් වැටී ඇති සැටි උන් වහන්සේ දුටු සේක. නිවන යනු ස්ථානයක් නොවේ නම් එය ඇත්තේ කො තැන ද? ගින්දර යම් තැනෙක කෙසේ පවතින්නේ ද නිර්වාණය පවතින්නේ ද එ ලෙස ය. එබැවින් ගින්දර හෝ නිර්වාණය හෝ රැස්කර තැබිය හැකි තැනක් නොමැත. ඔබ වියළි ලී කැබලි දෙකක් එකිනෙක තදින් ඇතිල්ලුවහොත් එහි ඝර්ෂණය හා තාපය නිසා ගිනි ඇතිවීමට අවශ්‍ය තත්ත්වයක් උදා වෙයි. ඒ අයුරු මිනිසාගේ සිත ද අකුසල්වලින් දුරුවී යත් ම නිවන් සුව දිස් වෙයි. එවිට ඔබට නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකි වෙයි. නිවන් සුවය සාක්ෂාත් නො වන තුරු එය කෙබඳු දැයි නොයෙක් කල්පිතයන් මවා ගැනීමට සිදුවේ.

නිවන් දැකීමේ න්‍යාය ගැන තේරුම් ගැනීමට ධර්ම ග්‍රන්ථවලින් ආධාර ලබා ගත හැකි වේ. ධර්ම ග්‍රන්ථයන් ඉදිරිපත් කර ඇත්තේ නිර්වාණය යනු ලොකෝත්තර අමිශ්‍ර සැපතක් ලෙස යි. නිර්වාණය පමණක් ගතහොත් එය පැහැදිලි කර දීම හෝ විවරණය කිරීම නො කළ හැකි ය. එය හරියට අඳුර යනු කුමක්දැයි හරිහැටි පැහැදිලි කර දීමට එහි ප්‍රතිරෝධය වූ ආලෝකය ද උපයෝගී කර ගැනීමට අවශ්‍ය වීම මෙනි. නිශ්චල යන්න පැහැදිලි කළ හැක්කේ ඊට විරුද්ධ චලිතය ද උපයෝගී කර ගැනීමෙනි. ඒ අයුරු නිර්වාණය ද සියලු දුක් අතුරු දහන් වූ අවස්ථාවක් බැවින් පැහැදිලි කළ යුතු ව ඇත්තේ එයට විරුද්ධව සිටින සියලු දුකින් පිරුණු සංසාරය උපයෝගි කර ගැනීමෙනි.

ආලෝකය නො මැති තැන අඳුර පවතින්නේ යම් සේ ද, චලනය නොමැති තැන නිසසල බව පවතින්නේ ද ඒ අයුරු දුක, අවිචිත්‍රතාව හෙවත් අකුසල් හා වෙනස් වීම් නොමැත්තේ කොතැන ද එතැන නිර්වාණය පවතී.

කිසියම් කුෂ්ට රෝගියකුට තම කුෂ්ටය කැසීමේ දී සුවයක් දැනිය හැකි ය. එහෙත් එම සුවය තාවකාලික එකක් වන අතර, කැසීම නිසා තුවාලය වැඩි වී යා හැකි ය. කැසීමේ දී ලැබුණු තාවකාලික වහා අතුරුදහන් වන සුවයත්, රෝගය සුව වීමෙන් ලැබෙන අවසාන සුවදායක හැඟීමත් එකක් නො වේ. එසේ ම පසිඳුරන් ගේ රාග චේතනා පිනවීමෙන් සංසාරයේ දී ලබන ප්‍රමෝදය ද තාවකාලික එකක් ම වන්නේ ය. සංසාරය නැමැති රෝගයට ඇති එක ම ප්‍රතිකාරය නිර්වාණය යි. එය සියලු ඉපදීම්, ජරා, රෝග, මරණ, ශෝක, වැලපීම් හා බලාපොරොත්තු සුන්වීම් ඇති කරන රාග චේතනාවන් ගේ අවසානය වේ. එබැවින් නිවන් සුවය සංසාරයේ දී ලබන ඉන්ද්‍රියයන් පිනවීමෙන් තාවකාලික සැප සම්පත් හා කිසිසේත් සංසන්දනය කළ නො හැක්කේ ය.

නිර්වාණය කුමක් දැයි කල්පිතයන් මඟින් අවබෝධ කර ගැනීමට යෑම අනතුරුදායකයි. නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් සූදානම් කර ගත යුත්තේ කෙසේ දැයි දැන ගැනීමට ද, නිවනට යොමු කරන අභ්‍යන්තර පාරිශුද්ධතාව හා පැහැදිලි දර්ශන ලබා ගත හැක්කේ කෙසේ දැයි අවබෝධ කර ගැනීම ද වඩා යහපත් වෙයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මෝපදේශ අනුගමනය කළ යුතු ය. ලෝභ, දෝෂ, මෝහ ආදී මුල් බැසගත් සකල ක්ලේශයන් දුරු කළ යුතු ය. තමා තුළ වූ සියලු ආශාවන්ගෙන් පවිත්‍ර වී පරම පරාර්ථකාමීත්වයක් ලබා ගත යුතු ය. නිවැරැදි සිල්වත් හැසිරීම් සහිත නියම චිත්ත පාරිශුද්ධියක් ගෙන යා යුතු ය. අධිෂ්ඨාන ප්‍රතිබද්ධ ව සියලු ආත්ම ලාභිත්වයෙන් හා වැරැදි දර්ශනයන්ගෙන් සහමුලින් මිදිය යුතු ය. එවිට නිවන් ලැබීම ද, එය පසක් වීම ද සිදු වන්නේ ය.

නිර්වාණය හා සංසාරය

මහායාන සමය පිළිබඳ ප්‍රකට විද්වතකු වූ නාගාර්ජුන පාදයන් පවසන්නේ සංසාරය හා නිර්වාණය එකක් බව යි. මේ අර්ථ කථනය බොහෝ අය වැරැදි ලෙස වටහා ගනු ලැබේ. සංසාරය හා නිර්වාණය යන සංකල්පයන් දෙක එක සමාන යැයි කීම සංස්කාර ධර්මයන් තොර බව හා නිර්වාණයේ වූ තත්වාරෝපිත නො වන ස්වභාවය අතර වෙනසක් නැතැයි කීම හා සමාන ය. පාලි ත්‍රිපිටකයට අනුව සංසාරය විස්තර කර ඇත්තේ පඤ්චස්කන්ධය සතර ධාතුන් හෙවත් භූතයන් හා දොළොස් ආයතනයන් අඛණ්ඩ ව දිගින් දිගට ක්‍රියාත්මක වීමක් ලෙස ය. එසේ ම නිවන විස්තර කර ඇත්තේ එකී නාම රූප හෙවත් ශාරීරික චෛතසික මූලාශ්‍රයයන් ගේ සාපේක්ෂක අතුරුදහන් වීමක් ලෙස ය. මේ සංසාරයේ ජීවත් වන කාලය තුළ දී ම නිවන් සුවය ලබා ගන්නවුනට එම සුවය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව ද පිළිගෙන තිබේ. කොයි ආකාරයෙන් වුව ද එවැන්නවුන් ගේ මරණින් මතු ඉහත කී ධාතුන් සමග පවත්නා සම්බන්ධතාව දුරු වී යන්නේ ය. එයට හේතුව නිවන කිසිවකුට සාපේක්ෂ නො වන අන්තරායත්ත නො වූ හෙවත් අන්‍යොන්‍ය වශයෙන් රඳා නො පවතින ආරෝපිත තත්ත්වක් නිසා ය. නිවන් පසක් වීමෙන් පසු කිසියම් දෙයක් ඇතොත් එය පරම සත්‍යය මිස අන් කිසිවක් නො වේ. සියලු ලෞකික දේවලින් මිදීමට හෝ වෙන් වීමට ඔබ උගත යුතු ය. කිසියම් දෙයක් හෝ කිසියම් කෙනෙක් හෝ කෙරෙහි අප්‍රසාදයක් ඇද්ද ඔබ කිසිදාක නිවන් නො දකිනු ඇත. මක්නිසාදයත්? නිවන වූ කලි ඊනියා බැඳීම්, විරෝධ, කැමැති හා අකමැතිකම් සියල්ලට ම විරුද්ධ ව ඒවාට ඉහළින් සිටින්නක් බැවිනි. ඒ අවසාන අවස්ථාවට පැමිණි කල්හි ඔබට එතෙක් ආශා කළ ලෞකික ජීවිතය හොඳින් අවබෝධ වේ. ජීව අජීව සියලු දෙයක ම අස්ථිර බව හා අනිටු බව වැටහේ. ඔබ ගේ යහපත් ප්‍රයත්නයන් නිවැරැදි මාර්ගයේ නො යොදවමින් ශාස්තෘවරුන් හෝ ධර්ම ග්‍රන්ථවල පිහිටෙන් නිවන සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කටයුත්තකි. ඔබේ දවල් සිහින නොපෙනී යයි. අහස් මාලිගා තැනීම නො කෙරෙයි. කුණාටු අවසන් වෙයි. ජීවිතය සඳහා පොර බැදීම අවසන් වෙයි. ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය අඩපණ වෙයි. ඔබේ සියලු පසු තැවීම් අවාසනාවන්, වගකීම්, බාධාවීම්, බර ඇදීම්, ශාරීරික මානසික පීඩාවන් හා ආවේගයන් ආදී සියල්ල අති සුවදායක නිවන් පල ලැබීමත් සමග නිවී යයි. අන්ධයකුට ආලෝකය නො පෙනෙන බැවින් ආලෝකයක් නැතැයි කියන්නා සේ පසිඳුරන්ට ගෝචරවන කිසිවක් නැති බැවින් නිර්වාණය ද ශුන්‍ය එකකැයි කීම තාර්කික නො වන්නේ ය. වත්මන් ජීවන කාලය තුළ දී ම නිවන සාක්ෂාත් කර ගත හැකි බැවින් බුදු සමය කිසිදු විටෙක නිවන මරණින් පසු ළඟා විය හැකි අවසාන නිෂ්ඨා සාධනයක් සේ සඳහන් නො කරයි. ශරීරය පවතින මේ ආත්මභාවයේ දී ම ලබා ගන්නා නිවන සොපාදිසෙස නිවන නම් වෙයි. රහත් බවට පැමිණියකු පිරිනිවන් පාන විට සිරුර දිය වී භෞතික පැවැත්මේ කිසිවක් ශේෂ නො වී අනුපාදිසෙස නිවනට පත්වෙනු ඇත.

පටිච්ච සමුප්පාද න්‍යාය

දෙවියෙක් බඹෙක් හෝ -

මෙ සසර කරන්නෙක් නැත

හේපස නිමිත්තෙන් මෙහි -

හුදු දම් මතු පවත්නේ

නහෙත්ථ දෙවො නබ්‍රාහ්මා

සංසාරස්සත්ථි කාරකො

සුද්ධ ධම්මා පවත්තන්ති -

හෙතු සම්භාර පච්චයා

පටිච්ච සමුප්පාද න්‍යාය බෞද්ධ දේශනා අතර ඉතා වැදගත් තැනක් ගනියි. එමෙන් ම එය ඉතා ගැඹුරු ධර්මයකි. බුදුරදුන් බොහෝ අවස්ථාවල දී තම සම්බුද්ධ ප්‍රාප්තිය පිළිබඳ අත්දැකීම් දෙයාකාරයෙන් එක් ආකාරයක් මෙසේ දක්වා ඇත. එනම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් ආකාරය අනුව හෝ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ කර ගත් විධිය පිළිබඳ ව ය. කෙසේ වෙතත් බොහෝ අය අසා ඇත්තේ චතුරාර්යය සත්‍යය අවබෝධ කරගත් ආකාරය යි. එබැවින් පටිච්ච සමුප්පාද න්‍යාය වැදගත් වුව ද එයට වඩා විස්තර සහිත ව සාකච්ඡා කිරීමට චතුරාර්ය සත්‍යය යොදා ඇත. ආධ්‍යාත්මික වර්ධනය වෙත් ම පටිච්ච සමුත්පාද න්‍යාය පිළිබඳ ව තථ්‍ය ඥානය ඇති වන නමුත්, එම න්‍යාය පිළිබඳ මූල ධර්මයන් තේරුම් ගැනීම එතරම් දුෂ්කර නො වේ. ජීවිතය හෝ ලෝකය හෝ ගොඩනැඟී ඇත්තේ එකිනෙකට සාපේක්ෂ වූ කුලකයන් මත බවත්, ඒවායේ ඇති වීම හා නැති වීම පිළිබඳ සාධකයන් වෙනත් සාධකයන්ගේ හේතු ප්‍රත්‍යය මත සිදුවන බවත් පටිච්ච සමුප්පාද න්‍යායයේ සැලකේ.

පොසොන්  පුර අටවක

ජුනි 02 සඳුදා අ.භා. 08.42
 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ.
 03 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]